Ticker

6/recent/ticker-posts

Header Ads Widget

නව වාර්තා 2කට සීමාවූ ඉන්දුනීසියා වන්දනාව

ඉන්දුනීසියාවේදී පසුගියදා නිමාවට පත්වූ 18 වැනි ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කරමින් ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 178ක් සහ නිලධාරින් 81ක් ආපසු මවුබිමට පැමිණියේ හිස් අතිනි.

මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරග ඉසව් 28ක් නියෝජනය කළ අතර කිසිදු පදක්කමක් දිනා ගැනීමට නොහැකිවීම කනගාටුදායක තත්ත්වයකි. ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිසිදු පදක්කමක් දිනා නොගත් සිවුවැනි ආසියානු ක්‍රීඩා උළෙල ලෙස මෙය ඉතිහාසයට එක්වනු ඇත.

මෙවර ආසියානු ක්‍රීඩා උළෙලේදී නව ශ්‍රී ලංකා වාර්තා 2ක් සහ අවසන් තරග කිහිපයකට සහභාගිවීමේ අවස්ථාවකින් පමණක් සෑහීමකට පත්වීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිදුවී තිබිණි.

පිහිනුම් සහ බර ඉසිලීමෙන් නව තරග වාර්තා බිහිවූ අතර මලල ක්‍රීඩා ඉසව් කිහිපයකින් අවසන් තරග සඳහා එක්වීම කැපී පෙනුණි.

පදක්කම් අහිමිවූ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් බහුතරය පැවැසූවේ ජාත්‍යන්තර තරග අත්දැකීම් අඩුවීමත්, කණ්ඩායම් තරගවලදී එකට එක්ව පුහුණුවීම් කිරීමට වැඩි කාලයක් ගත නොකිරීමත් මේ පරාජයන්ට හේතුවූ බවය.

පිහිනුම්

මීටර් 200 නිදහස්ආර ඉසව්වට එක්වූ මැතිව් අබේසිංහ විනාඩි 1:0.97ක කාලයකින් තරගය නිමා කරමින් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට සමත් විය.

ආසියානු ක්‍රීඩා උළෙලක පිහිනුම් ඉසව්වෙන් හිමිකරගත් ඉහළම ස්ථානය ශ්‍රී ලංකාවට අත්කර දීමටද මැතිව් අබේසිංහ සමත් වූයේ මීටර් 100 නිදහස්ආර අවසන් තරගයේදී 6 වැනි ස්ථානයට පත්වෙමිනි.

පිහිනුම් ක්‍රීඩකයන්ට මීටර් 100 නිදහස් ආර සහාය ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව අහිමිවී ගියේ නීතිවිරෝධි තරග ආරම්භයක් හේතුවෙනි. එම ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව විනාඩි. 3:22.84ක් වන අතර මැතිව් සොයුරන් සමගින් චෙරන්ත සහ අකලංක මෙවර තරගය නිමාකළේ විනාඩි 3:22.34කි.

මීටර් 50 සමනල ආර ඉසව්වේ මූලික වටයේ තරගයකදී තම හොඳම කාලය වාර්තා කිරීමට අකලංක පීරිස් සමත් වූයේ තත්පර 25.20කිනි.

බර ඉසවීම

බර ඉසවීමේ ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් බිහිකිරීමට චමරි වර්ණකුලසූරිය සමත්වූවාය. කිලෝග්‍රෑම් 53 බර පන්තියෙන් තරග කළ ඇය ක්ලීන් ඇන්ඩ් ජේක් ක්‍රමයට කිලෝග්‍රෑම් 96ක බරක් ඔසවමින් මේ වාර්තා බිහිකළාය. එම තරගයේදී ඇයට හිමිවූයේ 10 වැනි ස්ථානයයි. නිමාවූ පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී පදක්කම් දිනූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිපදෙනකු මේ ඉසව්වට එක්වුවද ඔවුන්ට දෙවැනි වටයට හෝ පිවිසීමට නොහැකි විය.

මලල ක්‍රීඩා

මෙවර ක්‍රීඩා උළෙලේදී මලල ක්‍රීඩා ඉසව්වෙන්ද දස්කම් දැක්වීම ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිපදෙනකු සමත්වූහ.

එහිදී මීටර් 400 පිරිමි සහාය දිවීමේ කණ්ඩායම කැපී පෙනුණි.

මීටර් 400 සහාය දිවීමේ අවසන් තරගයට එක්වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ විනාඩි 3:02.74ක කාලයක් වාර්තා කරමින් තරගය නිම කළහ. කණ්ඩායම් 8ක් එක්වූ තරගයෙන් ඔවුන්ට 4වැනි ස්ථානය හිමිවූයේ මෙවර තරගාවලියේ කණ්ඩායමක් හිමිකරගත් ඉහළම දක්ෂතාවද පෙන්වමිනි.

