Ticker

6/recent/ticker-posts

Header Ads Widget

යාපනේ මරාගන්නා අවා-ධනුරොක් කල්ලි!

පෙනුමෙන් වෛද්‍යවරයකු ගමන් ගන්නා මෝටර් රථයක් බව ඒත්තු ගන්වන ස්ටිකරයක් අලවන ලද රථයකි. එයට ඉදිරියෙන් වේගයෙන් පදවාගෙන යන යතුරුපැදියකි. අධික වේගයෙන් යතුරුපැදියට ඉස්සර කළ මෝටර් රථය මග හරස් කරමින් නතර කෙරිණි. යතුරුපැදිය පදවා ගිය තරුණයාට යන්නට තවත් මගක් නොවීය. එසැණින් මෝටර් රථයෙන් බිමට බැසගත් ගැටවරයන් තිදෙනෙක් යතුරුපැදිකරුට ඉවක් බවක් නොමැතිව පහර දුන්හ. පොලු මුගුරු අතර තියුණු ආයුධ කිහිපයකුත් ඔවුන් අත තිබෙනු දකින්නට ලැබිණි.

යතුරුපැදිකරුවකු පසුපස හඹා ආ පිරිසක් විසින් එසේ එම තැනැත්තාට පහර දී කපා කොටා දමා පලාගොස් තිබුණේ පසුගිය 26 වැනිදාය. ඒ යාපනය ඔරලෝසු කණුව පාරේ පෙරුමාල් කෝවිල ඉදිරිපිටදීය. මෙසේ පහරකෑමෙන් බරපතළ තුවාල ලබා ඇදවැටුණේ යාපනයේ ක්‍රියාත්මක ධනූරොක් කල්ලියේ නායකයා බව කියන ධනූ නැමැත්තාය.

සිදුවීමත් සමඟ පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එම ස්ථානයට පැමිණ විමර්ශන අරඹා තිබිණි. එහිදී අනාවරණය කරගෙන තිබුණේ මෝටර් රථය මගින් යතුරුපැදියේ ගිය ධනූරොක් නැමැත්තා හප්පා බිම පෙරළීමෙන් අනතුරුව කඩුවලින් කපා දමා ඇති බවකි.

ධනූ නැමැති ධනූරොක් කල්ලිය ප්‍රමුඛ කල්ලි ගණනාවක් යාපනය ආශ්‍රිතව ක්‍රියාත්මක වේ. කොළඹ හා දකුණ පාතාලයන් මෙන්ම මොවුහු යාපනය ප්‍රදේශයේ සංවිධානාත්මක අපරාධ කල්ලි ලෙස කටයුතු කරති. යාපනය, මානිප්පායි, කෝපායි, චුන්නාකම් යන පොලිස් බලප්‍රදේශ ආශ්‍රිතව පහරදීම, කොල්ලකෑම, කප්පම් ගැනීම ඇතුළු ප්‍රචණ්ඩ ක්‍රියාවල නිරත මොවුන් ඇතුළත් ප්‍රධාන පෙළේ කල්ලි ගණනාවකි. ආවා කල්ලිය, අජිත් කල්ලිය සහ වික්ටර් කල්ලිය මේ අතර සිටිති. යාපනය නගරයේ ප්‍රචණ්ඩ ක්‍රියා වර්ධනය කරමින් ගොඩනැගුණු මෙකී කල්ලි ප්‍රදේශයේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් බවද කියැවේ. එබැවින් ඊට එරෙහිව වහාම නිසි ක්‍රියාමාර්ග ගන්නැයි උතුරු පළාත් ආණ්ඩුකාරවරිය වන පී.එස්.එම්. චාර්ල්ස් මහත්මිය විසින් ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතාගෙන් ලිපියක් මගින් ඉල්ලා ඇතැයි ද සඳහන්ය.

වසර කිහිපයක් තිස්සේ යාපනය ආශ්‍රිතව ක්‍රියාත්මක වන අපරාධ කල්ලි පිළිබඳ වරින්වර වාර්තා විය. එසේ අසන්නට ලැබුණු සහ ප්‍රථමයෙන් ක්‍රියාත්මක වූ කල්ලිය ආවා ග_ප් නම් විය. එම කල්ලියේ සාමාජිකයකුව සිටි ධනූ නැමැත්තා විරසක වී ආවා කල්ලියෙන් වෙන්වී ධනූරොක් කල්ලිය බිහිකරගෙන ඇතැයි ආරක්ෂ අංශ පවසයි. යාපනය කොකුවිල් පොලීසිය වරෙක ධනූරොක් කල්ලියේ සාමාජිකයන් තිදෙනකු අත්අඩංගුවට ගැනීමෙන් පසුව සිදුකළ ප්‍රශ්න කිරීමේදී මෙම කරුණු අනාවරණය විය. මේ අතර ධනූරොක් කල්ලිය ආවා කල්ලිය අභිබවා නැගීසිටීමේ අරමුණෙන් ක්‍රියාත්මක වෙමින් පැවැති බව යාපනය බුද්ධි අංශ නිලධාරීහු කියති.

