මානව ශිෂ්ටාචාරය ආරම්භ වූ දින සිට මේ දක්වා මානව ක්රියාකාරකම් නිසාත් ස්වභාවික ආපදා තත්ත්වයන් නිසාත් එල්ල වූ විවිධ වූ අභියෝගයන්ට අපි මුහුණ දී ඇත්තෙමු. මේ මේ වන විට ඇතිවී ඇති කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ලොව පුරා මිනිසුන්ට තමන්ගේ සුපුරුදු ජීවන රටාව අහිමිව තිබෙනවා, එසේම තවත් බොහෝ පිරිසකට තම ජීවනෝපායන් පවා අහිමිව දැඩි දුෂ්කරතාවයන්ට පත් වී සිටිනවා. සියලු දෙනාම පාහේ සත්වෝද්යානයක සිර වූ සතුන් මෙන් නිවෙස්වලටම කූඩු වී තිබෙනවා. තනි තනි මිනිසුන් වශයෙන් පමණක් නොව සමාජීය වශයෙනුත්, රටක් ලෙසත් මේ තත්ත්වය හමුවේ අප දැඩි පසුබෑමකට ලක්ව සිටිනවා. විද්යාත්මක ඇසකින් බැලූ විට අතීතය පුරාවටම ලෝකයේ ඇති වූ ව්යසනයන්වලට සාර්ථකව මaුහුණ දී තම පැවැත්ම තහවුරු කර ගනු ලැබුයේ වඩාත් ශක්තිවන්ත හෝ බුද්ධිමත් සතුන් නොව වෙනස්වීම්වලට මනා ලෙස අනුගත වූ සත්ත්ව කොට්ඨාසයන් ය. එසේ නම් මේ මොහොතේ අප ඉදිරියේ ඇති සෞඛ්යමය අභියෝගය ජයගැනීමේ ක්රියාවලිය තුළ තරුණ පිරිස ලෙස විශාල වගකීමක් අප වෙත පැවරී තිබෙනවා.
වයිරසයේ වැඩි බලපෑම් වැඩිහිටි සහ කුඩා දරුවනට වන බැවින් සමාජය සමඟ ගැටීමට සිදු වනුයේ ද තරුණ පිරිසටමය. එම නිසා තමන්ගේ මෙන්ම තම සමීපතමයින්ගේත් ආරක්ෂාව පිළිබඳ වගකීම නිතැතින්ම තරුණ ප්රජාව වෙත පැවෙරෙනු ඇත. මුහුදේ යාත්රා කරන රුවල් නැවකට කිසිවිටකත් සුළඟේ දිශාව වෙනස් කිරීමට නොහැකිය. නමුත් රුවල් සුළඟේ දිශාවට අනුව සකස් කරගැනීමෙන් අපට ගමනාන්තය වෙත ළඟාවීමට හැකිවනු ඇත. එසේනම් මේ උද්ගතවී ඇති තත්ත්වය අපට වෙනස් කළ නොහැකි බව අප පසක් කරගත යුතු අතර, විය යුත්තේ නව තත්ත්වයට අනුගත වී වෙනස් විදියට සිතීම තුළින් අපේ සාමූහික අත්යවශ්යතා පූර්ණය කරගැනීමයි.
සංචරණය සීමා කිරීම පිණිස දැනටමත් ක්රියාත්මක වන ආහාර, ඖෂධ වැනි අත්යාවශ්ය ද්රව්ය ඇණවුම් හරහා සැපයීමටත් එහිදී සෞඛ්යය උපදෙස්වලට අනුව කටයුතු කිරීමටත් සමාජය දැනුවත් කළ හැකිය. තවදුරටත් රෙදි පිළි, කාර්යාල සහ නිවෙසට අවශ්ය උපකරණ වැනි භාණ්ඩ මිලදී ගැනීමටත් මාර්ගගත වෙළඳාම ප්රචලිත කිරීම වඩාත් යෝග්ය වනු ඇත. තොරතුරු යුගයක ජීවත් වන අප මෙවන් මොහොතක තාක්ෂණික උපක්රම නිර්මාණශීලීව යොදාගැනීම තුළින් අපට covid අවදානම හැකිතාක් අවම කරගත හැකිවනු ඇති අතර, එහිදී ද තාරුණ්ය හට හිමි වන්නේ විශේෂ ස්ථානයකි. ඉලෙක්ට්රොනික බැංකු සේවා ( e - banking) හරහා බැංකු හා වෙනත් වාණිජ කටයුතු සිදු කිරීම, විද්යුත් තැපැල් ( e - mail) හා වෙනත් සන්නිවේදන මෘදුකාංග (zoom) හරහා පෞද්ගලික හා කාර්යාලීය සන්නිවේදන කටයුතු සිදු කිරීම හරහා රෝග ප්රචාරණයට ඇති පසුබිම ඇහිරෙනවා සේම කාලය, ශ්රමය හා මුදල් ද ඉතිරි වනු ඇත.
මේ තත්ත්වය අද හෙට පහව යනු ඇතැයි අපේක්ෂා කරන්නට හැකියාවක් නොමැති නිසාත් රටක අධ්යාපනය සහ ශිෂ්ය ප්රජාව යනු සැලකිය යුතු සමාජ ස්ථරයක් බැවින් අධ්යාපන කටයුතු වෙනුවෙන් අපට විකල්ප සොයා බැලීම අනිවාර්ය වනවා. එහිදී ද අපට අනෙක් අංශවලදී සිදු කළාක් මෙන්ම තාක්ෂණික පිළිවෙත් වෙත මූලික අවධානය යොමු කිරීම වඩාත් වාසිදායක වනු ඇත.
