Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සමෘද්ධිලාභියා කිසිම පක්ෂයක‍ අතවැසියෙක් වියයුතු නැහැ

Author(s): 
මානෙල් පුෂ්ප කුමාරි

සමෘද්ධියෙන් ජීවත්වන මානසිකත්වයෙන් මිදී “අලුතෙන් හිතමු දිරියෙන් නැඟිටිමු” යන තේමාව යටතේ වසර 2025 වනවිට පොහොසත් ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමට තමා සැලසුම් කරන බව සමෘද්ධි ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් ඇමැති දයා ගමගේ මහතා පැවසීය.

ඇමැතිවරයා මේ බව පැවසුවේ පවුල් ලක්ෂ හයකට අලුතෙන් සමෘද්ධි හිමිකම් පිරිනැමීමේ වැඩසටහන පිළිබඳ ඊයේ (28) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවේදීය.

‍‍මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා, මේ බවද කියා සිටියේය.

සමෘද්ධි සහනාධාරය ලැබිය යුතු පවුල් අටලක්ෂ පනස්දහසක් පමණ සිටින බවත් මේ පිළබඳව අගමැතිවරයාට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පවුල් ලක්ෂ හයකට සමෘද්ධි සහනාධාරය ලබාදීමට අග්‍රාමාත්‍යවරයා තීරණය කළ බවද දයා ගමගේ ඇමැතිවරයා කීය.

පසුගිය රජය කාලයේ දේශපාලන රැස්වීමකට සමෘද්ධි ලාභීන් සහභාගී නොවුනහොත් ඒ අයගේ සමෘද්ධි සහනාධාරය කපා හැරියා. අප තීරණය කළා සමෘද්ධිලාභීන්ට කිසිම දේශාලන පක්ෂයකට ගැතිවන්නේ නැතිව ජීවත්වන වට පිටාවක් නිර්මාණය කිරීමට.

සාමාජිකයින් දෙදෙනෙකු සිටින සමෘද්ධිලාභී පවුලකට රුපියල් එක්දහස් පන්සියක මුදලක්ද තුන් දෙනෙකු සිටින පවුලකට රුපියල් දෙදහස් පන්සියක මුදලක්ද හතර දෙනාගේ සිට දස දෙනෙකු සිටින පවුලකට රුපියල් තුන්දහස් පන්සීයක සමෘද්ධි සහනාධාරය ලබාදීමට තීරණය කර ඇත. ඉන් රුපියල් දෙසිය පනහක මුදලක් අනිවාර්ය ඉතිරි කිරීමට බැර කළ යුතුයි. ඒ සඳහා වන රුපියල් පනහක ලොතරැයිය ලබා ගත යුතුයි. ඔවුන් මෙම ලොතරැයිය ලබාගැනීමේ අරමුණ වන්නෙ වසරකට නිවාස හත්දහස් නවසිය හතළිස් හතරක් පමණ ගොඩගැනීමට දායක කර ගැනීමයි. මරණයට පත්වීම්, වැඩිවියට පත්වීම, විශ්වවිද්‍යාලවලට ප්‍රවේශවීම වැනි කටයුතු වෙනුවෙන් සමාජ ආරක්ෂණ අරමුදලටද සමෘද්ධිලාභීන් දායක විය යුතු බවත් ඇමැතිවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය. ‍‍

දිස්ත්‍රික්ක 25ම සමෘද්ධිලාභීන් පන්දහසක් එක ස්ථානයකදී අරඹන බව කී ඇමැති දයා ගමගේ මහතා එක්දහස් හැත්තෑතුනක් වන සමෘද්ධි බැංකු ජාලය දියුණුකර එම බැංකුවලට ලක්ෂ හයක ගිණුම් ලබාදෙන බවත් පැවසීය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉන්දයාවේ අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ පදවි ප්‍රාප්තිය වෙනුවෙන් සහභාගීවීමට නියමිතව ඇති බැවින් මේ මස 31 දිනට යෙදී ඇති සමෘද්ධි හිමිකම් ලබාදීමේ අවස්ථාවට ජනාධිපතිවරයාට සහභාගි වීමට නොහැකි වී ඇති බවත් ඇමැතිවරයා මෙම මාධ්‍ය හමුවේදී දන්වා සිටියේය.

මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් අශෝකා අලවත්ත මහත්මිය සහ සමෘද්ධි දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සමන් බණ්ඩාර මහතා සහභාගි වූහ. ‍

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();