බොරළුගොඩ සිංහයා කියන නම ඇහෙන කොට ඔබට මොනවද හිතෙන්නෙ?
බොරළුගොඩ සිංහයා කිව්වම මට මගේ පියතුමාව හා ඔහුගේ එඩිතර දේශපාලන ක්‍රියා කාරකම් සිහියට නැගෙනවා. මට විතරක් නොවෙයි මම විශ්වාස කරනවා මේ රටේ වැඩිහිටි ජනතාවට බොරළුගොඩ සිංහයා කිව්වම පිලිප් ගුණවර්ධන මැතිතුමා ගේ ප්‍රතිරූපය මැවිල පේනවා කියලා. මොකද එදා මගේ පියතුමා ඇතුළු එවකට සිටි බොහෝ දේශපාලනඥයන් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් වෙනුවෙන් නිර්භයව අරගල කළා. අපි අද බුක්ති විඳින ඇතැම් ප්‍රජාතන්ත්‍රවාදී ජනතා අයිතීන් ඒ අරගලවල ප්‍රතිඵල කියල බොහෝ අය දන්නවා.
පිලිප් ගුණවර්ධනයන් ගේ සිට මේ යුගයේ දිනේෂ් ගුණවර්ධන දක්වාම රාජපක්ෂවරු සමඟ ඉතා කිට්ටු සබඳතාවක් පවතිනවා නේද? මොකක්ද මේ දිගු සබඳතාවට හේතුව?
එකල රුහුණේ සිංහයා ලෙස හැඳින්වුණේ රාජ්‍ය මන්ත්‍රණ සභාව නියෝජනය කළ ඩී.එම්. රාජපක්ෂයන්ටයි. එතුමා එදා අතුරු මැතිවරණයේදී රාජ්‍ය මන්ත්‍රණ සභාවට පත් වුවත් අඩු වයසින් එතුමාව මිය ගියා.
මිය යන්නට පෙර එතුමත් එතුමගෙන් පසුව ඩී.ඒ.රාජපක්ෂයනුත් ප්‍රගතිශීලි කඳවුරේ දේශපාලන ව්‍යාපාරයට විශාල ශක්තියක් වුණා. ඒ දේශපාලන පසුබිම තුළ තමයි අපි දෙගොල්ල අතරේ සබඳතා තහවුරු වුණේ. අදත් අපි දෙපාර්ශ්වය ජනතා අවශ්‍යතාව වෙනුවෙන් එකට එක්ව අරගල කරනවා. මේ සබඳතාව දේශපාලනය හේතුවෙන් ගොඩනැගුණු නිසා ශක්තිමත් වු යුග යුග සබඳතාවක් කියලයි මම හතන්නෙ.
රාජපක්ෂවරුන් ගේ දේශපාලනය හා ඔබේ වමේ දේශපාලනය අතර තිබන ප්‍රතිපත්ති සාමානතා මොනවද?
එජාප විරෝධි ආණ්ඩුවක් පළමු වරට ගොඩනඟන්න එදා මහජන එකසත් පෙරමුණ ඇතුළුව දැවැන්ත පෙරමුණ ගොඩ නඟන්න ශ්‍රීලනිපය නියෝජනය කරමින් රාජපක්ෂවරු ඇතුළු වමේ සියලු බලවේග ඒකරාශි වුණා. ඊට නායකත්වය දුන්නේ එස්. ඩබිලිව්.ආර්. ඩී. බණ්ඩාරනායක මැතිතුමයි. එදා ඒ අරගලයේදි මහජන එකසත් පෙරමුණ හා ශ්‍රීලනිපය ඇතුළු අනෙකුත් වමේ පක්ෂ අතර යම් බැඳීම් ඇති වුණා. බොහෝ ජන අරගලවලදි අපේ දෙපාර්ශ්වය කටයුතු කර තිබෙන්නේ එක්තරා සමානාත්මතාවයකිනුයි. පසුකාලීනව යම්යම් මතවාද තිබුණත් පොදු අරගලයේදි අපි අදටත් එකටයි කටයුතු කරන්නෙ.