වසර 18ක් පැරණි ශ්‍රී ලංකා වාර්තාව අළුත් කිරීම සඳහා ඔවුන්ට අහිමිවූයේ තත්පර දශම තුනකි. ශ්‍රී ලංකා වාර්තාව සටහන් වන්නේ විනාඩි 3:02.71ක් ලෙසිනි.

මේ කණ්ඩායමට අරුණ දර්ශන, කාලිංග කුමාරගේ, පසිඳු ලක්ෂාන් කොඩිකාර සහ අජිත් ප්‍රේමකුමාර එක්වූහ.

මීටර් 800 කාන්තා ඉසව්වෙන් තරග වැදුණු ගයන්තිකා අබේරත්න අවසන් තරගයේදී 6 වැනි ස්ථානයට පත්වූයේ විනාඩි 2:05.50ක කාලයක් වාර්තා කරමිනි. පසුගිය වර (2014 ඉන්චියොං) ක්‍රීඩා උළෙලට වඩා පියවරක් ඉදිරියට එ්මට ඇයට හැකිවූවාය. එහි පිරිමි තරගයට එක්වූ ඉඳුනිල් හේරත්ද අවසන් තරගයට සුදුසුකම් ලැබූ අතර එහිදී ඔහු වාර්තා කළ කාලය විනාඩි 1:51.36කි. එහෙත් එම ඉසව්වේ මූලික වටයේදී ඔහු විනාඩි 1:47.54ක කාලයක් වාර්තා කර තිබිණි.

කාලිංග කුමාරගේ මීටර් 400 ඉසව්වෙන් අවසන් තරගයට පිවිසි අතර 46.49කාලයක් සමගින් 8 වැනියා බවට පත්විය.

එම ඉසව්වේ මූලික වටයේදී තම හොඳම කාලය වාර්තා කිරීමට කාලිංගට හැකිවූයේ තත්පර 45.99ක් ලෙසිනි.

රග්බි

සුදර්ශන මුතුතන්ත්‍රීගේ නායක්තවයෙන් තරග වැදුණු ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට හිමිවූයේ ආසියාවේ සිවුවැනි ස්ථානයයි.

මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකා පිල එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඇෆ්ගනිස්තානය මූලික වටයේදීත්, චීනය අර්ධ අවසන් පූර්ව වටයේදීත් පරාජය කළ අතර අවසන් පූර්ව තරගයේදී ජපානය හමුවේ පරාජයට පත්විය. ලෝකඩ පදක්කම සඳහා පැවැති තරගයෙන් කොරියාව හමුවේ පරාජය වීමෙන් සිවුවැනි තැනට පත්විය.

මූලික වටයේදී ද ශ්‍රී ලංකා පිල කොරියාව හමුවේ පරාජයට පත්ව තිබිණි.

හොකී

ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා පිරිමි හොකී කණ්ඩායමට හිමිවූයේ 8 වැනි ස්ථානයයි. ඒ කණ්ඩායම් 12ක් අතුරිනි.

මේ තරගාවලියේදී හොකී කණ්ඩායමේ කැපී පෙනෙන සිදුවීම වූයේ වසර 40කට පසු හොංකොං පිල පරාජය කිරීමය. ශ්‍රී ලංකා කණ්ඩායම සත්කාරක ඉන්දුනීසියාවද පරාජය කළ අතර දකුණු කොරියාව, ජපානය සහ ඉන්දියාව හමුවේ පරාජයට පත්විය.

කබඩි

පළමු වරට ආසියානු තරගාවලියට එක්වූ කාන්තා කබඩි කණ්ඩායම මූලික වටයේදී ජයග්‍රහණ 2ක් අත්කර ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සත්කාරක ඉන්දුනීසියාව ලකුණු 34-17කින් සහ ජපානය ලකුණු 22-17කින් පරාජය කළ අතර තායිලන්තය (ලකුණු 41-15) සහ ඉන්දියාව (ලකුණු 38-12) හමුවේ පරාජයට පත්වූහ.

කබඩි පිරිමි කණ්ඩායමට ජයගත හැකිවූයේ තායිලන්තය සමග තරගය පමණි. එය ලකුණු 46-29ක් ලෙස සටහන් වූ අතර ඉන්දියාව හමුවේ 44-28ක්, බංග්ලාදේශයෙන් 29-25ක් සහ දකුණු කොරියාවෙන් ලකුණු 33-22ක් ලෙස ඔවුන් පරාජයට පත්විය.

