Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ට සිදු වන හිරිහැර අවම මට්ටමක පවතිනවා

Author(s): 
මහින්ද අලුත්ගෙදර

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එම්. ජේ. ආර්. ඩේවිඩ්

අද වන විට ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ට සිදු වන හිරිහැර අවම මට්ටමක පවතින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජන සන්නිවේදන අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එම්. ජේ. ආර්. ඩේවිඩ් මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව පෙන්වා දුන්නේ නාරාහේන්පිට, ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ දී ‍පෙ‍රේදා (02) පැවැති ප්‍රසිද්ධ දේශනය සහ විද්වත් සාකච්ඡාව සඳහා සහභාගි වෙමිනි. ලෝක ජනමාධ්‍ය දිනය නිමිත්තෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් සංවිධාන කරන ලද මේ ප්‍රසිද්ධ දේශනය සහ විද්වත් සාකච්ඡාව 'මාධ්‍ය ප්‍රතිසංස්කරණ මෙතැනින් කොතනට ද' මැයෙන් පැවැත්විණි.

එහි දී වැඩිදුරටත් අදහස් පළ කළ ඒ මහතා මෙසේ ද කීය.

"මාධ්‍යවේදීන්ට සිදු වන පීඩා තුරන් කිරීම අවශ්‍ය වී තිබෙනවා. මාධ්‍ය සම්බන්ධයෙන් කාලයෙන් කාලයට ප්‍රතිසංස්කරණ ඉදිරිපත් වී තිබෙන නමුත් ඒවා නිසි පරිදි ක්‍රියාත්මක වී නෑ. ගුණාත්මක ලෙස මාධ්‍ය ප්‍රතිසංස්කරණ ශ්‍රී ලංකාවට අවශ්‍ය වී තිබෙනවා.

ශ්‍රී ලංකා‍‍වේ මාධ්‍ය ප්‍රතිසංස්කරණ සම්බන්ධ‍යෙන් විවිධ උත්සාහ ‍ගෙන ති‍බෙනවා. නමුත් ඒවා ‍මේ දක්වා අසාර්ථක වී ති‍බෙනවා. අද වන විට අ‍පේ ර‍ටේ මාධ්‍ය ව්‍යාධි ජනක ස්වාභාවයක් දකිනවා. මාධ්‍ය ප්‍රතිසංස්කරණ සඳහා මුද්‍රා තබා ති‍බෙනවා. අපි නැවුම් මං‍පෙතක් ඔස්සේ ඉදිරියට යා යුතු ‍වෙනවා. මාධ්‍ය ප්‍රතිසංස්කරණ ලංකා‍වේ හැමවිටම මැතිවරණවල දී ‍දේශපාලන ප්‍රතිපත්තිවල ඉහළ ස්ථානයක් ගන්නවා. විවිධ වර්ෂවල විවිධ නිර්දේශ ඉදිරිපත් කරමින් වාර්තා ඉදිරිපත් කර ති‍බෙනවා. මාධ්‍ය ප්‍රතිසංස්කරණ සම්බන්ධ‍යෙන් විවිධ වාර්තා ඉදිරිපත් කළත් ඒවා නිසි‍ ලෙස ක්‍රියාත්මක වී නෑ. මාධ්‍ය ප්‍රතිසංස්කරණ සම්බන්ධ‍යෙන් ඕනෑ තරම් වාර්තා ඉදිරිපත් වී ති‍බෙනවා. නමුත් ඒ සම්බන්ධ‍යෙන් ති‍‍බෙන්නේ කනගාටුදායක තත්ත්වයක්.

