පක්ෂ නායක රැස්වීමක් කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) පෙරවරු 9.00 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වේ. ලබන අටවැනිදා පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය ආරම්භ කිරීම සංවිධානය විය යුතු ආකාරය මෙන්ම ඉදිරි දිනවල පාර්ලිමේන්තුවේ කටයුතු ඇතුළු කරුණු රැසක් සම්බන්යෙන් මෙහිදි සාකච්ඡා කිරීමට නියමිත වේ.
පාර්ලිමේන්තු තේරිම් කාරක සභාව සඳහා පත්කළ යුතු සාමාජිකයින් පත්කිරීම සම්බන්ධයෙන්ද මෙහිදි අවධානය යොමුකිරීමට නියමිත අතර පාර්ලිමේන්තුවෙහි ක්‍රියාත්මක වන අනෙකුත් තේරිම් කාරක සභාවන් වෙත සාමාජිකයින් පත්කිරීම සිදුකරන්නේ පාර්ලිමේන්තු කාරක සභාව විසිනි. අද දිනයේදි රැස්වන පක්ෂ නායක රැස්වීමේදී පාර්ලිමේන්තු තේරිම් කාරක සභාව වෙත සාමාජිකයින් නම් කිරීමට නියමිත අතර අදාළ නම් සඳහන් යෝජනාවක් ඉදිරි දිනයකදි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඒ සඳහා සභාවේ අනුමැතිය ලබාගත යුතු බවත් පාර්ලිමේන්තුවේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙක් සඳහන් කෙළේය.
පක්ෂ නායක රැස්වීම ඊයේ (02) පැවැත්වීමට නියමිතව තිබූ අතර ආචාර්ය ලෙස්ටර් ජෙම්ස් පීරිස් මහතාගේ අවමඟුල් කටයුතු වලට සහභාගි වීමට අවශ්‍ය බැවින් පක්ෂ නායක රැස්වීම අද (03) දිනයේදී පැවැත්වීමට තීරණය කර ඇත.
එමෙන්ම නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා ධුරයෙන් ඉල්ලා අස්වූ බව සඳහන් කළද අදාළ ලිපිය මෙතෙක් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පාර්ලිමේන්තුව වෙත ලැබී නොමැති බවත් එම දැනුම් දීම ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පාර්ලිමේන්තුව වෙත සිදුවිය යුතු බවත් අදාළ නිලධාරියා සඳහන් කළේය.
0 Comments