Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සාන්ත ජෝශප් විදුහල් පිල මංගල ශූරතාව දිනයි

Author(s): 
ෆවුස් මොහොමඩ්

කොළඹ රාජකීය විදුහල් පිලට එරෙහිව ලකුණු 21-12ක විශිෂ්ට ජයක් වාර්තා කළ මරදාන සාන්ත ජෝශප් විදුහල් පිල සිය පාසල් රග්බි ඉතිහාසයේ පළමු වතාවට අන්තර් පාසල් සත් සාමාජික රග්බි ශූරතාව දිනාගැනීමට සමත්විය. පළමු භාගය නිමාවනවිට ලකුණු 14-5කින් පෙරමුණ ගත් සාන්ත ජෝශප් විදුහල් පිල තරගය පුරා ගෝල් 3ක් වාර්තා කිරීමට සමත්වූ අතර රාජකීය විදුහල් පිලට රැස් කිරීමට හැකිවූයේ ගෝලයක් සහ උත්සාහක දිනුමක් පමණි.

තරගයේ තුන්වැනි මිනිත්තුවේදී රාජකීය විදුහල් පිලේ තුලේබ් හසන් කදිම උත්සාහක දිනුමක් ලබමින් සාන්ත ජෝශප් විදුහල් පිලට දැඩි අභියෝගයක් එල්ල කළ අතර ඊළඟ මිනිත්තුවේදී ඉමේෂ් දිසානායක තැබූ විශිෂ්ට උත්සාහක දිනුම ගෝලයක් බවට පත් කළ රෂේන් ගුණවර්ධන සාන්ත ජෝශප් විදුහල් පිල ලකුණු 7-5කින් ඉදිරියට ගෙන ගියේය. කේෂාන් කාවින්දගේ උත්සාහක දිනුම ගුණවර්ධනගේ පා පහරින් ගෝලයක් බවට පත්වෙද්දී ලකුණු 14-5කින් ඉදිරියට ගිය සාන්ත ජෝශප් විදුහල් පිල තරගයේ පාලනය සියතට ගත්තේය.

දෙවැනි භාගයේ තරගයට සාර්ථකව අවතීර්ණ වෙමින් සිය කණ්ඩායමට උත්සාහක දිනුමක් ගෙනදීමට රාජකීය විදුහල් පිලේ ජනිඳු ඩිල්ෂාන් සමත්විය. එය ගෝලයක් බවට පත් කළ මිගාර මිහින්සක සිය කණ්ඩායම ලකුණු 12කින් ඉදිරියට ගෙන ගියේය. එහෙත් ඊට මොහොතකට පසුව සිය දෙවැනි උත්සාහක දිනුමත් තැබූ ඉමේෂ් දිසානායක සාන්ත ජෝශප් විදුහල් පිලේ ජයග්‍රහණය තහවුරු කළේ ගුණවර්ධන විසින් එය ගෝලයක් බවට පත් කරනු ලැබීමෙනි.

රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේ පෙරේදා නිමාවට පත්වූ මේ දෙදින තරගාවලියේ කුසලාන වටයේ අවසන් මහා තරගයට සාන්ත ජෝශප් විදුහල් පිල සුදුසුකම් ලැබුවේ අවසන් පූර්ව තරගයේදී ලකුණු 19-14කින් සාන්ත අන්තෝනි විදුහල් පිල පරාජය කරමිනි. ඉසිපතන විදුහල් පිල ලකුණු 28-12කින් පරදවා රාජකීය විදුහල් පිල අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීය.

තරගාවලියේ පළඟ ශූරතාව දිනා ගනු ලැබුවේ ලකුණු 28-0කින් ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් පිල පරාජය කළ විද්‍යාර්ථ විදුහල් පිල විසිනි. තර්ස්ටන් විදුහල් පිලට එරෙහිව ලකුණු 31-0ක ජයක් අත්කර ගත් කිංග්ස්වුඩ් විදුහල් පිල බඳුන ශූරතාව දිනාගත් අතර ලකුණු 21-19කින් පිළියන්දල මැදි විදුහල් පිල පරාජය කළ රිච්මන්ඩ් විදුහල් පිලට පළිහ ශූරතාව හිමිවිය.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();