මීට පස්වසරකට පෙර එනම් 2015 ඇති වු දේශපාලන වෙනස්කම් හේතුවෙන් ඔබ ඒකාබද්ධ විපක්ෂයේ නායකයා ලෙසත් කටයුතු කළා. ඒ අභියෝගාත්මක කාල පරිඡේදය පිළිබඳව අද මොනවද හිතෙන්නෙ.?
ඇත්තටම ඒ කාලය දෙස ආපසු හැරී බලන කොට අපිට එක්තරා විදියකට ආඩම්බරයක් හා සතුටක් ඇති වෙනවා. මොකද 2015 පැවැති ජනාධිපතිවරණයත් අපිට කවදාකවත් අමතක කරන්න බෑ.
ඊට පසුව දින සීයේ ආණ්ඩුවත් දේශපාලනයේ ලොකු පාඩම් අපිට කියා දී තිබෙනවා. එදා මහින්ද රාජපක්ෂ මහතා අතහැර ඇතැමුන් අවස්ථාවාදි දේශපාලනයේ ගොදුරු බවට පත් වෙද්දී අපි නුගේගෙඩදී දැවැන්ත රැලියක් පවත්වන්න සමත් වුණා. විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර වැනි වමේ දේශපාලන නායකයන් සමඟ මටත් මෙම රැලියට නායකත්වය දෙන්න පුළුවන් වුණා. එදා ඒ රැලිය නම් කෙරුණේ මහින්ද සුළඟ කියලයි. මේ හරහා ඇති වු නව දේශපාලන ගැම්ම නිසා 2015 අගෝස්තු පැවැති මහ මැතිවරණයෙන් ප්‍රබල පාර්ලිමේන්තු විපක්ෂයක් ගොඩ නඟන්න පුළුවන් වුණා. එසේ වුවද අපිට පාර්ලිමේන්තුවේ නිල විපක්ෂයේ කාර්යභාරය කරන්නට කතානායකවරයා ඉඩ නොදුන්නත් අපේ පාර්ලිමේන්තු කණ්ඩායම මගේ නායකත්වයෙන්, ජනතාව වෙනුවෙන්, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පාර්ලිමේන්තුව තුළදීත් ඉන් පිටතදීත් විශාල ලෙස අරගල කළා. මේ හැම දේකටම පසුබිමේ ඉදන් විශාල ශක්තියක් වුණේ මහින්ද රාජපක්ෂ මහතායි.
ඔබ ඇතුළු වමේ දේශපාලන නායකයන්ට ජනතාව සලකන්නෙ වමේ දේශපාලනය සජිවිකරණය සඳහා වුණත්; ඔබලා බලය සඳහා වමේ දේශපාලනය පාවා දී තිබෙන බවටත් චෝදනා එල්ල වෙනවා නේද?
අපේ රටේ හැම දේකටම විවිධ මත විරෝධතා විවේචන තිබෙනවා. ඒ සඳහා රටේ නිදහසක් තිබෙනවා. මේ වෙන කොට ලෝකයේම වමේ දේශපාලනය තුළ යම් පසු ගාමිත්වයක් තිබෙනවා. ඒ නිසා තමයි අපි වමට වැඩි නැඹුරුවක් ඇති දේශපාලන පක්ෂ සමඟ එක්ව ඒකාබද්ධ මෙහෙයුම් දියත් කරන්නෙ. දැන් අපි දක්ෂිණාංශික දේශපාලනය ක්‍රියාත්මක කරන වැඩ සටහන් වලින් බැහැරව ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරකම් අනුගමනය කරමින් ජනතාව ගේ අපේක්ෂා ඉටු කරන්න කටයුතු කරනවා. ජනතාව දන්නවා 1956 දි ජනතාවගේ කතිර බලයෙන් පලමු වතාවට ලංකාවෙ ආණ්ඩුවක් පිහිටුවන්න හැකියාව ලැබුණෙ වමේ දේශපාලන ක්‍රියාකාරිත්වය නිසා කියල. ජනතාව දිනා ගත් ඒ අයිතිය සමඟ අදටත් ඔවුන් අපි සමඟ ඉන්නවා. දාර්ශනික මතවාද ඉදිරිපත් කරමින් යමකුට අපිට චෝදනා කරන්න හෝ අපිව විවෙිචනය කරන්න පුළුවන්. එහෙම වුණත් අපිට කටයුතු කරන්න සිදුව තිබෙන්නෙ මේ මහ පොළොවේ යථාර්තයත් සමඟයි.
