Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ග්ලයිෆොසෙට් තහනම ඉවත්කර නෑ

ග්ලයිෆොසෙට් තහනම ඉවත්කර නොමැති බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක, ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් ඒකකයේ ප්‍රධාන උපදේශක හා තිරසර කෘෂිකර්ම ව්‍යාපෘතියේ උපදේශක පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පැවැසූහ.

මෙම රසායනික වල් නාශකය තහනම ඉවත් කිරීම සඳහා ඉල්ලා සිටින කණ්ඩායම තේ නිෂ්පාදනයෙන් 26%ක් පමණක් සපුරන්නන් වන අතර 74%ක් නිෂ්පාදනය කරන කුඩා තේ වතු හිමි ව්‍යාපාරිකයන් මීට එකඟ නොමැති බව ද පෙන්වා දුන්හ. ග්ලයිෆොසෙට් පිළිකා කාරකයක් බව ඇමෙරිකා එක්සත් ජනපදය නිල වශයෙන් ප්‍රකාශක් කර ඇති බව ද උන්වහන්සේ සඳහන් කළෝය.

සඳහම් සෙවණ සහ ජාත්‍යන්තර සංවිධාන එක්ව ඊයේ (03) සඳහම් සෙවණ ආයතනයේ දී පැවැත් වූ 'ග්ලයිෆොසෙට් තහනම' සම්බන්ධයෙන් පැවැත් වූ මාධ්‍ය හමුවේ දී රතන හිමියෝ එසේ සඳහන් කළෝය.

අදාළ ඇමැතිවරයා කියන අයුරින් ග්ලයිෆොසෙට් තහනම ඉවත්කර නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා ජනාධිපති ලේකම්වරයා මා සමඟ පැවසුවා.

ග්ලයිෆොසෙට් තේ වගාවට අත්‍යවශ්‍ය බැවින් තහනම ඉවත් කරන ලෙස ඉල්ලා දුමින්ද දිසානායක ඇමැතිවරයා හා නවීන් දිසානායක ඇමැතිවරයා කැබිනට් පත්‍රිකා දෙකක් වෙන වෙනම ඉදිරිපත් කළා. එහි දී ඒ සම්බන්ධයෙන් තීරණ ගැනීමට පෙර ග්ලයිෆොසෙට් ගෙන්වීමට කටයුතු කර තිබුණු අතර තහනම හේතුවෙන් ඒවා රේගුවෙන් අත්අඩංගුවට ගත්තා. මේ ගෙන්වා ඇති කෝටි ගණනක් වටිනා විෂ වල්නාශක තොගය රේගුවෙන් මුදා ගැනීමට කිසිවකුට දැන් අවශ්‍යව තිබෙන බැවින් තහනම ඉවත් කර ගැනීමට උත්සාහ කරන බවක් දැකිය හැකියි.

මෙම කැබිනට් පත්‍රිකා හේතුවෙන් ග්ලයිෆොසෙට් පිළිබඳ විද්‍යාත්මකව සොයා බැලීමට කමිටුවක් පත් කළ යුතු යැයි නම් ගත්තත්, නම් ලබා ගත් අය නොමැතිව හොර රහසේ කමිටුවක් පත් කර මොන්සැන්ටෝ සමාගමට අවශ්‍ය ලෙස ක්‍රියාත්මක වී තිබෙන බව දැකිය හැකියි.

ග්ලයිෆොසෙට් දියකර බීමටත් හැකි බව කියන වගකීමෙන් තොරව විවිධ ප්‍රකාශ කරන අය හා සැබෑ විද්‍යාඥයන් කවුද? ඒ අය කියන්නේ කුමක්ද? කියා රටට ප්‍රසිද්ධියේ හෙළි කිරීමට, වේදිකාවකට ගෙන්වා ගැනීමට අප උත්සාහ කරනවා.