විද්‍යුත් මාධ්‍ය නියාමන සම්බන්ධ‍යෙන් ‍මේ දිනවල කටයුතු සිදු‍ වෙමින් ති‍බෙනවා. මාධ්‍ය හසුරුවා ගැනීම සම්බන්ධ‍යෙන් මූලික කටයුතු ‍හෝ සිදු කිරීමට ‍නොහැකිව මාධ්‍ය ප්‍රතිසංස්කරණ සම්බන්ධ‍යෙන් මැසිවිලි නැඟීම සාධාරණ නෑ. සිවිල් සමාජය විසින් ආණ්ඩුව ‍වෙත භාර‍ දෙන ‍යෝජනා සමූහයක් මාධ්‍ය ප්‍රතිසංස්කරණ ‍වෙනවා. නමුත් අසමත් පිරිසකට මාධ්‍ය ප්‍රතිසංස්කරණ ‍යෝජනා ඉදිරිපත් කිරීම සුදුසු නෑ. අසාර්ථක වූ කරුණු සම්බන්ධ‍යෙන් අ‍පේ අවධානය ‍යොමු විය යුතු ‍වෙනවා. බාහිර බලපෑම් මත කෘත්‍රිමව මතු වන සිදුවීමක් ‍ලෙස ඇතැමුන් මාධ්‍ය ප්‍රතිසංස්කරණ දකිනවා. ‍මේ ගැටලුව විශ්ලේෂනය ‍නොකර අහඹු ‍ලෙස විවිධ ගැටලු අර්ථකථනය කරන්න ඇතැමුන් ‍පෙළඹී සිටිනවා.

දැනට සංසරණය වන මාධ්‍ය ප්‍රතිසංස්කරණ අද වන විට යල් පැන ‍ගොස් ති‍බෙනවා. ලංකා‍වේ මාධ්‍යවේදීන්ගේ ගුණාත්මක බව සම්බන්ධ‍යෙන් විවිධ මත ති‍බෙනවා. විද්‍යුත් මාධ්‍ය ආයතන සඳහා කිසිදු නීතිරීති ‍නොමැතිව අද වන විට බලපත්‍ර ලබා දී ති‍බෙනවා. නිදහ‍සේ බලපත්‍ර ලැබී ති‍බෙන විට ප්‍රතිසංස්කරණ සඳහා ‍යොමු වන්නේ නෑ. අක්‍රමවත්ව බලපත්‍ර ලබා දුන් පසුව ඔවුන්ගෙන් මාධ්‍ය සදාචාරය අ‍පේක්ෂා කරන්න බෑ. මාධ්‍ය ප්‍රතිසංස්කරණ සම්බන්ධ‍යෙන් කතා කරන ඇතැමුන්ගේ විශ්වාසනීයත්වය සම්බන්ධ‍යෙන් ප්‍රශ්න ති‍බෙනවා. ‍මේ ලැයිස්තුව සම්බන්ධ‍යෙන් ‍සොයා ‍නොබලා මාධ්‍ය ප්‍රතිසංස්කරණ සම්බන්ධ‍යෙන් අවධානය ‍‍යොමු කිරීම ඵලක් නෑ. මාධ්‍ය ප්‍රතිසංස්කරණ සම්බන්ධ‍යෙන් අ‍පේ එළඹුම ‍වෙනස් කළ යුතු ‍වෙනවා. පසුගිය දා මහනුවර සිදු වූ සිද්ධිය සම්බන්ධ‍යෙන් වාර්තා කිරී‍මේ දී ප්‍රධාන ‍පෙ‍ළේ මාධ්‍ය විසින් යම්කිසි එකඟතාවක් ඇති කර ගත්තා.

මහජන අවකාශය තුළ මිනිසුන්ට යම්කිසි අයිතියක් ති‍බෙනවා. අද වන විට මාධ්‍ය විසින් දැඩිව තාක්ෂණය ‍යොදා ගන්නවා. නමුත් අ‍පේ ර‍ටේ මාධ්‍ය කර්මාන්තය ඉතා වැදගත්. ශ්‍රී ලංකා‍වේ මාධ්‍ය ප්‍රතිසංස්කරණ සතුටුදායක ‍ලෙස සිදු‍නොවන විට ගතික අභි‍යෝගය අප විසින් භාර ගත යුතු ‍වෙනවා."

