Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ලෙනෙන් පිටතට ගෙනා ළමයි සිවුදෙනා රෝහල් ගත කරති

ලොව පුරා දැඩි අවධානයට ලක් වූ තායිලන්තයේ ලෙනක සිර වූ ළමයින් සහ ඔවුන්ගේ පාපන්දු පුහුණුකරු බේරා ගැනීමේ දෙවැනි අදියර ආරම්භ කිරීමට බලාපොරොත්තු වූවාට වඩා වැඩි කාලයක් ගත විය. මුල්ම ළමයින් සිවුදෙනා බේරා ගත් කණ්ඩායම දෙවැනි පියවර සඳහාත් යොදා ගැනීමේ අරමුණ මේ ප්‍රමාදයට හේතු විය. පළමු පියවරේදී ලත් අත්දැකීම් ආශ්‍රයෙන් මේ මෙහෙයුම සාර්ථක කර ගැනීමේ හැකියාවේ වැඩි ප්‍රතිශතය ඔවුන් සතු බැවින් වඩාත් සුදුසු වන්නේ එම පිරිසම දෙවැනි හා තෙවැනි අවස්ථාවන්ට යොදා ගැනීම බව සැලසුම් විශේෂඥයන්ගේ මතයයි.

ඉරිදා රාත්‍රියේ දී ලෙන තුළින් පිටතට ගෙන එනු ලැබූ ළමයින් සිවුදෙනා මේ වන විට රෝහල් ගත කර ඇති අතර දින දෙකකට පසු ඔවුන්ට සිය මවුපියන් හමු වීමේ අවස්ථාව හිමි වනු ඇත. මේ සූක්ෂම මෙහෙයුම සඳහා ප්‍රවීණ කිමිදුම්කරුවන් 18 දෙනෙකු ඉරිදා උදෑසන ලෙනට ඇතුළු වූ අතර පැය නවයකට පසු ළමයින් අතැතිව පිටතට පැමිණියේය. මෙහිදී ඔක්සිජන් ටැංකි සිය ගණනක් භාවිතා කළ බව සඳහන් වේ. බේරා ගන්නා ලද ළමයින් සිවුදෙනාගේ අනන්‍යතාව මෙතෙක් අනාවරණය කර නැත. බේරා ගැනීමේ පළමු පියවර ආරම්භ කරන ලද්දේ බෞද්ධ භික්ෂුන් වහන්සේලා ලෙන් පිවිසුමට රැස්ව පිරිත් සජ්ජායනය කරන අතරතුරය.

මේ අතර දෙවැනි පියවර ක්‍රියාත්මක කෙරුණ ඊයේ (09) තායිලන්ත අගමැති ප්‍රයුට් චාන්-ඕ-චා මහතා මෙහෙයුම් කලාපය වෙත පැමිණ සිටියේය.

බේරා ගනු ලැබූ ළමයින් ප්‍රතිකාර ලබන චියැන්ග් රායි ප්‍රචානුක්රොහ් රෝහල ඉදිරියේ ලොතරැයි අලෙවිය ඔවුන් බේරා ගැනීමත් සමඟ ඉහළ ගොස් ඇති බව ලොතරැයි අලෙවිකරුවෝ පවසති. ඔවුන් පවසන්නේ 13, 23 සහ 38 යන අංක සඳහා විශාල ඉල්ලුමක් පවතින බවයි. පුහුණුකරු ද ඇතුළු පාපන්දු කණ්ඩායමේ සාමාජිකයන් සංඛ්‍යාව 13 වන අතර ඔවුන් ලෙනට ඇතුළු වී ඇත්තේ 23 වැනිදාය. නාවික හමුදා"සීල්" ඒකකය අංක 38 හැඳින්වේ.

