Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ක්‍රීඩා සංගම් අතර කල්ලිවාදය ආසියානු පරාජයට හේතුවයි

Author(s): 
නිරෝෂාන් ප්‍රියංකර

ක්‍රීඩා ඇමැති

නිමාවට පත්වූ 18 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේදී පදක්කම් දිනා ගැනීමට බලාපොරොත්තු තබාගෙන සිටියත් එලෙස කිරීමට නොහැකි වීම කනගාටුවක් බවත් මේ මගින් තමන් සිටින තත්ත්වය තේරුම් ගැනීමට ක්‍රීඩා සංගම්වලට මෙන්ම ක්‍රීඩකයන්ටද අවස්ථාව ලැබුණු බවත් ක්‍රීඩා ඇමැති ෆයිසර් මුස්තාපා මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව සම්බන්ධයෙන් පවතින ක්‍රමවේදයේ විශාල අඩුවක් ඇති බවත් ක්‍රීඩා සංගම් අතර පවතින කල්ලිවාදය ද මෙයට හේතුවක් බවත් ඇමැතිවරයා කියා සිටියේය.

‘මම හිතන්නේ ඉතාමත් කනගාටුයි අපට කිසිම පදක්කමක් දිනන්න බැරිවීම ගැන. හැබැයි අපේ තත්ත්වය අපි දැනගත්තා. මෙතනින් ඉස්සරට අපි යන්නේ කොහොමද කියලා අපි හිතන්න ඕන. අපේ යම් යම් අඩුපාඩු තියෙනවා කියලා පිළිගන්න ඕන. අපේ ක්‍රමවේදයෙත් අඩුපාඩු තියෙනවා.’

‘මම ඉන්දුනිසියාවේ ක්‍රීඩා ඇමැතිවරයා සමග කතා කළා. අපේ ක්‍රීඩකයන්ට මෙහෙ ඇවිල්ල පුහුණුවෙන්න අවස්ථාව දෙන්න ඔහු කැමැති වුණා. මම හිතන්නේ අපේ ලොකුම ප්‍රශ්නය අපේ සංගම් කල්ලිවාදයට යටත් වෙලා තියෙන එක. මේ අය ක්‍රීඩාවට වඩා මුල්තැන දෙන්නේ තනතුරට. නිලධාරීන් අතර පුහුණුකරුවන් අතර තිබෙන බෙදීම ඉතාම කනගාටුදායකයි.’

ක්‍රීඩා නීතිය උල්ලංඝණය කිරීම් ඇති බවත් ක්‍රීඩාව වෙනුවෙන් ඉදිරියේ තමා තද තීන්දු ගන්නා බවත් ඇමැතිවරයා කියා සිටියේය.

‘අපේ ක්‍රීඩා නීතිය උල්ලංඝණය කරනවා කවුරුත් ඒ ගැන තීන්දු තීරණ ගන්නේ නැහැ. ඕනම ක්‍රීඩා සංගමයක පුහුණුකරුවන්ට සභාපතිත්වය දරන්න බැහැ. එහෙත් බැලූ බැල්මට අද සංගම් කීයක නිලධාරීන් පුහුණුකරුවන් සහ නීතියෙන් තහනම් උදවිය මේ තනතුරු දරනවද. ඒ නිසයි මම මේ සම්බන්ධයෙන් තද තීන්දු ගන්න ඕන කියල පුවත්පත්වල නිවේදනයක් පවා දැම්මේ. අපිට පදක්කම් නැහැ. අපේ ලොකු අඩුවක් තියෙනවා. මේ අත්දැකීම තුළින් දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදීවත් අපි ඉස්සරට යන්න ඕන. දැඩි, අමාරු තීන්දු ගන්න සිදුවෙනවා. හැබැයි මම ඒවා ගන්නේ ක්‍රීඩාව වෙනුවෙන් කියලා වගකීමෙන් කියනවා.’

මෙවර ක්‍රීඩා උළෙලට ක්‍රීඩක ක්‍රීඩිකවෝ 170කට ආසන්න පිරිසක් එක්වූ අතර ඊට මෙවැනි තරගාවලියකට එක්වීමට තරම් ප්‍රමාණවත් දක්ෂතා මත නොසිටි අයට එක්කර ඇති බවටත් චෝදනා පවතී. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඇමැතිවරයා පැවැසුවේ තමාගේ මතය වූයේ පදක්කම් ලැබිය හැකි අය පමණක් යැවිය යුතු බව වුවත් ජාතික ඔලිම්පික් කමිටුව සහ බහුතරයකගේ මතය වූයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අත්දැකීම් ලබා ගැනීමට අවස්ථාවක් දිය යුතු බැවින් මෙවැනි පිරිසක් එක්කළ බවයි.

