ඇහැල ගහ යට
රහසින්ම මුමුණාපු
සුදු පරෙවි ජෝඩුවක්
සුදෝ සුදුවට දිලුණු
වලාකුළු පේළියක්
වලා සළුවෙන් මිදුණු
ඉර බහින සැඳෑවක්
ගිලගන්න සැරසුනා
සොඳුරු පෙම් කතාවක්
අතැඟිල්ලෙ දැවටෙන්න
හැදුව හැම වතාවෙම
නෙත් කොනින් ඉඟි කළේ
කතාවක් කදුලින්ම
රන් මුදුව ගිලගත්තෙ
අහිංසක හිනාවම
ඇහැල ගහ යට ලිව්වෙ
අපේ පෙම් කතාවම
සරසවියෙ තිබුනෙ නෑ
අපි නොගිය මාවතක්
දළදාව පිදුවේම
සුදු නෙළුම් මල් මිටක්
නුවර වැව හඬ නගයි
තිබුනා නම් පණ පොදක්
ඇහැල ගහටත් වැදිලා
ඉඩෝරෙට ඇස් වහක්
නුවර අහසම බරව
වැහි දියෙන් තෙමෙනවා
ඇහැල ගහ යට හීන
බොඳවෙලා මැකෙනවා
පෙම් පොතේ පිටු ඉරී
සුසුම් වැල් නැගෙනවා
සුදු පාට පරවියෙක්
හීනෙනුත් අඬනවා
හංසිනී උත්පලා
සදලංකාව
ප්‍රේමවන්තයෝ
දෑත් පටලා ඔහේ ඇවිදින
පෙම්වතුන්මය මේ වලාකුළු
සරත් සමයේ උනුන් වෙන්වී
පාළු වෙනවා අහසෙ අහුමුළු
දෑලබඩ හිඳ හාදු මල් දී
ගඟට ආලය පිදූවත් තුරු
ගඟක් නිතරම සිනාසෙන්නේ
බල බලයි දුර ඈත ඇති තරු
ස්වාධීනයි වගේ පෙණුනත්
ග්‍රහවස්තු හා අන්න අර සඳු
උන්ට කක්ෂය හදා ගන්නත්
හිරුට ගෙව්වලු කප්පරක් බදු
පවන් අංජන
බිඳුණු පෙම
නිවී දැල්වෙන තාරකා මැද
දුටිමි තනි තාරකාවක්
සඳුට ළං වී කනට කොඳුරන
සුපෙම්බර පෙම් කතාවක්...
ඈත අහසේ පිපී පරවී
මැකී යන කළු වලාවක්
සරදමට මෙන් සිනාසීලා
ඉඟි කරයි ඇස වතාවක්...
වහා සඳු දැක ඉඟි මරන ඇස
කිපී ඔරවා වතාවක්
තරුට පවසයි නොහික්මුණු බස්
නැතත් ඈ සතු වැරැද්දක්...
පෙමක් බිඳිලා ඇදී එන මේ
දබරයක සිත් රිදීමක්
පැතිර යයි මුළු ගගන සරලා
මුවාකරගෙන ඇසිල්ලක්...
විසිරිලා තරු කැබලි මල්දම්
මිලින වී මල් කිණිත්තක්
උදාවෙයි ඒ අමාවක දින
උකස්කර එක් කතාවක්...
දේශානි ආරච්චිගේ
කොළඹ විශ්වවිද්‍යාලය
අම්මා
සුදු කොඩි වැල් එසවුණු
ගිනිගෙන පහන තිබුණු
මගේ සිත සදා හඬන
කරුණ සොයමි…
හැම නාමල් සුවඳට
සිත පරවෙලා තිබුණු
කරුණ සොයා
සොහොන් කරමි...
සුපිපුණු මල් සුවඳට
හිත පර වෙලා වැටුණු
කරුණ කියමි...
දැසේ තිබුණු
කඳුළැලි තාම වැටුණු
මා හඬවා මියැදුනු
සෙනෙහෙ සොයමි…
පසුව උනත්,
මහාමේර වගේ දැනුණු
අම්මේ… නුඹේ සෙනෙහස මම
තාම පතමි ...
හඬා වැටෙමි.. තාම සොයමි
ඔබේ සොහොන ළඟ ඉඳගෙන
මම වැළපෙමි....
ඔබ මතු බුදු වන බව සදා දනිමි...
තුසිත පුරෙන් බැස එනකම්
පමා නොවෙමි
මේ සංසාර කෙතේ සදා සොයමි
නුඹ බුදු වෙන්න කලින්
නුඹේ කුසේ මම හිනැහෙමි ...