මහා පරිමාණ වතු හිමිකරුවන් හා අධිකාරිවරු ජනාධිපතිවරයා කැඳවා ග්ලයිෆොසෙට් සම්බන්ධයෙන් අදහස් විමසුවා. ඒ අය මේවා අවශ්‍ය බව පැවසුවා. තේ නිෂ්පාදනයෙන් 26%ක් පමණයි ඒ අයගෙන් ලැබෙන්නේ ඉතිරි 74%ම නිෂ්පාදනය කරන්නේ කුඩා තේවතු හිමියන්. ඒ අයට මේ අවශ්‍යතාව පැන නැඟී නැහැ.

ඇමෙරිකා එක්සත් ජනපදය මෙන්ම වෙනත් බොහෝ රටවල් ග්ලයිෆොසෙට් තහනම් කිරීමට පියවර ගෙන තිබෙනවා. හේග් අධිකරණය මගින් තහනම් නියෝගයක් පවා දී තිබෙනවා.

මෙරට තේ වගාව අසාර්ථක නිසාලු මේවා අවශ්‍ය වන්නේ. මෙටට රුපියල් බිලියන දෙකහමාරක් පමණ අදායමක් පමණයි තේවලින් ලැබෙන්නෙ. එයිනුත් අඩු නිෂ්පාදනයක යෙදෙන පිරිස මේ ඉල්ලීම කරන්නෙ.

අරමුණු හතක් මූලික කරගනිමින් අප සංවිධානය එක්ව සිටින්නේ. ඒ අනුව අද ලෝකය මුහුණ දී ඇති පාරිසරික, සමාජීය ගැටලුවලට විසඳුම් බෞද්ධ දර්ශනය තුළ තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාව බෞද්ධ ජීවන දර්ශනයේ පරමාර්දර්ශය බවට පත්වීම, ආධ්‍යාත්මික සංවර්ධනය සඳහා සංවාද මණ්ඩපයක් ඇති කර බෞද්ධ දර්ශනය තුළ පවත්නා චින්තන නිදහස සැකසීම, වස විසෙන් තොර ධාර්මික ගොවිතැනක් කරා ජනතාව යොමු කිරීම, විෂ වායුවෙන් තොර බල ශක්තියක් කරා පියවර තැබීම, හරිත වූ ලෝකයක් සඳහා කැපවීම, සෞඛ්‍ය සම්පන්න ලෝකයක් සැකසීම හා සමාජ සාධාරණත්වය ඇති කරලීම සඳහා සමූපකාර ක්‍රමය හා සාධාරණ වෙළඳාම ලෝකය තුළ ප්‍රචලිත කිරීම සඳහා කටයුතු කිරීමට අප සැම ප්‍රතිඥා දෙන්නෙමු.

මේවා සපල කර ගැනීම සඳහා ඊට එකඟ රටවල නියෝජිතයන්ගෙන් සැදුම් ලත් බෞද්ධ මණ්ඩලයක් ස්ථාපිත කෙරෙනවා. මීට සමගාමීව වෙබ් අඩවි ඉංග්‍රීසි හා චීන භාෂාවෙන් ප්‍රකාශයට පත් කිරීම, සමුළුවේ නියෝජිත රටවල ජාතික බෞද්ධ සමුළු පැවැත්වීම, නියෝජිත නොවන බෞද්ධ රටවල්වල බෞද්ධ නායකයින් සමඟ සබඳතා ගොඩනඟා ගනිමින් ජාත්‍යන්තර සබඳතා වැඩි දියුණු කර ගැනීම, ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම තිරසර සංවර්ධන ආදර්ශ මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම හා සියලු සාමාජික රටවල් නියෝජිතයන් හා ශ්‍රී ලංකාවේ 25000කගේ සහභාගීත්වයෙන් ජාත්‍යන්තර බෞද්ධ මංගල්‍යයක් මෙරට දී පැවත්වීම හා පොදු බෞද්ධ සංවර්ධන අරමුදලක් පිහිටුවීම යන ක්‍රියාමාර්ගවලට එළඹීමට අදහස් කෙරෙනවා.