‘ක්‍රීඩා ආයතනවලට ඒ අය නම් කරන්න අයිතිය තියෙනවා. මමත්, තේරීම් කමිටු සභාපති ලෙස පත් කළ යුද හමුදාපතිතුමත් මේකට අලුත්. අපි දෙන්නටම මේක අලුත් අත්දැකීමක්. මගේ තර්කය වුණේ අපි ගුණාත්මක වශයෙන් සුලු පිරිසක් යැවිය යුතුයි කියන එක. ඒ නිසයි මම මිලියන 25ක මුදල් සීමාවක් පැනවුවේ. ඒ ඒ කණ්ඩායම්වල තරගාවලියේ නියෝජනය කිරීමේ අවශ්‍යතාව මත ජාතික ඔලිම්පික් කමිටුවේ ඉල්ලීම මත අපි මේ ඔක්කොම යැව්වා. හැබැයි මගේ මතය වූයේ අපට පදක්කම් ලබාගත හැකි ක්‍රීඩකයන්ට පමණක් සීමා කිරීමට. ඒත් බහුතර මතය වුණේ අපේ ක්‍රීඩකයන්ට ජාත්‍යන්තර අත්දැකීම් දුන්නනම් ඒ මගින් ධෛර්යය, ශක්තිය වැඩි කරගෙන අයට ඉදිරියට යන්න හැකි වෙයි කියලා. පදක්කම් දිනන්න පුලුවන් ක්‍රීඩකයන් පමණක් යැවීමේ ප්‍රතිපත්තිය උඩ මම ඉන්න නිසායි රජයක් හැටියට මම මිලියන 25ක සීමාව පැනෙව්වේ’ යැයි ඇමැතිවරයා පැවැසීය.

අපේ රටේ දක්ෂතම ක්‍රීඩකයන් මේ තරගාවලියට සහභාගිකරවීමෙන් අපි ලෝකයේ සිටින තැනත් පදක්කම් දිනාගත හැක්කේ කුමන ක්‍රීඩාවෙන්ද බවත් පැහැදිලි වූ බව කී ඇමැතිවරයා ඒ මගින් ඉදිරියට යා හැකි බවත් කීය.

‘ඒ ඒ ක්‍රීඩාවෙන් අපේ රටේ ඉන්න දක්ෂතම අය තමයි මේ තරගාවලියට එක් කළේ. ඒත් ඒ අය ලෝක තලයෙන් පහල මට්ටමේ ඉන්න පුලුවන්. හැබැයි ඒ උදවියට අවස්ථාවක් දෙන්නත් ඕන. හැබැයි දැන් මගේ මතය මම තදින්ම ඉදිරියට ක්‍රියාත්මක කරනවා. මුදල් පරිපාලනයේදී මම තදින් ඉන්නවා. ක්‍රීඩා සංගම්වලට අවස්ථාවක් ලබාදීමත් හොඳයි. 175ක් ගෙනියන්න අපිට ප්‍රතිපාදන නැහැ. මගේ මතය හැම නිතරම හරි කියන්නේ නැහැ. ලෝකෙට ගිහිල්ල ඒකේ අත්දැකිම් ලබා ගැනීමේ හොඳ පැත්තකුත් තියෙනවා. එ්ත් අපි ආණ්ඩුවක් හැටියට අපේ මතය පදක්කම් දිනාගත හැකි අය පමණක් ලෝක ශූරතාවලට යැවීමයි. බහුතර මතය වුණේ වැඩි පිරිසකට අවස්ථාව දෙන්න කියලා. මේක මටත් හොඳ අත්දැකීමක්. මෙවැනි පිරිසක් යැවීම තුළින් අපි ලෝකයේ ඒ ඒ ක්ෂේත්‍රෙය් අපේ තත්ත්වය දැන ගත්තා. මේ මගින් අපිට දැන ගන්න පුලුවන් මොන ක්‍රීඩාවෙන්ද අපිට පදක්කම් දිනන් පුලුවන් කියලා. ඒ මැනුමෙන් අපට ඉදිරියට යන්න පුළුවන්’

ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කටයුතුවලදී සම්පත්වල සීමිත බවක් ඇති බවත් රට කියන හැඟීමෙන් එක්ව කටයුතු කරන්නේ නම් ඉදිරියට යෑමට හැකිවනු ඇති බවත් ඒ මහතා කී ඒ මහතා තිබෙන සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගත යුතු බවද කියා සිටියේය.

‘අපට සම්පත් සීමිත බවක් තියෙනවා. මම කැබිනට් මණ්ඩලයෙන් ප්‍රතිපාදන ඉල්ලුවා අපේ ක්‍රීඩක ක්‍රීඩකාවන්ට හොඳ පුහුණවක් ලබාදෙන්න. ක්‍රීඩා සංගම්, ජාතික ඔලිම්පික් කමිටුව, අපේ අමාත්‍යාංශ ලේකම් එකමුතුවෙන් රට කියන හැගීමෙන් කටයුතු කරනවානම් අපිට ඉදිරියට යන්න පුලුවන්. අඩුපාඩු තියෙනවා. ප්‍රශ්න තියෙනවා. හැබැයි අපේ ඉලක්කය විය යුත්තේ අපි කොහොමද අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරිගන්වන්නේ කියන එකයි’ පැවැසූ ඇමැතිවරයා ඉදිරියේදී උපදේශිකාවක ලෙස සුසන්තිකා ජයසිංහ මහත්මියගේ සේවය ලබාගැනීමට කටයුතු කර ඇති බවත් පැවැසීය.

ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ මව්පියන් තමන්ගේ දරුවා පමණක් හොඳයි කියා සිතනවා හැර වෙනස් විදිහට රට ගැන සිතිය යුතු බවත් අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තුළින් රටට කීර්තියක් ගෙන ඒම සැමගේ බලාපොරොත්තුව විය යුතු බවත් ඒ සඳහා සියලු දෙනාට විශාල වගකීක් තිබෙන බවත් පැවැසු ඇමැතිවරයා අවසාන වශයෙන් කියා සිටියේ තමන් කිසිදු කල්ලියකට සම්බන්ධක් නොමැති බවත් ක්‍රීඩාවත් රට ගැනත් සිතා සියලු තීන්දු තීරණ ගන්නා බවයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();