බැඩ්මින්ටන්

ආසියානු ක්‍රීඩා උළෙල ඉතිහාසයේ බැඩ්මින්ටන් ඉසව්වෙන් ඉහළම දස්කමක් කිරීමට සචින් ඩයස් සහ බුවනනෙක ගුණතිලක සමත් වූහ.

පිරිමි යුගල තරගයට එක්වූ ඔවුන් දෙදෙනා 32 දෙදෙනාගේ වටයේදී මැකාවෝ පිලත්, 16 දෙනාගේ වටයේදී පාකිස්තානයත් පරාජය කරමින් අර්ධ අවසන් පූර්ව වටයට පිවිසියහ. එහිදී ඔවුන් චීනයට 2-0කින් පරාජයට පත්වූ අතර චීන ක්‍රීීඩකයන් දෙදෙනා හිටපු ලෝක ශූරයන්ය.

කේවල ඉසව්වලින් දිනූක කරුණාරත්න සහ කවිඳි සිරිමාන්නගේ පමණක් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගත්හ. එහෙත් ඔවුන් දෙදෙනාටද ඉන් ඉදිරියට යෑමට නොහැකි වුහ.

ටයිකොන්ඩෝ

මේ ඉසව්වේ කිලෝග්‍රෑම් 49 කාන්තා බර පන්තියෙන් තරග කළ කුමුදු කල්පනී අර්ධ අවසන් වටයට තෙක් ගමන් කිරීමට සමත්වූවාය. 32 දෙදෙනාගේ වටයේදී නිතරග ජයකින් 16 දෙනාගේ වටයට පිවිසි ඇය එහිදී පාකිස්තාන ක්‍රීඩිකාව පරාජය කළාය. අර්ධ අවසන් වටයේදී ජපාන ක්‍රීඩිකාව හමුවේ ලකුණු 32-8කින් පරාජයට පත් වූවාය.

චලින්ද සම්පත්, බිලේෂ් ප්‍රනාන්දු, රනුරි වන්තිලා සහ නිසංසලා සඳමාලි 16 දෙනාගේ වටයෙන් නතර විණි.

වූෂු

කිලෝග්‍රෑම් 60 බර පන්තියෙන් තරග කළ පැතුම් නුවන් බලවර්ධන අර්ධ අවසන් පූර්ව වටය තෙක් ගමන් කිරීමට සමත් වූහ. 32 දෙදෙනාගේ වටයේදී නිතරග ජයකින් ඉදිරියට ගිය ඔහු 16 දෙනාගේ එම වටයේදී ලාඕසයේ ක්‍රීඩකයා පරාජය කරමින් අර්ධ අවසන් වටයට එක්විය. එහිදි වියට්නාම ක්‍රීඩා හමුවේ ඔහු පරාජයට පත්විය.

වොලිබෝල්

වොලිබොල් ඉසව්වෙන් ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම තරගාවලියට එක්වූ අතර ඔවුන්ට හිමිවූයේ 13 වැනි ස්ථානයයි. 13 වැනි ස්ථානය සඳහා තරගයේදී වියට්නාමය 3-0කින් පරාජය කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ මූලික වටයේදීද වියට්නාමය පරාජය කළ අතර තායිලන්තය සහ චීනය හමුවේ පරාජයට පත්වූහ.

වෙරළ වොලිබෝල්

වෙරළ වොලිබෝල් ඉසව්ව නියෝජනය කළ අසංක ප්‍රදීප් සහ ශෂිමාල් යාපා දකුණු කොරියාව වට 2-0කින් පරාජය කළ අතර කසකස්තානය සහ කටාරය හමුවේ පරාජයට පත්විය. මෙහිදී ඔවුන්ට හිමිවූයේ 17 වැනි ස්ථානයයි.

මේස පන්දු

මේස පන්දු මිශ්‍ර යුගල ඉසව්වෙන් ඉෂාරා මධුරංගි සහ උදය රණසිංහ දෙවැනි වටයට පිවිසි අතර එහිදී තායිලන්තය හමුවේ වට 3-0කින් පරාජයට පත්විය. කේවල තරගවලදී උදය රණසිංහ ආබාධයකට ලක්වූ අතර ඉෂාරා පාකිස්තානය පරාජය කරමින් දෙවැනි වටයට පිවිසියාය. එහෙත් එහිදී ඇයට හමුවූයේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල 3 වැනි ස්ථානයේ පසුවන චීන ක්‍රීඩිකාවයි. එම තරගයෙන් වට 4-0ක ජයක් චීනය සතුවිය.

