ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ සිනමාකරණ හැකියාව ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකයන්ගේ හදවත්වල නොනැසී පවතිනු ඇති බව ජනතා විමුක්ති පෙරමුණ ශෝක පණිවිඩයක් නිකුත් කරමින් කියයි.
රේඛාවේ සිට අම්මාවරුන් දක්වා දශක පහක් පුරා ශ්‍රී ලාංකේය සිනමාව තුළ තැබූ නොමැකෙන සටහන සදා අමරණීය වනු ඇති බවද එම නිවේදනයේ සඳහන් වේ.
වැඩිදුරටත් එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.
ශ්‍රී ලංකාවේ අග්‍රගණ්‍ය සිනමාකරු ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා වසර 99ක සිය ජීවිතය හමාර කර නික්ම ගොස් තිබේ. ඒ මහා කලාකරුවාගේ වියෝව වෙනුවෙන් ශෝකවන ලක්ෂ සංඛ්‍යාත ශ්‍රී ලාංකේය ජනතාව සමඟ අපිදු එක්වෙමු.
ලෙස්ටර් මහතා 1956 ‘රේඛාවේ’ සිට 2006 ‘අම්මාවරුනේ’ දක්වා දශක පහක් පුරා ලාංකේය සිනමාව තුළ තැබූ නොමැකෙන සටහන නිසැක ලෙසම ඔහු යුග පුරුෂයෙකු ලෙසට ඔසවා තබයි. වෘතාන්ත චිත්‍රපට, කෙටි චිත්‍රපට, ළමා චිත්‍රපට ආදී සිනමාවේ පුළුල් ක්ෂේත්රයක හැකියාවන් දැක් වූ ඔහුගේ ‘රේඛාව’ චිත්‍රපටය සැලකෙනුයේ සැබෑ දේශීය සිනමාවේ උපත ලෙසය. ඉදින් අවිවාදයෙන්ම ඔහු සැබෑ දේශීය සිනමාවේ පීතෘවරයාය. සිනමා කැමරාව එවකට පුරුදුව සිටි චිත්රාගාරයෙන් පිටතට ගෙන ස්වාභාවික පරිසරයක රූගත කිරීම් ඇරැඹීමේ අභියෝගාත්මක පියවරේ සිට ලාංකේය පොදු ජන ජීවිතය කලාත්මක ලෙස සැලෝලයිඩ් පට මතට ගැනීම දක්වා පුළුල් පරාසයක විහිදුණු ඔහුගේ හැකියාව විශිෂ්ටය.
0 Comments