Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සියලු ජාතීන්ට පොදු නීති මාලාවක් සැකසීම කාලීන යෝජනාවක්

Author(s): 
උපාලි කරුණාරත්න

පවතින වාතාවරණය තුළ රට ගොඩනැඟීම සඳහා ආගමික නායකයන්, සිවිල් සංවිධාන සහ වෘත්තිය සමිති නියෝජිතයින් ඉදිරිපත් කරන යෝජනා සම්බන්ධයෙන් ඉදිරියේදී ජනාධිපතිවරයා, අගමැතිවරයා, විපක්ෂ නායකවරයා සහ පක්ෂ නායකයින් හමුවී සාකච්ඡා කරන බව ජාතික අන්තර් ආගමික කමිටුවේ සහ සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුවේ සාමාජිකයෝ පැවසූහ.

ඔවුන් මෙසේ ප්‍රකාශ කළේ ඊයේ (28ද‍ා) කොළඹ-07හෙක්ටර් කොබ්බැකඩුව මධ්‍යස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදීය. ආගම්වාදයෙන් හා ප්‍රචණ්ඩත්වයෙන් තොර සමාජයක් උදෙසා කැපවෙමු තේමාව යටතේ මෙය පැවැති අතර නායක හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය, හින්දු, කතෝලික, මුස්ලිම් පූජකවරුන්, සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති නියෝජිතයෝ විශාල ප්‍රමාණයක් මේ සඳහා සහභාගි වූහ.

එහිදී අදහස් දැක්වූ ධර්ම ශක්ති සංවිධානයේ ප්‍රධාන ලේකම් ආචාර්ය මාදම්පාගම අස්සජි නාහිමි - ශ්‍රී ලංකාවේ සෑම පළාතක්ම නියෝජනය කරන ආගමික නායකයින් සමඟ අප සාකච්ඡාවක් පැවැත්වූවා. මෙම කණ්ඩායම දීර්ඝ කාලයක සිට ආගමික සහජීවනය වෙනුවෙන් කැපවී ක්‍රියා කරනවා. ඒ වගේම පසුගිය දිනවල ඇතිවූ ගැටලුකාරී තත්ත්වයන් නැති කිරීමට ක්ෂණිකව කටයුතු කිරීම සම්බන්ධයෙන් ආරක්ෂක අංශයන්ට අප ස්තුතිය පිරිනමනවා.

අපේ රට තුළ ඉදිරියටත් විවිධ ගැටලු ඇතිවිය හැකියි. මේ පිළිබඳ රටේ විවිධ ප්‍රදේශයන්හි ආගමික නායකයින් අවධානය යොමුකර කටයුතු කළ යුතුයි. ඒ පිළිබඳ අප ආගමික නායකයින් සමඟ සාකච්ඡා කළා. 21 පාස්කු ප්‍රහාරය සිදු කළේ සුළු පිරිසක්. එම සිද්ධියත් සමඟ මෙරට බොහෝ දෙනෙකු තුළ සැකය අවිශ්වාසය ඇතිවුණා. ප්‍රහාරයෙන් විශාල ජනතාවක් පීඩාවට පත්වුණා. ප්‍රහාරයෙන් සති කීපයකට පසුව ඇතිවූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් නීතිරීති අනුව කටයුතු කරන්න කියා අප ඉල්ලා සිටිනවා.

මෙරට ජීවත්වන සියලු ජාතීන්ට, ආගමික නායකයින්ට පොදු නීති මාලාවක අවශ්‍යතාව පිළිබඳව අද කතාබහ වෙනවා. ඒ පිළිබඳව ක්‍රම වේදයක් ආරම්භ කළ යුතුයි. රටේ සියලු අධ්‍යාපන ආයතන රජයේ අධික්ෂණයෙන් ක්‍රියාත්මක වෙන්න ඕනෙ. පවතින වාතාවරණය තුළ විවිධ ප්‍රදේශයන්හි සිදුවන සොයා බැලීම් ජනතාවට පීඩාවක් නොවන ලෙස සිදුකළ යුතුයි. සුළු පිරිසක් පසුගිය දිනවල සිදුකළ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් දේපළ වලට හානි පැමිණුනා. ඔවුන් වෙනුවෙන් සහන වැඩ පිළිවෙලක් ආරම්භ කරන්න කියා රජයෙන් ඉල්ලා සිටිනවා. රට තුළ විනාශකාරී තත්ත්වයන් ඇති නොවීමට සියලු ජාතීන් වග බලාගත යුතුයි.

මහාචාර්ය පල්ලෙකන්දෙ රතනසාර අනු නාහිමි - 21දින සිදුවූ පාස්කු ප්‍රහාරය වැනි දේ නැවත ඇතිනොවන ලෙස කටයුතු කළ යුතු බවට අප ආගමික නායකයින් සමඟ සාකච්ඡා කළා. අප්‍රේල් 21 දින සිදුවීම ඉතා කනගාටුදායක සිද්ධියක් ලෙස හැදින්විය හැකියි. එය මේ රටේ මුස්ලිම් ප්‍රජාව විසින් ඇතිකළ දෙයක් නොවෙයි. ඇතැම් ඉස්ලාමීය රටවල් අධිරාජ්‍යවාදයට එරෙහිව විවිධ ක්‍රියා මාර්ග අනුගමනය කළත් ඒවා තවත් රටකට උචිත නොවිය හැකියි. රට තුළ ඇතිවූ අහිතකර වාතාවරණය පිළිබඳ මුස්ලිම් ජනතාව මේ අවස්ථාවේ තේරුම් ගනිමින් සිටිනවා. රටක සිතුම් පැතුම් අනුව මුස්ලිම් ජනතාවද කටයුතු කළ යුතුයි. ඔවුන් මේ වන විට තම ආගමික ස්ථාන වලට, පාසැල් වලට පැමිණෙන් ලෙස සහෝදරත්වයෙන් අපෙන් ඉල්ලනවා.

