Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පාකිස්තානයට එරෙහි තරගාවලියේදී ශ්‍රී ලංකා පිලේ නායකත්වය යළි චමරිට

Author(s): 
ෆවුස් මොහොමඩ්

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ කාන්තා ක්‍රිකට් ශූරතාවලියට ඇතුළත් තරග 3කින් සමන්විත එක්දින තරගාවලියකට සහ තරග 3කින් සමන්විත විස්සයි20 තරගාවලියකට සහභාගි වීමට දිවයිනට පැමිණි පාකිස්තාන පිලට එරෙහිව ශ්‍රී ලංකා පිල මෙහෙයවීම නැවතත් චමරි අතපත්තුට පැවරී තිබේ. මීට පෙර අවසන් වතාවට ඇය නායකත්වය දැරුවේ 2016 වසරේ සැප්තැම්බර් මස ශ්‍රී ලංකාවේ සංචාරය කළ ඔස්ට්‍රේලියානු පිල සමග පැවැති තරගාවලියේදීය. අනතුරුව ශ්‍රී ලංකා පිල ඉනෝකා රණවීරගේ නායකත්වය යටතේ තරග වැදුණු අතර පසුගිය වසරේ ඔක්තෝබර් මස ශ්‍රී ලංකා පිලේ අසාර්ථක කොදෙව් දූපත් සංචාරයෙන් පසුව නායකත්වයේ වෙනසක් සිදුකිරීම කෙරෙහි කාන්තා තේරීම් කමිටුවේ අවධානය යොමුවී තිබිණි.

පසුගිය වසරේදී එංගලන්තයේ විස්සයි20 ප්‍රාන්ත තරගාවලියේදී යෝක්ෂයර් පිල නියෝජනය කිරිමේ අවස්ථාව ලැබූ චමරි එවැනි අවස්ථාවක් උදාකර ගත් පළමු ආසියාතික ක්‍රිකට් ක්‍රීඩිකාව වන්නීය. අනතුරුව ඔස්ට්‍රේලියානු බිග්බෑෂ් කාන්තා විස්සයි20 තරගාවලියේදී මෙල්බර්න් රෙනගේට් කණ්ඩායම නියෝජනය කළ ඇය එවැනි අවස්ථාවක් ලැබූ පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවත්, දෙවැනි ආසියාතික ක්‍රීඩිකාවත් ලෙස වාර්තාපොතට එක්වූවාය.

තව වසර 4කින් පසුව පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා මේ තරගාවලිය අතිශය වැදගත් වනු ඇතැයි දෙපිල අතර තරගාවලිය පිළිබඳ පසුගියදා කොළඹ ජයික් හිල්ටන් හෝටලයේ පැවැති මාධ්‍ය හමුවේදී චමරි කීවාය.

පාකිස්තාන පිලට එරෙහිව විශිෂ්ට අයුරින් දස්කම් පෑමට කණ්ඩායමේ සියලුම ක්‍රීඩිකාවන් සූදානමින් සිටින බව කී ශ්‍රී ලංකා පිලේ නායිකා කණ්ඩායමේ අනාගතය ගොඩනැගීම සඳහා දිගුකාලීන සහ කෙටිකාලීන සැලසුම් රැසක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගෙන ඇතැයි පැහැදිලි කළාය.

‘අපි ජයග්‍රහණය පුරුද්දක් කරගන්න ඕනා. එතකොට තමයි පරදින්න බයවෙන්නේ. මේ තරගාවලියේදී මට ලැබී ඇති කණ්ඩායමේ සංයුතිය ගැන මම සෑහීමකට පත්වෙනවා. ‘ඇය කීවාය.

මෙවර කණ්ඩායමට පළමුවතාවට එක්වී සිටින රත්ගම දේවපතිරාජ විදුහලේ 17 හැවිරිදි තුන්ඉරියව් ක්‍රීඩිකාව කවීෂා දිල්හාරි පිළිබඳ අදහස් පළ කරමින් ඇය කියා සිටියේ ශ්‍රී ලංකා පිලේ අනාගතය දීප්තිමත් කරන තරුවක් බවට ඇය පත්වනු ඇති බවය. දකුණත් පිතිකාරිනියක ලෙසත්, දකුණත් පිටදඟ පන්දු යවන්නියක ලෙසත් අවුරුදු 19න් පහළ බාලිකා ක්‍රිකට් පිටියේ විශිෂ්ට දස්කම් දක්වමින් සිටින කවීෂා ජාතික කණ්ඩායමට එක්වූයේ පළමුවරටය.

තම කණ්ඩායම ඉතා සාර්ථක පුහුණු සැසි කිහිපයකින් පසුව ශ්‍රී ලංකාවේ සංචාරය කරන බැවින් තරගාවලියේදී ප්‍රතිවාදී පිලට දැඩි අභියෝගයක් එල්ල කිරීමට බලාපොරොත්තු වන බව මෙහිදී අදහස් පළ කළ පාකිස්තාන පිලේ නායිකා බිස්මා මාරූෆ් කියා සිටියාය. පාකිස්තානයට සමාන දේශගුණයකින් යුතු ශ්‍රී ලංකාවේ තණතීරුවල සිය ක්‍රීඩිකාවන් සුපුරුදු දස්කම් දක්වනු ඇතැයි ඇය විශ්වාසය පළ කළාය.

ශ්‍රී ලංකා පිල සහ පාකිස්තාන පිල අතර තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය මේ මස 20 වැනිදා දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වන අතර තරග 3කින් සමන්විත විස්සයි20 තරගාවලියේ පළමු හා අවසන් තරගය මේ මස 28 සහ 31දා එස්.එස්.සී. පිටියේ පැවැත්වෙන අතර දෙවැනි විස්සයි20 තරගය මේ මස 30 වැනිදා එන්.සී.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();