Ticker

6/recent/ticker-posts

Header Ads Widget

දකුණු ආසියා පාපන්දු මංගල්‍යය අද බංග්ලාදේශයේදී ඇරැඹෙයි

ප්‍රින්ස් ගුණසේකර බංග්ලාදේශයේ
ඩකා නුවර සිට

දකුණු ආසියා පාපන්දු ශූරතාවලිය බංග්ලාදේශයේ ඩකා නුවර බංගබන්ධු ක්‍රීඩාංගණයේදී අද ආරම්භ වෙයි. පස්වරු 3.30ට නේපාලය හා පාකිස්තානය අතර තරගය හා පස්වරු 6.00ට විදුලි ආලෝක ධාරා මැද සත්කාරක බංග්ලාදේශය හා භූතානය අතර තරගය අද පැවැත්වේ.

ශ්‍රී ලංකාව සහභාගීවන පළමු තරගය හෙට (5) පස්වරු 6.00ට ඉන්දියාව සමග බංගබන්ධු ක්‍රීඩාංගණයේදී විදුලි ආලෝක ධාරා මැද පැවැත්වේ. ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය, මාලදිවයින, පාකිස්තානය, නේපාලය හා භූතානය මෙම තරගාවලියට එක්ව සිටින අතර ශ්‍රී ලංකාව ‘ඒ‘ කාණ්ඩයෙන් ඉන්දියාව හා මාලදිවයින සමග මූලික වටයේදී තරග වදී.

ශ්‍රී ලංකාව දකුණු ආසියා පාපන්දු ශූරතාව 1995දී දිනාගත් අතර ඉන්දියාව මෙම ශූරතාව 7ක් වතාවක් දිනා තිබේ. මාලදිවයින, බංග්ලාදේශය හා ඇෆ්ගනිස්තානය එක් වතාව බැගින් දකුණු ආසියා පාපන්දු ශූරතාව දිනා ගත්තද, නේපාලය, භූතානය හා පාකිස්තානයට තවමත් දකුණු ආසියා පාපන්දු කිරුළ පැලදීමේ අවස්ථා උදා නොවුණි.

දකුණු ආසියා කළාපයේ රටක්වන ඇෆ්ගනිස්තානය මෙතෙක් මෙම ශූරතාවලියට එක්ව සිටියද ඔවුන් 2015දී ඉන්දියාවේ පැවැති තරගාවලියෙන් අනතුරුව ඉවත්ව ගොස් මධ්‍යම ආසියානු කළාපීය පාපන්දු තරගාවලයට එක්ව ඇත. එම කළාපයේ විශාල තරගකාරීත්වයක් ඇති හෙයින් ඇෆ්ගනිස්තාන පාපන්දු ක්‍රීඩාවේ දියුණුව උදෙසා මෙම තීරණය ගත්බව එරට පාපන්දු සම්මේලනය දැනුම්දී තිබිණි.

මේ අතර බංග්ලාදේශය සමග ජාත්‍යන්තර සුහද පාපන්දු තරගයෙන් ජයගත් ශ්‍රී ලංකා පාපන්දු පිලට රුපියල් ලක්ෂ 8ක පමණ දිරිදීමනාවක් ලබාදීමට පාපන්දු සම්මේලනය පියවර ගෙන ඇත. මෙයට අමතරව මූලික වටයේ ජය ගන්නා සෑම තරගයකදීම ක්‍රීඩකයෙකුට හිමිවන වැටුපට අමතරව රුපියල් 25000 බැගින් දිරි දීමනා ලබාදීමට ද පාපන්දු සම්මේලන විධායක කමිටුව තීරණය කොට ඇත.

තරග විකාශයට අලුත් චන්ද්‍රිකාවක්

ඇමෙරිකානු ඩොලර් මිලියන 62ක වියදමින් පසුගිය වසරේ මැයි මාසයේ ගුවන්ගත කළ බංගබන්ධු 1 චන්ද්‍රිකාව මගින් දකුණු ආසියානු පාපන්දු ශූරතාව සජීව ලෙස විකාශය කිරීමට සූදානම් වෙයි. බංග්ලාදේශයේ පළමු සන්නිවේදන චන්ද්‍රිකාව වන බංගබන්ධු 1 ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයේ සිට ගුවන්ගත කොට ඇති අතර එහි පළමු පරීක්ෂණ විකාශය ලෙස දකුණු ආසියා පාපන්දු ශූරතාව අත්හදා බැලීම විශේෂත්වයකි. දකුණු ආසියා පාපන්දු ශූරතාව ලොව පුරා සජීව ලෙස ප්‍රචාරය කිරීමට චැනල් 9 රූපවාහිනී නාලිකාව අයිතිය මිළදීගෙන ඇත.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();