ධර්ම ශක්ති සංවිධානයේ මදනි මවුලවිවරයා- රටේ ඇතිවී තිබෙන ගැටලුකාරී තත්ත්වය අවසන් කර ශ්‍රී ලංකා මාතාවට සුවය ලබාදීමට අප කටයුතු කරන්න ඕනෙ. ඒ වගේම අන්තවාදයෙන් හා ප්‍රචණ්ඩත්වයෙන් තොර ශ්‍රී ලංකාවන් නිර්මාණය කිරීමටද අප අධිෂ්ඨාන කරගත යුතුයි. පසුගිය දිනවල ඇතිවූ ප්‍රහාරය පිළිබඳව මුස්ලිම්වරුන් ලෙස අප ලජ්ජාවට පත්වුණා. අන්තවාදයට හා ප්‍රචණ්ඩත්වයට මුස්ලිම් තරුණයින් යොමු නොවන ලෙස අප කටයුතු කරන්න ඕනෙ. සාමය සඳහා කැපවීමට අප සූදානම්. සියලු අන්තවාදයට එරෙහිව අප කටයුතු කරන්න ඕනෙ. මෙහිදී ආගමික නායකයින්ට විශේෂ කාර්ය භාරයක් පැවරෙනවා.

ධර්ම ශක්ති සංවිධානයේ අනුර පෙරේරා පියතුමා- මේ රටේ වැඩි පිරිසක් සාමය සහ සහජීවනය වෙනුවෙන් කැපවී ක්‍රියා කරන බව 21 දින පාස්කු ප්‍රහාරයත් සමඟ ඔප්පු වුණා. ප්‍රහාරයෙන් සති ගණනාවකට පසු රට තුළ ගැටුම්කාරී තත්ත්වයක් ඇතිකළේ බාහිර බලවේගයන් විසින් ජනතාව ප්‍රකෝප කිරීම හේතුවෙන්. මේ අවස්ථාවේ 83 කළු ජූලියක් වැනි වාතාවරණයක් ඇතිවෙයි කියා ඇතැමුන් සිතන්න ඇති. කාදිනල් තුමා ඇතුලු පූජක පක්ෂය සාමයෙන් කටයුතු කරන ලෙසට කළ ඉල්ලීම ජනතාව පිළිගත්තා. සියලු ආගමික නායකයින් රටේ සාමය ඇතිවන ලෙස කටයුතු කළ යුතුයි.

ඉදිරියේදී ජනාධිපතිවරයා, අගමැතිවරයා, විපක්ෂනායකවරයා ඇතුලු පක්ෂ නායකයින් හමුවී සාකච්ඡා කරනවා. අපි ඉදිරිපත් කරන යෝජනා පිළිබඳව එතුමන්ලා සමඟ සාකච්ඡා කරනවා. එමෙන්ම 21 ඇතිවූ ිස්දිධියත් සමඟ රට තුළ ඇතිවූ ව්‍යාකූතාවටය දේශපාලන තම දේශපාලන අභිමතාර්ථ සඳහා යොදා නොගන්නා ලෙස ඉල්ලා සිටිනවා. සියලු දේශපාලන අභිමථාර්ථයන් ඉවත ලා රට ගොඩ නැගීමට සියලු දෙනා එක්විය යුතුයි.

මෙම අවස්ථාවට සහභාගි වූ මුස්ලිම් පූජකවරුන් ප්‍රකාශ කළේ 21පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බැලීම සඳහා මුස්ලිම් ජනතාවගේ සහයෝගය ආරක්ෂක අංශවලට ලබා දෙමින් එම ප්‍රහාරය තරයේ හෙළා දුටු බවයි. ඉස්ලාමය තුළ එවැනි විනාශකාරී ක්‍රියාවන් නොමැති බවද සඳහන් කළ එම පූජකවරුන් බහුතර සිංහල සහ දමිළ, මුස්ලිම් ජනතාව කාලාන්තරයක සිට සහෝදරත්වයෙන් ජීවන් වන බවත් ඔවුන් අතර විවිධ හේතූන් නිසා ඇතිවන අනවබෝධය නිසා ගැටුම් ඇතිවිය හැකි බවත් පැවසූහ. ශ්‍රී ලංකාව තුළ සාමය, සහජීවනය ඇති කිරීමට සියලු ජාතීන් එක්ව කටයුතු කළ යුතු යයිද ඔවුන් ප්‍රකාශ කළහ.

ශ්‍රී ලංකාව සිංහල බෞද්ධයන් බහුතරයක් සිටින රටක් බව මේ අවස්ථාවට සහභාගි වෙමින් හින්දු ජූජකවරුන් පැවසූ අතර රට තුළ ජීවත්වන සියලු ආගමිකයින් අතර සාමය සහ එක්සත් භාවය ඇතිවිය යුතු යයිද ප්‍රකාශ කළහ. 21 දින සිදුවූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී එය සියලු මුස්ලිම්වරුන්ට එරෙහිව යොදා නොගත යුතු බවද හින්දු පූජකවරුන් පැවසූහ.

ඡායාරූපය- දුෂ්මන්ත මායාදුන්න

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();