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපති මහාචාර්ය රොහාන් සමරජීව මහතා

"අ‍පේ ර‍ටේ දුරකතන ක්‍ෂේත්‍රයේ විශාල අර්බුද තිබුණා. කාලය විනාශ කරන තත්ත්වය තිබුණා. නමුත් සමාගමට සහ අයිතිකරුවන්ටත් දුෂ්කර තත්ත්ව තිබුණා. එම සමාගම්වල සිටි පාරි‍භෝගිකයන් අතරින් සියයට 10කට ‍හෝ ජාත්‍යන්තර දුරකතන ඇමතුම් ගන්න ‍නොහැකි තත්ත්වයක් තිබුණා. නමුත් ඔවුන්ගේ ආදායමින් සියයට 60ක් පමණ ජාත්‍යන්තර ඇමතුම් හරහා තිබුණා. නමුත් ඒ ‍කොල්ලකාරී ‍ගෙවීම් අද කරන්නේ නෑ. එය ‍නොකරන තත්ත්වයන් සිදු කරන විට සමාගම් බිඳ වැ‍ටෙන තත්ත්වයක් තිබුණා. එය පිටින් බලන අයට තිබු‍ණේ නෑ. ඒ අය ‍දේශීය වශ‍යෙන් අය කරන ආදායම ‍දෙගුණ කිරීමට එදා මට පැවරී තිබුණා. ‍මෙවැනි අර්බුදයක් අද මාධ්‍ය ක්‍ෂේත්‍රයේ ති‍බෙනවා. ‍මෙය තවදුරටත් පවත්වා‍ගෙන යන්න බෑ. ඇතැම් විට විවිධ ක්‍රම ඔස්සේ මාධ්‍ය විසින් ප්‍රවෘත්ති ලබා ගන්නවා. උතු‍රේ සහ වතුකර‍යේ ජනතාව සම්ප්‍රදායික මාධ්‍ය භාවිත කරන්නේ නෑ.

‍මේ අර්බුද ‍වෙනු‍වෙන් කිසි‍වකු ‍හෝ ක්‍රියාමාර්ග ගන්නේ නෑ. ‍මේ ‍වෙනු‍වෙන් පාර්ශ්වකරුවන් ප්‍රතිසංස්කරණ සිදුවන්න ‍දෙන්නේ නෑ. බාහිර සාධක ‍මේ ‍වෙනු‍වෙන් බලපානවා. ලංකා‍වේ අලුත් තාක්ෂණය පාවිච්චි කරන්නේ සියයට 35ක් 40ක් පමණ ‍වෙනවා. එය කුටුම්භ මිලියනයක තරම් ප්‍රමාණයක් ‍වෙනවා. යහපාලනය, දූෂණ‍යෙන් ‍තොර සමාජයක් ‍ගොඩනඟන්න අපි ‍නෛතික රාමුවක් තුළ කටයුතු කළ යුතු ‍වෙනවා. දූෂණවලට ති‍බෙන ඉඩකඩ ඉවත් කරන්න ‍නෛතික රාමුවක් ඇති නම් හැකියාව ලැ‍බෙනවා. මාධ්‍ය ප්‍රතිසංස්කරණයට ‍‍නෛතික රාමුවක් අවශ්‍ය ‍වෙනවා. ‍පොදු අ‍පේක්ෂකයා‍ගේ සම්මුඛ සාකච්ඡාව 2015 වස‍රේ දී විකාශන කටයුතු අවහිර කිරීම ගැටලුවක් ‍වෙනවා. තාක්ෂණික ‍මෙන්ම ‍නෛතික ගැටලුවක් එතැන ති‍බෙනවා."