මෙම කල්ලි විසින් බොහෝවිට විරුද්ධවාදීන්ට පහර දෙන්නේ තියුණු ආයුධ භාවිතය සමඟ පොලු මුගුරු භාවිත කරමිනි. ඒ හැර ගිනිඅවි හෝ පුපුරණ ද්‍රව්‍ය භාවිත කළ බවට විශේෂ සඳහනක් නැත. 2018 වසරේ ජූලි 3 වැනිදා රාත්‍රියේ ආවා කල්ලිය එල්ල කළ ප්‍රහාරයකින් ප්‍රදේශයේ පාසල් සිසුන් දෙදෙනෙක් තුවාල ලැබූහ. එම සිදුවීමත් ආවා කල්ලිය දෙකඩ වීමත් සමඟ එතෙක් පැවති ප්‍රචණ්ඩ ක්‍රියාවල වර්ධනයක් ඇතිව තිබේ. මේ නිසා එවකට යාපනය සියලුම පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කොට විශේෂ මෙහෙයුමක් සිදුකිරීමට පොලීසිය ක්‍රියා කළේය.

ධනූරොක් කල්ලියේ නායකයා බව කියන ධනූ නැමැත්තාට පහරදීමෙන් පසුව ඔහු  රෝහල්ගත කර තිබුණේ පසුගිය 26 වැනිදාය. ඔහු රෝහලේ සිටියදී ධනූරොක් කල්ලි නායකයාගේ සමීපතමයකු මිත්‍රයා බැලීමට රෝහලට ගොස් තිබේ. නැවත නිවෙසට පැමිණ ටික වේලාවකට පසුව නාඳුනන පිරිසක් පැමිණ අදාළ නිවෙසට පහර දී තිබිණි. තියුණු ආයුධ රැගත් පිරිසක් එක්වරම නිවෙසට ඇතුළු වී එම නිවෙසේ රැඳී සිටි මවටත් පුත්‍රයාටත් පහර දී තිබේ. පහරකෑමෙන් තුවාල ලැබූ 50 හැවිරිදි මව සහ 30 හැවිරිදි පුත්‍රයා රෝහල්ගත කරනු ලැබූහ. යතුරුපැදි තුනකින් පුද්ගලයන් හය දෙනකු පැමිණ පහරදීමට මත්තෙන් පෙට්‍රල් බෝම්බයක් නිවෙසට දමා ඇතැයි ද කෝපායි පොලීසිය වාර්තා කළේය.

පැමිණි පිරිස පුත්‍රයාට පහරදෙන විට ඔහු බේරීමට පැමිණි මවට පහර දී ඇතැයි ද එම පිරිස නිවෙසේ භාණ්ඩවලට පහර දී ඇතැයි ද පොලීසිය වාර්තා කළේය. ඉකුත් 30 වැනිදා මෙම පහරදීම කෝපායි නිර්වේලි මංසන්ධියේදී සිදුව තිබේ.

යාපනයේ ක්‍රියාත්මක මෙකී කල්ලි කණ්ඩායම් කප්පම් ගැනීම, පැහැරගෙන යාම, පහරදීම, තියුණු ආයුධවලින් තුවාල කිරීම, බියවැද්දීම සහ වැලි හා දැව ජාවාරම් වැනි ක්‍රියාවල නිරතව සිටිති. මෙසේ නීතිවිරෝධී ක්‍රියාවල නියුතු පිරිසේ හැසිරීම ජනතාවට මරණබිය ඇතිකර තිබේ. ආවා කල්ලියේ නායක විනෝදන් සහ ධනූරොක් කල්ලියේ නායක ධනූ එකම කල්ලියක් නියෝජනය කරමින් සිට දෙකඩවීම හරහා උග්‍ර වී ඇති ගැටුම් යාපනය ප්‍රදේශයේ ජනතාවට හිසරදයක්ව පවතී.

 සමන්ත විල්තෙර



from රට තොට – Colombo Tribune https://ift.tt/341tZ2F
tribune

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();