ආචාර්ය පියසේන අබේගුණවර්ධන මහතා - ඖෂධීය පානයක් වන තේ වගාව සඳහා වල් නාශක කිසිවක් භාවිත නොකිරීමයි කළ යුතු වන්නේ. ග්ලයිෆොසෙට් තහනමෙන් පසු තේ වගාවට යොදා ගත් වල්නාශක හේතුවෙන් තේවල එන්සීපීඒ අඩංගු බවටත් ඒ නිසා ඒවා තහනම් කර ග්ලයිෆොසෙට් නැවත භාවිතයට ගත යුතු බවටත් මේ වන විට ඉල්ලීමක් තිබෙනවා. මේ සඳහා කළ යුත්තේ රසායනික වල් නාශක සියල්ල තහනම් කිරීම මිස එකක් වෙනුවට එකක් පාවිච්චි කිරීම නොවේ.

මේ සඳහා ස්වභාවික සැකසුමක් තිබිය යුතුයි. මේ වල් නාශක තහනම ඉවත් කිරීමෙන් ජනාධිපති නිර්භීත, ගෞරවනීය ක්‍රියාවක් කළ බව කිව හැකියි. නැවත කුමන හෝ හේතුවක් මත මේ තහනම ඉවත් කළොත් ජනාධිපතිවරයාගේ ගෞරවය කෙළසා ගැනීමක් සිදු වන්නේ.

කුමන හේතුවක් මත හෝ මේ තහනම ඉවත් කළද රසායනික වල් නාශක පාවිච්චිය නතර කර තේ වගාව රැක ගැනීමට වැඩි නිෂ්පාදනයකට දායක වී සිටින කුඩා තේවතු හිමියන් එක් විය යුතුයි. කෙසේ වුවත් මේ වල් නාශක තහනම ඉවත් කරන ලෙස ඉල්ලමින් කරුණු කියන කණ්ඩායමේ ඉල්ලීම් අවිද්‍යාත්මක තොරතුරු මත සිදු කරන බව අප හඳුනාගෙන තිබෙන්නෙ.

රජරට ජලාශවලට විෂ ද්‍රව්‍ය එක් වී පවිත්‍ර ජනය දූෂණය වීම සිදුවන්නේ කඳුකරයේ මේ පාවිච්චි කරන වල් නාශක හේතුවෙන් බව කුඩා පාසල් දරුවන් පවා දන්නා කරුණක්. ග්ලයිෆොසෙට් අවශ්‍ය බව කියමින් නවීන් දිසානායක මහතා ක්‍රියාකිරීමෙන් සිය පියා මහවැලි ව්‍යාපාරය මඟින් කෘෂි කර්මාන්තයට මෙන්ම මිනිසාටත් සතුන්ටත් පිරිසිදු ජලය ලබාදීමට කටයුතු කිරීමේ බලාපොරොත්තුව විනාශ වෙනවා.

විද්‍යාඥයන් ප්‍රතිපත්තිමය ලෙස සිය කාර්යය නිසි ආකාරයෙන් කළ යුතු අතර දේශපාලඥයා ජනතා නියෝජිතයෙක් ලෙස වගකීමෙන් ජනතාව වෙනුවෙන් කටයුතු කළ යුතුයි.

ආහාර, සංස්කෘතිය සම්බන්ධ ආචාර්ය දමයන්ති පෙරේරා, සෙසම් සංගමයේ සභාපතිනි වෙන්ඩිමා, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හිටපු විද්‍යාඥ ආචාර්ය ලයනල් වීරකෝන් මහත්ම මහත්මීහු ද මෙහි දී අදහස් දැක් වූහ. චිනය ෂාඔලින් ටෙම්පල් හි මාස්ටර් යෙන්ෂින් හිමි ඇතුළු විවිධ බෞද්ධ රටවල නායක ස්වාමීන් වහන්සේ ලා හා සංවිධාන ප්‍රධානීන් රැසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

චන්ද්‍රිකා පෙරේරා

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();