ටෙනිස්

ශාමාල් දිසානායක මාලදිවයින පරාජය කරමින්ද 32 දෙදෙනාගේ වටයට පිවිසි අතර අනීකා සෙනෙවිරත්න මොන්ගෝලියාවට එරෙහිව 2-0ක ජයක් සමගින් 32 දෙදෙනාගේ වටයට පිවිසියාය.

අන්ජලිකා කුරේරා එම වටයට පිවිසියේ නිතරග ජයකිනි. එහෙත් ඉදිරියට යෑමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නොහැකි විය.

කරාටේ

කරාටේ ඉසව්වෙන් ශ්‍රී ලංකාව නියෝජන කළ ප්‍රසංග සඳරුවන් සහ අකිරෝ ලොකුගේ පමණක් අර්ධ අවසන් පූර්ව වටයට පිවිසියහ. එම වටයේදී ප්‍රසංග මැලේසියානු ක්‍රීඩකයා හමුවේත්, අකිරෝ කසකස්තාන ක්‍රීඩකයා හමුවේත් පරාජයට පත්විය.

ගොල්ෆ්

ගොල්ෆ් ඉසව්වේ කණ්ඩායම් තරගවලින් ශ්‍රී ලංකාව 15 වැනි තැන අත්කරගත් අතර කේවල තරගවලින් ශ්‍රී ලංකාවට හිමිවූ ඉහළම ස්ථානය වූයේ 41වැනි ස්ථානයයි. ඒ ජෝශප් ද සොයිසාටය.

බේස් බෝල්

ආසියානු ක්‍රීඩා උළෙල ඉතිහාසයේ සිය මංගල තරගාවලියට එක්වූ ශ්‍රී ලංකා බේස්බෝල් කණ්ඩායම ලාඕසය ලකුණු 15-10කින් පරාජය කරමින් ජයග්‍රාහී තායිලන්තය හමුවේ ලකුණු 14-3කින් පරාජය වීමෙන් දෙවැනි වටය මග හැරුණි.ගමනක් ආරම්භ කළද පළමු තරගයෙන්ම ජය අත්කර ගැනීමට සමත් විය.

බාස්කට්බෝල්

ක්‍රීඩකයන් තිදෙනකු එක්වන බාස්කට්බෝල් ඉසව්වේදී පිරිමි කණ්ඩායම වියට්නාමය ලකුණු 21-7කින් පරාජය කළ අතර කාන්තා කණ්ඩායම ජය ගත්තේ සිරියාව (ලකුණු 15-12) සමග තරගය පමණි. පිරිමි පිල කණ්ඩායම් 5ක් අතුරින් සිවුවැනි ස්ථානයද, කාන්තා පිල කණ්ඩායම් 4කින් සිවුවැනි තැනද අත්වීමෙන් මූලික වටයෙන් ඉවත්විය.

ජිම්නාස්ටික්

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජිම්නාස්ටික් ඉසව්වට එක්වූ එකම ක්‍රීඩිකාව වන ඇනා මේරි ඔන්ඩාච් රිද්මයානුකූල ජිම්නාස්ටික් ඉසව්වේ මූලික වටයේදී 24වැනි ස්ථානයට පත්වූවාය. ඇය ඒ සමගින් දෙවැනි වටයට සුදුසුකම් ලැබුවද තරගයට එක්නොවුණි.

ඊ-ස්පෝට්ස්

මෙවර ආසියානු ක්‍රීඩා උළෙලට පළමු වරට එක්කර තිබූ ඊ-ක්‍රීඩාවෙන් අර්ධ අවසන් පූර්ව වටය තෙක් ගමන් කිරීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ අම්රිත් ඇල්ෆ්‍රඩ් සමත් විය.

දුනු විදීම

දුනු විදීමෙන් ඉසව්වෙන් සජීව් ද සිල්වා 64 දෙනකු අතුරින් 32 දෙදෙනාගේ වටයට තේරුනු අතර බොක්සිං ඉසව්වෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 6 දෙනකු තරග වැදුණු අතර දෙවැනි වටයට සුදුසුකම් ලබාගැනීමට කිසිවකුත් සමත් නොවූහ.

මේ අතර ජූඩෝ, මල්ලවපොර, බොක්සිං, ඔරු පැදීමේ තරග ඇතුළු ශ්‍රී ලංකාව නියෝජනය කළ අනෙකුත් ඉසව්වන්ගෙන් දස්කම් දැක්වීමට නොහැකි විය.

නිරෝෂාන් ප්‍රියංකර
(ඉන්දුනීසියානු සංචාරයෙන් පසුව)

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();