Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කෝටි ගණනක් වැයකොට අද හිස් අතින් ගෙදර එයි

Author(s): 
නිරෝෂාන් ප්‍රියංකර

දහ අටවැනි ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩා 28කට සහභාගීවූ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 178ක් හා නිළධාරීහූ 81ක් මෙවර කිසිදු පදක්කමක් දිනා ගැනීමට නොහැකිව අද ශ්‍රී ලංකාවට පැමිණෙයි. මේ සදහා ක්‍රීඩා අමාත්‍යාංශය හා ජාතික ඔලිම්පික් කමිටුව රුපියල් කෝටි ගණනක් වැයකොට තිබිණි.

පිහිනුම් සහ මලල ක්‍රීඩා ඉසව්වලින් යම් ප්‍රමාණයක දස්කම් ඉස්මතුවූ අතර අදාළ බලධාරීන් පැවැසූවේ පදක්කම් දිනා ගැනීමට නොහැකිවුවත් මේ ක්‍රීඩා උළෙලින් ලබාගත් අත්දැකීම් අනාගතයට ඉතා ප්‍රයෝජනවත් බවයි.

ශ්‍රී ලංකා අවසන් පදක්කම් බලාපොරොත්තුවත් පෙරේදා බිඳ වැටුණේ රග්බි ඉසව්වට එක්වූ ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම ලෝකඩ පදක්කම සඳහා පැවැති තරගයෙන් දකුණු කොරියාව හමුවේ ලකුණු 36-14කින් පරාජයට පත්වීමෙනි. ඒ සමග ශ්‍රී ලංකා කණ්ඩායමට සිවුවැනි ස්ථානය හිමිවිය.

ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම ඉන්චියොංහි පැවැති 17 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේදීත් සිවුවැනි ස්ථානයට පත්ව තිබිණි.මේ ඉසව්වේ රන් පදක්කම ජපානය ලකුණු 14-0කින් පරාජය කරමින් හොංකොං පිල දිනා ගත්තේය.ශ්‍රී ලංකා පිල අවසන් පූර්ව වටයේදී ජපානය හමුවේ ලකුණු 12-10ක් ලෙස පරාජයට පත්වීමෙන් ලෝකඩ පදක්කම සඳහා වන තරගයට එක්විය.

ආසියානු ක්‍රීඩා උළෙලකදී ශ්‍රී ලංකාව කිසිඳු පදක්කමක් දිනා නොගත් සිවුවැනි අවස්ථාව ලෙස මෙය ඉතිහාසයට එක්විය. මින් පෙර 1982 (නවදිල්ලි), 1986 (සියෝල්) සහ 2010 (ගුවන්ෂෝ) හිදී ශ්‍රී ලංකාව පදක්කම් දිනා නොතිබිණි.

රග්බි තරගයෙන් අනතුරුව ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ නායක සුදර්ශන මුතුතන්ත්‍රී කියා සිටියේ තරගාවලිය නිමා කිරීම ගැන කනගාටුවට පත්වන බවත්, ජපානය සමග පැවැති තරගය අවසන් මොහොතේ ගිලිහියාම හේතුවෙන් පදක්කමකට යෑමට නොහැකි වූ බවත්ය.

‘ඇත්තටම කනගාටුයි අපි ඉවර කරපු විදිහ ගැන. මේ තරගාවලියේ හොඳම තරග තමයි අපි ජපානෙත් එක්ක ගහපු මැච් එක. අන්තිම මොහොතේ දිනන්න තිබුණු මැච් එකක් තමයි අපි අතින් අත්හැරුනේ. අපි එනකොට ආවේ ලෝකඩ පදක්කම අපේ කියලා. ඒත් අපි සෙල්ලම් කරද්දී හිතුනේ රිදී පදක්කම තමයි අපට තියෙන්නේ කියලා. රන් පදක්කම ප්‍රසාද දීමනාවක් කියලා. ඒත් ජපානයට පැරදුනාට පස්සේ කොරියා මැච් එකට අපි ඔලුවෙන් සුදානම් වෙලා අවේ නැහැ.’

නවකයන්ගේ පළපුරුද්ද අඩුකම සහ ක්‍රීඩකයන්ගේ ආබාධ මේ තරගාවලියේ පරාජයට හේතුවූ බව ඔහු කියා සිටියේය.

මේ අතර ශ්‍රී ලංකාව පිරිමි වොලිබෝල් පිල සහභාගිවූ 13 සහ 14 වැනි අතර ස්ථාන තේරීම සඳහා වූ තරගයෙන් වියට්නාමය පරදවා වට 3-0ක ජයක් අත්කර ගත්තේය. පළමු වටය ලකුණු 25-21ක් ලෙස ජයගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ දෙවැනි වටය 25-21ක් සහ තෙවැනි වටය 25-20ක් ලෙස නිමා කළහ.

ඊයේ විචිත්‍රවත් සමාප්ති උළෙලකින් අනතුරුව ක්‍රීඩා උළෙල නිමාවට පත්වූ අතර ඊට පෙර ඉන්දුනීසියාව විසින් ආසියානු ඔලිම්පික් ධජය 2022 ආසියානු ක්‍රීඩා උළෙල පැවැත්වෙන චීනයේ හැන්ග්ෂු නගරය වෙත පිරිනැමුණි.

මෙවර ආසියානු ක්‍රීඩා උළෙලේදී නව ලෝක වාර්තා 5ක් බිහිවූ අතර එක් වාර්තාවක් සම විය. දකුණු කොරියාව (දුනු විදීම) වාර්තා 2ක්, චීනය (පිහිනුම්), ඉරානය (බර ඉසිලීම) සහ චීන තායිපේ (වෙඩි තැබීම) නව වාර්තා බිහිකළ අතර චීන තායිපේ ක්‍රීඩකයෝ (වෙඩි තැබීම) එක් වාර්තාවක් සම කළහ.

මෙහිදී ආසියානු වාර්තා 12 ක්, ආසියානු ක්‍රීඩා උළෙල වාර්තා 87ක් බිහි විය.

රටවල් 44ක් එක්වූ තරගාවලියේදී ශ්‍රී ලංකාව සමගින් රටවල් 7කට කිසිදු පදක්කමක් දිනා ගැනීමට නොහැකි විය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();