Ticker

6/recent/ticker-posts

Header Ads Widget

‘තාරුණ්‍යයට හෙටක්’ දේශපාලන සංවිධානයක් නිසා අනුග්‍රහය දැක්වීමේදී ගැටලුවක් ඇතිවුණා

Author(s): 
කුමුදු හෙට්ටිආරච්චි

තාරුණ්‍යයට හෙටක් දේශපාලන සංවිධානයක් බවත් එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා බවත් තමා දැන සිටි නිසා එවැනි දේශපාලන සංවිධානයකට කොමිෂන් සභාවේ අනුග්‍රහය දැක්වීම සම්බන්ධව තමාට ගැටලුවක් ඇති වූ බව සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂ තුෂාර ජයරත්න මහතා කොළඹ මහාධිකරණය හමුවේ සාක්කි දෙමින් ඊයේ (14) පැවසීය.

තාරුණ්‍යයට හෙටක් සංවිධානයට ලබාදුන් රුපියල් ලක්ෂ පනහක මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය ඇතුළු චෝදනා මත ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ හිටපු සභාපති නාලක ගොඩහේවා ඇතුළු තිදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා පවරා ඇති නඩුවේ සාක්කි දෙමින් තුෂාර ජයරත්න මහතා එසේ පැවසීය.

කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා හමුවේ මෙම නඩුව විභාගයට ගැනේ.

ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ හිටපු සභාපති නාලක ගොඩහේවා, එහි හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂවරයකු වන ධම්මික පෙරේරා හා තාරුණ්‍යයට හෙටක් සංවිධානයේ ක්‍රීඩා අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කළ බව කියන රොනී ඉබ්‍රාහිම් යන විත්තිකරුවෝ ඊයේ (14) අධිකරණය හමුවේ පෙනී සිටියහ.

2013 /08/05 දින තමා යාපනයේ වැඩමුළුවක සිටියදී තම කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරියෙක් තමාට දුරකථන ඇමතුමක් දී තාරුණ්‍යයට හෙටක් සංවිධානයට අනුග්‍රාහකත්වයක් ලබාදීමට කොමිෂන් සභා පත්‍රිකාවක් සකසන ලෙස උපදෙස් දුන් බව පැවසූ බවත් එය තරුණ ප්‍රජාව අතර මූල්‍ය සාක්ෂරතාව හා කොටස් වෙළෙඳ පොළ ගැන දැනුවත් කරන වැඩමුළු මාලාවකට අනුග්‍රහය දැක්වීමක් බවත් පැවසූ බව තුෂාර ජයරත්න මහතා පවසා සිටියේය.

එය දේශපාලන ව්‍යාපාරයක් නිසා ඊට කොමිෂන් සභාවේ අනුග්‍රහය දැක්වීම සම්බන්ධයෙන් තමාට ගැටලුවක් ඇතිවූයේ මින් පෙර එවැනි දේවල් කර නොතිබි නිසා බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අසාත් නවාවි මහතාගේ මෙහෙයවීම මත සාක්කිදුන් සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂ තුෂාර ජයරත්න මහතා පැවසීය.

හදිසි කටයුත්තක් ලෙසට කොමිෂන් සභා පත්‍රිකා හදන්න නිලධාරීන් පැවසුවත් එහි කිසිඳු හදිසියක් නැති බව තමාට පෙනී ගිය බවත් පැවසූ තුෂාර ජයරත්න මහතා ඒ සම්බන්ධව දෙවැනි විත්තිකරුගෙන් දුරකථනය හරහා විමසූ බවත් පැවසීය.

තාරුණ්‍යයට හෙටක් දේශපාලන සංවිධානයක් නිසා ඊට අනුග්‍රහකත්වයක් දැක්වීම ඉදිරියට ප්‍රශ්නයක් විය හැකි බව එවකට කොමිෂන් සභාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙක් ලෙස කටයුතු කළ දෙවැනි විත්තිකරුට දන්වා සිටි බවත් පැවසූ සාක්කිකරු තමා කොළඹට පැමිණි පසු සාකච්ඡා කර මේ ගැන තීරණයක් ගමු යනුවෙන් තමා පවසා සිටි බවත් කීය.

“මා වෙනුවෙන් අත්සන් කිරීමට සකසා තිබූ එම කොමිෂන් පත්‍රය මා හා නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාගේ අත්සන් ඇතුළත්ව හදන ලෙසට පසුව මා නිලධාරීන්ට උපදෙස් දී විද්‍යුත් තැපෑලෙන් එය පෙන්වා එය හට තමාගේ විද්‍යුත් අත්සන යෙදූ බව පවසා සිටි සාක්කිකරු අපෙන් කෙරෙන්නේ මූල්‍ය අනුග්‍රහය පමණයි. ඉදිරි වැඩ ගැන ඒ අය අවශ්‍ය වැඩකටයුතු සිදු කරන බව දෙවැනි විත්තිකරු තමා කොළඹට පැමිණි පසු පවසා සිටි බවත් සඳහන් කළේය.

මෙම කොමිෂන් පත්‍රය ගැන තමා දෙවන වර සාකච්ඡා කරන විට කොමිෂන් සභාව ඊට අනුමැතිය ලබාදී තිබූ බවත් පවසා සිටි සාක්කිකරු තාරුණ්‍යයට හෙටක් සංවිධානයට ඉල්ලා සිටි රුපියල් ලක්ෂ පනහක මුදල ඊට ලබාදීම සාමාන්‍ය ක්‍රියාපටිපාටියට සම්බන්ධ නොවූ බවත් පැවසීය.

නඩුවේ වැඩිදුර විභාගය අද (15) ට කල් තැබුණි.

2013 අගෝස්තු මස 06 හා අගෝස්තු මස 08 වැනිදා අතර කාලයේදී ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය මත තාරුණ්‍යයට හෙටක් සංවිධානයට නිදහස් කළ රුපියල් ලක්ෂ 50ක මුදල එම සංවිධානයේ ගිණුමට බැර නොකර ක්‍රීඩා සමාජයක් නමින් වූ ගිණුමකට බැර කිරීමට කුමන්ත්‍රණය ඇතුළු අධිචෝදනා තුනක් මත නීතිපතිවරයා විසින් විත්තිකරුවනට එරෙහිව මෙම නඩුව පවරා ඇත.

විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා සමඟ නීතිඥවරු මඬුල්ලක් පෙනී සිටියහ. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();