පාසැල් සහ උපකාරක පංති මාර්ගගතව සිදු කිරීමටත් විශ්වවිද්යාල සහ උසස් අධ්යාපන ආයතනවල අධ්යයන කටයුතු ඉගෙනුම් කළමනාකරණ පද්ධති සහ දුරස්ථ අධ්යාපනය උපයෝගි කරගනිමින් සිදුකිරීමෙන් වඩාත් ඵලදායි ප්රතිපල සපුරා ගැනීමට හැකිවනු ඇත. මෙහිදී සිසුනට ගුරුවරු සහ අනෙකුත් සිසුන් සමඟ ගැටලු විසඳා ගැනීමට සහ අදහස් හුවමාරු කරගැනීමට මාර්ගගත සංවාද කවුළු පිහිටුවා ගැනීමත් වඩාත් ප්රයෝජනවත් වනු ඇත. මෙහිදී දුෂ්කර ප්රදේශවල අන්තර්ජාල නොමැති ගැටලුවලට අදාළ පාසැල් සහ ගුරුවරු වෙනුවෙන් ඍජු මැදිහත්වීම්ක් තුලින් පැවරුම්, ඉගෙනුම් උපකරණ සපයා දීමට කටයුතු කළ යුතුයි.
ඉහත අයුරින් ගැටලුවලට විසඳුම් සෙවීමේදී අප මුහුණපාන මීළඟ ප්රධාන ගැටලුවනම් අපේ මානසික සෞඛ්ය පිරිහී යාමයි. දරු දැරියන් මෙන්ම තරුණ තරුණියන් ද නිවෙස්වලට කොටු වීම හේතුවෙන් ඔවුන් දැඩි මානසික පීඩනයකට නිතැතින් හසු වේ. සංචරණය අවම වීම නිසාත් මිතුරු සහ ආදරවන්තයින් මුණ නොගැසීම,පරණ විනෝදාංශ අහිමි වීම නිසාත් අපි සියලුදෙනා අපේ කායික මානසික හැඟීම් පිටකරගත නොහී දැඩි අපහසුතාවයකට පත් වන්නෙමු. මේ සඳහාත් තරුණ අප වඩාත් නිර්මාණශීලී පිළියම් සෙවීම වැදගත්. අපට අහිමි වූ විනෝදාංශ වෙනුවට වඩාත් ඵලදායි ආදේශක, විනෝදාශ සොයාගැනීමට අපට පුළුවන.
ඒ අතරින් ගෙවතු වගාව හා ගෙවතු අලංකරණය වඩාත් ඵලදායි වනු ඇත. කය වෙහෙසීම තුළින් මනා කායික සෞඛ්යයක් පවත්වා ගැනීමටත් ආර්ථික භෝග වගාව තුළින් අමතර ආදායමක් ගැනීමට හෝ දෛනික ආහාර අවශ්යතා ද එමගින් සපුරා ගැනීමට හැකිවනු ඇත.
තව ද ගෙවතු අලංකරණය තුළින් මානසික තෘප්තිය නිතැතින්ම සැලසෙනු ඇති. මේ අමතර කාලය නව විෂයක් ඉගෙනීමට කුසලතාවයක් වර්ධනය කරගැනීමට වඩාත් උචිතම කාලයක් වනු ඇත. නව භාෂාවක්, නවීන ලෝකයට අවශ්ය දැනුම වර්ධනය කරගැනීමට, අන්තර්ජාලය හරහා පාඨමාලාවක් හැදෑරීම වැනි දෙයකට එම කාලය වැය කළ හැක. තව ද අලුත් පොතක් කියවීම, ගුණාත්මක චිත්රපටයක් නැරඹීම, සංගීතයට සවන් දීම මෙන්ම දරුවන් සමඟ ගෘහස්ථ ක්රීඩාවලට යොමු වීම මඟින් අතිරික්ත කාලය මානසික සුවයක් ලැබෙන පරිදි ගෙවිය හැක. ඒ තුළින් මොළයට මෙන්ම මනසට නව ප්රබෝධයක්, අභිප්රේරණයක් ඇති වනු ඇත. අවශ්ය පුද්ගලයින් හට අන්තර්ජාලය හරහා මානසික උපදේශන සේවා සැපයීම තුළින් ඔවුන්ගේ මානසික සෞඛ්යය රැකගැනීමට සහය විය හැක.
ඉතින් තත්ත්වය කොතෙක් නරක් වුව ද අපට පරාජය විය නොහැක. අතහැර දැමිය නොහැක. Covid සතුරා පැරදවීමට නම් අප නිරන්තර සැලකිල්ලෙන් සහ අවධානයෙන් සිටිය යුත්තා සේම තනි තනි වශයෙනුත් සාමූහික වශයෙනුත් අප අපේ වගකීම් හඳුනාගත යුතු වෙනවා. ඇයි මම විතරක්, වෙන කවුරුත් නැතිද? දැන්ම කරන්න ඕන ද ?මේක මෙලෙසම කරන්න ඕනද යැයි නොසිතා නෑ . කවුරු නැතත් මම හරි කරන්න ඕන, දැන් නැත්නම් කොයි වෙලේ කරන්න ද? කළ යුතු දේ එලෙසින්ම කිරීමට අධිෂ්ඨාන කරගත යුතුය. මන්ද අපේ කුඩා සිතිවිල්ලක් විශාල වෙනසක් කරනු ඇත. ඒ නිසාවෙන් වඩා සුබවාදී ආකල්පයෙන් යුතුව යහපත් හෙට දවසක් වෙනුවෙන් වගකීම් සහගතව කටයුතු කිරීම තාරුණ්යයේ අනිවාර්යය වගකීමයි.
තිලංක ධර්මෝදන
from dinamina

0 Comments