මේ පිරිස පියවර හතරකින් පිටතට ගෙන ඒමට සැලසුම් කර ඇති අතර දුර්වල තත්ත්වයේ පසු වන ළමයින් මුලින්ම පිටතට ගැනීමට සැලසුම් කර තිබුණි. කෙසේ වෙතත් ළමයින්ගේ සෞඛ්‍ය පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ පුහුණුකරු තරමක දුර්වල තත්ත්වයේ පසුවන නමුත් ළමයින් සියලු දෙනා පිටතට ගන්නා තුරු ඔහු පිටතට ඒම ප්‍රතික්ෂේප කර තිබේ. එහෙත් නිල නොලත් ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඔහු වඩාත් දුර්වල තත්ත්වයේ සිටින බැවින් මුලින් බේරා ගත් සිවුදෙනා අතර ඔහු ද සිටින බවයි. අක්කාපොල් චන්තවොන්ග් නමැති 25 හැවිරිදි පුහුණුකරු වයස අවුරුදු 10 දී අනාථ වූවකු බවත් ඕනෑම අපහසුතාවකට මුහුණ දීමට තරම් ඔහු ශක්තිමත් බවත් ඔහුගේ නැන්දණියක වන අම්පෝර්න් ශ්‍රීවිචායි මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළාය. ඔහු අන් අයට උදවු කිරීමට බොහෝ කැමැති පුද්ගලයකු බව ද ඇය අනාවරණය කළාය. ඔහු සමඟ සිටින ළමයින්ගේ මවුපියන් මීට පෙර ඔහු වෙත යැවූ ලිපියක සඳහන් කර ඇත්තේ මෙය ඔහුගේ වැරැද්දකින් සිදු වූ දෙයක් නොවන බවයි. එසේම තම දරුවන් හොඳින් බලා ගන්නා බව විශ්වාස කරන බව ද එහි සඳහන් කර ඇත.

තාක්ෂණික ව්‍යවසායකයකු වන බිලියනපති එලොන් මස්ක් විසින් ළමයින් බේරා ගැනීමේ මෙහෙයුමට සහාය ලබා දෙමින් කුඩා ප්‍රමාණයේ සබ්මැරීනයක් එවා ඇති අතර එය පැය 17ක් ඇතුළත තායිලන්තයට ළඟා වෙනු ඇති බව පැවසේ. එය බොහෝ විට මේ සඳහා උපකාරී විය හැකි බව මෙහෙයුම් සැලසුම් ප්‍රවීණයන් විශ්වාසය පළ කරයි.

පසුගිය ජූනි 23 වැනිදා මේ ළමයින් කණ්ඩායම තායිලන්තයේ චියැන්ග් රායි උතුරු පළාතේ තාම් ලුයැන්ග් ලෙනට පිවිස ඇති අතර ඊට දින නවයකට පසු එනම් ජූලි 02 වැනි දා ඔවුන් නිරුපද්‍රිතව සිටින බව තායි නාවික සීල් ඒකකය සොයා ගත්තේය. එතැන් පටන් ඔවුන් වෙත පහසුකම් සැපයීමේ නිරත වෙමින් බේරා ගැනීමේ සැලසුම් සිදු කළ තායිලන්තයට විදෙස් රටවල සහාය ද ලැබෙන්නට විය.

බේරා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කිරීමට දින කිහිපයකට පෙර වෛද්‍යවරයෙකුගේ අධීක්ෂණය යටතේ දිරවීමට පහසු විටමින් සහ ඛනිජ අඩංගු ශක්තිජනක ආහාර තායිලන්තයේ ලෙන තුළ සිරවී සිටින කණ්ඩායමට ලබා දෙන බව තායි නාවික හමුදා විශේෂ බළකායේ ප්‍රධානී අද්මිරාල් අපගොර්න් යෝවුකෝගේව් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේය. එසේම වෛද්‍යවරයෙකු සහ හෙදියක ඇතුළු කිමිදුම්කරුවන් හත් දෙනෙකු තායිලන්තයේ උතුරු දිග පිහිටි ලෙනේ සිරව සිටින කණ්ඩායම හා එක් වී ඇති බවත් දරුවන්ගේ අවධානය වෙනතකට යොමු කිරීමට ඔවුන් කටයුතු කර ඇති බවත් ඔහු අනාවරණය කළේය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();