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාල‍යේ ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය

"මාධ්‍ය පාවිච්චි කරන ‍‍කෙ‍නෙක් ‍ලෙස මම විවිධ සිදුවීම් දකිනවා. මාධ්‍ය ප්‍රතිසංස්කරණ සම්බන්ධ‍යෙන් අද කතා කරනවා. මාධ්‍ය ප්‍රතිසංස්කරණ පමණක් ‍නොව සෑම අංශයකම එක තැන රැඳී ති‍බෙන තත්ත්වයක් දකිනවා. යම් යම් සිදුවීම් සිදු‍ වෙනවා. අධ්‍යාපන ක්‍‍‍ෂේත්‍රය අපි ‍නොසිතන තරම් ‍වෙනස් ‍වෙමින් ති‍බෙනවා. ඒ ව‍ගේම මාධ්‍ය ක්‍ෂේත්‍රයේ ද ‍වෙනස්කම් සිදු‍ වෙමින් ති‍බෙනවා. නමුත් ඒ ‍දෙක අතර ති‍බෙන ‍නොගැලපීම සම්බන්ධ‍යෙන් අවධානය ‍යොමු කළ යුතු ‍වෙනවා. ඇතැම් අවස්ථාවල විකල්පයක් ‍හෝ ‍නොමැතිව අපි එක තැන රැඳී ඉන්නවා. එය භයානක තත්ත්වයක්. ඒ තුළ අපි විසැඳුම් ‍සොයන්නේ ‍‍කෙ‍‍සේද. අපි ‍දේශපාලන‍යෙන් පිට විසැඳුම් ‍සෙවිය යුතු ‍වෙනවා. ‍දේශපාලනික වශ‍යෙන් ‍නොවන තැන අපි තාක්ෂණික විසැඳුම් ‍වෙනු‍වෙන් ‍‍‍යොමු විය යුතු ‍වෙනවා."

නිදහස් මාධ්‍ය ව්‍යාපාර‍යේ කැඳවුම්කරු සී.‍ දොඩාවත්ත මහතා

"මැයි මස තුන්වැනිදාට ‍යෙ‍දෙන ජාත්‍යන්තර මාධ්‍ය දිනය ‍වෙනු‍වෙන් ‍මේ වැඩසටහන සංවිධාන කර ති‍බෙනවා. 'අද දව‍සේ මාධ්‍ය ප්‍රතිසංස්කරණ මෙතැනින් කොතනට ද' මැයෙන් ‍මේ ‍දේශනය පවත්වන්නට පියවර ‍ගෙන ති‍බෙනවා. පසුගිය කාලයේ අපි ශ්‍රී ලංකා‍වේ මාධ්‍ය ප්‍රතිසංස්කරණ ‍වෙනු‍වෙන් විවිධ ක්‍රියාමාර්ග ‍ගෙන ති‍බෙනවා. නමුත් අවාසනාවකට එම උත්සාහ සමාජය අ‍පේක්ෂා කරන තරම් දුරට පැමිණ නෑ. අද වන විට එක තැන පල් ‍වෙමින් ති‍බෙනවා. පසුගිය ‍නොවැම්බර් මාස‍යේ දී අපි ජාතික සමුළුවක් පවත්වා ති‍බෙනවා. ‍මේ සාකච්ඡා ඉදිරියට යා යුතු ‍වෙනවා. ඉදිරි ගමන ඇණහිට ති‍බෙන ස්ථානය සම්බන්ධ‍යෙන් ‍තේරුම් ගැනීම අවශ්‍ය ‍වෙනවා. ‍සියලු ධාරා එක් කර ගත් සාකච්ඡාවක් අවශ්‍ය ‍වෙනවා. මාධ්‍ය ක්‍ෂේත්‍රයේ පවතින ගැටලු හඳුනාගනිමින් ඉදිරියට යෑම අද සංවාද‍යේ අරමුණ ‍වෙනවා."

ඇෆ්ගනිස්ථාන‍යේ දී ‍බෝම්බ ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් වූ මාධ්‍යවේදීන් සහ විවිධ සිදුවීම්වලින් මිය ගිය ශ්‍රී ලාංකික මාධ්‍යවේදීන් අනුස්මරණය කරමින් විනාඩියක නිහඬතාවක් පැවැත්වීම ද ‍මෙහි දී සිදු විණි. ජනමාධ්‍යවේදීහු හා නීතිඥ කේ. ඩබ්. ජනරංජන මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

ඡායාරූපය
නිරෝෂ් බටේපොල 

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();