Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ශ්‍රී ලංකාවේ සංවර්ධන වැඩ රැසකට ණය නොවන ආධාර ලබාදෙනවා

 ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා සහාය ලබාදීමේ දී හැකි සෑම අවස්ථාවකම ණය නොවන අධාර ලබාදීමට ඉදිරියේදී කටයුතු කරන බව ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා පවසයි.

ජපානයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා අතර නිල හමුව ඊයේ (14) පස්වරුවේ පැවැත්වුණු අතර එහිදී ජපාන අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

 එමෙන්ම ජපානය ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනයට ලබාදෙන සහාය අඛණ්ඩව ඉදිරියට ලබාදෙන බවට ද මෙහිදී ජපාන අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිතුමා හමුවේ සහතික විය.

එහිදී වරාය සංවර්ධනයට ප්‍රමුඛත්වයක් ලබාදෙන අතර, දැනටමත් කොළඹ සහ ත්‍රිකුණාමල වරායේ සංවර්ධනය සඳහා ජපාන රජය විසින් ලබාදෙන සහාය පිළිබඳව ද සාකච්ඡාවට ලක්විය.

ශ්‍රී ලංකාවේ බලශක්ති උත්පාදනය සඳහා අවශ්‍ය සහාය තවදුරටත් ලබාදීමට සූදානම් බව පැවසූ ජපාන අග්‍රාමාත්‍යවරයා අධිවේගි මාර්ග පද්ධතියේ ඉදිකිරීම සඳහා ද සහාය ලබාදීමට කටයුතු කරන බව සඳහන් කළේය.

ජපානයේ විශේෂ වූ කාර්මික වැඩසටහන්වල දායකත්වය ශ්‍රී ලංකාවට ලබාදීමට හැකි බව ද ජපාන අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය.

එමෙන්ම ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සංවර්ධනයට අවශ්‍ය තාක්ෂණික උපකරණ ලබාගැනීම සඳහා සහාය වන ලෙස ජනාධිපතිතුමා ජපාන අග්‍රාමාත්‍යවරයාගෙන් කළ ඉල්ලීමට ද යහපත් ප්‍රතිචාරය පළ කෙරණි.

ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණ කටයුතු සඳහා මෙන්ම අපද්‍රව්‍ය කළමනාකරණ වැඩසටහන් සඳහා සහාය ලබාදීමට ද ජපාන අග්‍රාමාත්‍යවරයා කැමැත්ත පළ කළේය.

ආරක්ෂක සහ නාවික කටයුතුවලදී ජපානය ශ්‍රී ලංකාවට ලබාදෙන සහාය මෙහිදී සිහිපත් කළ ජපාන අග්‍රාමාත්‍යවරයා ඉන්දීය සාගර කලාපයේ රටවල් අතරින් ජපාන රජයේ එම සහාය හිමිව ඇත්තේ ශ්‍රී ලංකාවට පමණක් බව ද කියා සිටියේය.

ඒ පිළිබඳ ජනාධිපතිතුමා මෙහිදී ජපාන රජය සහ අග්‍රාමාත්‍යවරයා වෙත සිය විශේෂ ස්තූතිය පිරිනැමීය.

දෙරට අතර ආර්ථික සහ වෙළෙඳ සබඳතා වැඩිදියුණු කර ගැනීම පිළිබඳව ද මෙහිදී නායකයන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ අතර, ශ්‍රී ලංකාවේ ආයෝජන සිදු කිරීමේ රාජ්‍ය අංශයේ පමණක් නොව රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශයේම දායකත්වයේ ඇති වැදගත්කම ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා සඳහන් කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මේ සංචාරය සමඟ ශ්‍රී ලංකාව සහ ජපානය අතර අතීතයේ පටන් පවතින සමීප මිත්‍රත්වයේ තවත් නැවුම් පියවරක් සනිටුහන් වනු ඇති බවයි.

දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තර කර ගැනීමට රාජ්‍ය සංචාරයක් සඳහා ඇරයුම් කිරීම පිළිබඳ ජපාන අග්‍රාමාත්‍යවරයා වෙත සිය ස්තූතිය පළ කළ ජනාධිපතිතුමා පසුගිය ජී-7 සමුළුවෙන් ශක්තිමත් වූ ජපාන - ශ්‍රී ලංකා සබදතාවලට මේ සංචාරයෙන් අනතුරුව තවත් තිර පදනමක් සැකසෙනු ඇති බව කියා සිටියේය.

එමෙන්ම පසුගිය ජී-7 සමුළුවේ සාර්ථකත්වය ද මෙහිදී සිහිපත් කළ ජනාධිපතිතුමා ඒ පිළිබඳ ජපාන අග්‍රාමාත්‍යවරයා වෙත ස්තූතිය පිරිනැමීමට ද මෙය අවස්ථාවක් කර ගත්තේය.

ඊයේ දින අකිහිතෝ අධිරාජ්‍යයා බැහැ දුටු අවස්ථාව ද ගෞරවයෙන් සිහිපත් කළ ජනාධිපතිතුමා එහිදී එතුමා විසින් සිදුකරන ලද ආදරණීය සහ උණුසුම් පිළිගැනීම පිළිබඳව ද තම කෘතවේදිත්වය පළ කළේය.

නුදුරු දිනකදීම ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණෙන ලෙස ජනාධිපතිතුමා ජපාන අග්‍රාමාත්‍යවරයා වෙත කරන ලද ආරාධනය මෙහිදී අග්‍රාමාත්‍යවරයා විසින් ඉතා සුහදශීලි ලෙස පිළිගනු ලැබීය.

රාජ්‍ය නායක දෙපළ අතර පැවති ද්විපාර්ශ්වික සාකච්ඡා අවසානයේ ජපාන- ශ්‍රී ලංකා සෞඛ්‍ය සේවා ක්‍රියාවට නැංවීම පිළිබඳ නව ගිවිසුමකට ද අත්සන් තැබිණි.

ටෝකියෝ නුවර පිහිටි ජපාන අග්‍රාමාත්‍ය කාර්යාලය වෙත අද පස්වරුවේ ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාව අගමැති ෂින්සෝ අබේ මහතා විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

ඉන් අනතුරුව හමුදා උත්තමාචාර සහිත නිල පිළිගැනීමේ උත්සවය ඉතා අභිමානවත් අයුරින් පැවැත්වුණේ දෙරටේ බැදීම මැනවින් විදහා දක්වමිනි.

නිල පිළිගැනීමේ උත්සවය අවසානයේ නායක දෙපළ සුහද කතා බහකට එක්විය.

අනතුරුව ජපාන අග්‍රාමාත්‍යවරයා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඇතුළු දූත පිරිස ප්‍රධාන සාකච්ඡා ශාලාව වෙත කැඳවාගෙන යනු ලැබූ අතර එහිදී නායකයන් සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියහ. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();