රිද්මි අමෝදා
ද නේෂන් පුවත්පතේ සම කර්තෘ කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් පහරදීම හා කෲර ලෙස වධහිංසා සිදුකිරීමේ සිද්ධියට සැක මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී සහ ජාතික ආරක්ෂක විද්‍යාලයේ සේනාවිධායක මේජර් අමල් කරුණාසේකර මෙම සිද්ධිය වූ වකවානුවේදී සිදුකළ රාජකාරි සහ බලතල සම්බන්ධයෙන් කරුණු දැන ගැනීමට එවකට හිටපු හමුදා බුද්ධි අංශ ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතාගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට අවශ්‍ය බව රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ලක්මිණි ගිරිහාගම මහත්මිය ඊයේ (02) ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් ලොචනා අබේවික්‍රම මහත්මියට ප්‍රකාශ කර සිටියාය.
ඔහු ලබාදෙන එම ප්‍රකාශය මත අමල් කරුණාසේකරගෙන් වැඩිදුර ප්‍රකාශ ලබාගැනීමට කටයුතු කරන බව ද නීතිඥවරිය ප්‍රකාශ කර සිටියාය.
තවදුරටත් නීතිඥවරිය ප්‍රකාශ කර සිටියේ අමල් කරුණාසේකර දැනට ලබාදී තිබෙන ප්‍රකාශ තුළින් කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් වධහිංසා කළ හමුදා රැඳවුම් නිවාස ලෙස තිබූ බදුවත්ත සහ ලන්සියවත්ත ප්‍රදේශ පිළිබඳ කිසිදු ප්‍රකාශයක් කර නොමැති බවය. එසේම එම රැඳවුම් නිවාස තුළ සිදුවූයේ මොනවාද? එම රැඳවුම් නිවාසවලට අයත් ලිපි ලේඛනවලට සිදුවූයේ කුමක්ද? යන්න පිළිබඳ අමල් කරුණාසේකර හට දැනුමක් ඔහු ඒ වකවානුවේ සේවයේ අනුයුක්තව සිටි නිලධාරියකු ලෙස තිබිය යුතු බව ද නීතිඥවරිය අධිකරණයට ප්‍රකාශ කර සිටියාය.
රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරිය කරුණු දක්වමින් ප්‍රකාශ කර සිටියේ මෙම සිද්ධිය සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන පවත්වාගෙන යන බැවින් හා අමල් කරුණාසේකරගෙන් වැඩිදුරටත් ප්‍රකාශ ලබාගැනීමට අත්‍යවශ්‍ය බැවින් ඔහු ඉදිරියටත් රක්ෂිත බන්ධනාගාරගත කර තැබිය යුතු බව ය.
එසේම කීත් නොයාර් මහතා පැහැරගෙන යෑමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර සිටින මේජර් බුලත්අත්තගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට අවශ්‍ය බව රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරි ප්‍රකාශ කර සිටියාය.
අමල් කරුණාසේකර වෙනුවෙන් පෙනී සිටි ජනපති නීතිඥ නලින් ඉන්ද්‍රතිස්ස මහතා ප්‍රකාශ කර සිටියේ අමල් කරුණාසේකර හට ඇප ලබාදීම තුළින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනවලට බලපෑම් සිදුනොවන බවය. එසේම සාක්ෂිකරුවන් හට මොහුගෙන් කිසිදු බලපෑමක් එල්ල නොවන බවත්ය. එම නිසා ඔහුට ඇප ලබාදෙන ලෙසට ඉල්ලා සිටියේය.
එහිදී කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය හිටපු හමුදා බුද්ධි අංශ ප්‍රධානී සිසිර මෙන්ඩිස්ගෙන් සහ මේජර් බුලත්අත්තගෙන් වැඩිදුර ප්‍රකාශ ලබාගැනීමට අවසර ලබා දුන්නාය. එසේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වැඩිදුර විමර්ශන වාර්තාවක් ඉදිරි නඩු වාරයේදී ඉදිරිපත් කරන ලෙස ප්‍රකාශ කළ අතර සැකකරු මැයි 16 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළාය.
0 Comments