නිශාන්ත දසනායක
අදිසි නදිය
මැක්ස්, කොහෙද ඔබ ප්‍රියය
නමක් නැති නගරයක
නොඑන්නේද මා වෙත
වැනසු නමක් නැති නගරය
වසංගතයෙන් බේරි ආ නුබ
දුන් පොරොන්දු කඩ කර
ආවේ භූගත පෙදෙසට
ජානයෙන් පැවත ආ උවදුර
කණපිට පෙරළුවත්
නොදෙනු වැනසුමට ඔබ දිවිය
කුරිරු මේ අදිසි නදියට
අදිසි නදිය ඇය
පෙරළුවත් මා කිඳුරියක් විලසට
සිතේ තෙරපෙන හැම හැඟීමම
නොමියෙනු ඇත මියගියත් මම . .....ලිලී
ඉමල්ශා දෙව්ම් සුරියප්පෙරුම
සාංකාව
කම්මැලි වැහි බිඳු එක දෙක
පොළව සිඹිනවා
සීත සුළං කවුළු තුලින්
පවන් සලනවා
මැදියම් අඳුරේ විදුලිය
රටා අඳිනවා
නින්ද සොරා ගත් මතකය
මා රිදවනවා
අඳුරු වලාකුළු පුන්සඳ
වසා ගත් හැටී
ඈත තියෙන තරු ඒ ගැන
දන්නවා ඇතී
පාළු නිදි යහන කඳුලින්
තෙමෙනවා නිතී
ආල සිතක දුක කීමට
අකුරු මට මදී
රවින්ද්‍ර ලක්මාල් දයාවංශ
බියගුලු රැල්ල
රැල්ලෙන් වැල්ල ඇදෙනා සිඳු ජල කැටිය
වැල්ලේ නොඉඳ මුහුදට යළි පිය මැනිය
හෝ හෝ නඟා වෙරළම සොලවමින් බිය
ආවත් සැඩ ව මග දුර විත් පැන යතිය
පසිඳු මිහිරාන් රැටියල
ඔබත් නැති වැහි දවස්
ගැබ්බරයි හොදටෝම කළු වලාකුළු වෙළඹ
නොදැක්කාසේ දුවයි රිදීමය පා සලඹ
ඉහින්නට ගත්තාම ගස්සලා මුදු විලුඹ
ඔබත් නැති වැහි දවස් පට්ට පාලුයි කොළඹ
චින්තනී අමරසිංහ
අභියෝග මැද ජීවිතය
දුෂ්කර නමුත් මා මෙ යන
මං තීර...
හැරදා යා නොහැක කිසි දින.
එ මඟ මෙමට...
ආ දුර කෙටිය තව දුර ඇත
ඉදිරියට...
යා යුතුමයි කෙලෙසින් හො එ මඟ මෙලෙස...
යන මඟ ඇත්තෙ මල් වැල් නොව කටු වැල්ය...
ඒ මුත් කිසිත් කම් නැත මා
යා යුතුය...
විඳලා මහ මෙරක් දුකකුත් මගෙ මා පිය දෙදෙන...
පැතුවෙ එක දෙයයි මා මෙතනට ගෙන එන්න...
රැ මැදියම වෙන තෙක් නිදි මරාගෙන...
පාඩම් කළෙ මෙ ලෙස කැම්පස් එන්න...
අනාගතේ එක දවසක
වැජඹෙන්න...
විඳිනව මෙ ලෙස දුකකුත්
හොස්ටල් එකේ සිට...
පනහෙ බත් එකෙන් කුස ගිනි නිවාගෙන...
ඉන්නෙ සිකුරාදා වෙන තෙක් මං බලාගෙන...
අම්මාගෙ බත් එකේ රස විඳින්නට...
ඇරඹුණා පමණයි මෙ මඟ යන්න...
තව තියෙනවා ලොකු දුරක් මට ඉදිරියට
යන්නට බාධා මැද්දෙන් මෙ ලෙසට...
එනවා හැම විටම කම් කටුළු.
මෙලෙස...
සිතෙනවා එවිට හැර දා නිවසට යන්න...
කෙලෙසද ඉතින් අද මම ඒ ලෙසට...
හැරදා යන්නෙ මෙය මහ දුකක් ලෙස...
දෙමාපිය දෙදන මා ගැන සිහින
දකින කොට...
කෙලෙසද තිත තබන්නෙ මා එ් සිහිනයට...
කේ.පී.එ් චමන්ද්‍යකා
කැලණිය විශ්වවිද්‍යාලය
...............................................................................
පෝර පෝලිම
නොමිලෙ දෙන
එක පෝර මිටියට
වරුවක්ම දවසක
අප්පච්චි පෝලිමක
ගිනි අව්වෙ හරියටම
මීටරෙන් හිටගෙනම
එක පෝර මිටියකට
දුකම අපි හින්දම
උදේ වරුවම
කහට උගුරට
දවල් වරුවම
වතුර උගුරට
එකම එක
පෝර මිටියට
අප්පච්චි තවමත්
පෝලිමේ හිටගෙන
සයුරි ධනංජනී
කැලණිය විශ්වවිද්‍යාලය
පවුලක් රකින
මැණිකක්
පිනි වැහි බිඳු
උණුයි කියා
නුඹ නොතෙමිච්ච
ඇල් හුලගේ
රස්නෙට නුඹ
ගත නොනිමෙච්ච
මගහරිනා විට
තිස්සෙම
සිත දුක් වෙච්ච
මට හිතුනා
නුඹේ දුකෙන්
කොටසක් ගන්ට
ජීවිතයේ බර
සේරම පවුලක් එක්ක
තව අතක ඇන්න
නුඹ දැක්කම
නෙත බොදවෙච්ච
මගේ හිතත්
පත්තු උනා
රස්නෙත් නැතිව
නගේ ඉතින් හිනාවෙයන්
නුඹ මැණිකක්‍ය
දම්මි රාජපක්ෂ
ප්‍රේමිය
ගලන සිතුවිලි සෙමින් දෝතින්
කවි හැඩැති බඳුනකට පුරවා
එයට පෙම් මල් දෙක තුනක් දාලා
පොවමි මම හද සෙනෙහෙ පාලා...
නළල මැද්දට හාදුවක් දී
පෙම් අමාකර ඇල්ලේ නෑවි
කිරි සිඳුගේ අර රැල්ලේ ගෑවි
ඉමුද සුදු වැලි වෙරළ තීරේ..
කණපිල් වරලේ ගලනා පුසුඹේ
තරු කැට අමුණා හෙමින් සැරේ
නිල්මිණි නයනේ කාන්ති අතරේ
පෙම් හද රන්මිණි මැදුරු දිලේ..
එෂාන් තාරක
from dinamina

0 Comments