ඔබලා සමඟ එදා සිට මේ දක්වා කටයුතු කරන ඡන්දදායකයන්ට ඔබලාගෙන් සාධාරණයක් ඉටු වුණා කියල ඔබ විශ්වාස කරනවාද?
ඇත්තටම ඔව්. වමේ ජනතාවට පෞද්ගලික අපේක්ෂාවන්ට වඩා තිබෙන්නෙ පොදු අවශ්‍යතා. ගේ දොර ඉඩකඩම් යාන වාහන රැකි රක්ෂා වලට වඩා ඔවුන් අපේක්ෂා කරන්නෙ ප්‍රජාතන්ත්‍රවාදය රටේ ස්වාධීනත්වය, ඒකියභාවය, හා සමානාත්මතාව වැනි කරුණුයි. එදා යහපාලනය ජීනීවා ගිහිල්ල ජාත්‍යන්තර විලංගු දාල අපේ නිදහස අහිමි කරපු වෙලාවෙදි අපි සටන් කළේ රටේත්, ජනතාවගෙත්, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය වෙනුවෙනුයි. අපේ මේ සටන් වලදි පෙරමුණ ගත්තෙ අපි සමඟ ඉන්න ජනතාවයි. ඒ නිසාම ඔවුන් දන්නවා ඔවුන් අතරමං කරල අපි පෞද්ගලික අරමුණු වෙනුවෙන් කටයුතු නොකරන බව. මේ කාලවකවානුවේදිත් අපිට රටත් ජනතාවත් වෙනුවෙන් කරන්න බොහෝ දේවල් තියෙනවා. නමුත් දැන් තියෙන බාරකාර ආණ්ඩුව තුළ ඒවා කරන්න බෑ. මහ මැතිවරණය අපි නියත වශයෙන්ම ජයග්‍රහණය කරල අපි අපේ යුතුකම් ජනතාව වෙනුවෙන් ඉටු කරන්න සුදානමින් ඉන්නෙ. ජනතාව ගේ පෞද්ගලික අවශ්‍යතාවන් මෙන්ම ඔවුන් අපේක්ෂා කරන නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය, භෞමික අඛණ්ඩතාව රැක ගෙන සියලු ශ්‍රී ලාංකිකයින්ට බියෙන් සැකෙන් තොරව නිදහසේ කටයුතු කරන්න පුළුවන් දියුණු රටක් හදන එක තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ගේ අපේක්ෂාව වී තිබෙන්නෙ.
ඔබ වමේ දේශපාලනය කරන නායකයෙක්. දේශපාලන පළපුරුද්දක් නැති ගෝඨාභය රාජපක්ෂ මෙරටේ ජනපති ධුරයට පත්වීම ගැන ඔබ මොනවද හිතන්නෙ?
ක්‍රියාකාරි දේශපාලනයේ නොසිටියත් ගෝඨාභය රාජපක්ෂ කියන්නෙ ක්‍රියාකාරි සමාජවාදි දේශපාලන පවුලක සාමාජිකයෙක්. ඒ නිසා ඔහුට විශාල දේශපාලන අත්දැකීම් සමුදායක් තියෙනවා. අත්දැකීම් කියන්නෙ බුද්ධිමත් කියන එකයි. බුද්ධිමතා නිතරම ප්‍රායෝගිකයි. ඒ බව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ගේ රාජ්‍ය පාලනයෙන් තහවුරු වෙනවා.කොරෝනා වසංගතය පාලනය කරන්න ඔහුගේ නායකත්වයෙන් කටයුතු කිරිම නිසා ලෝකයේ බලවත් ධනවත් රටවලට වඩා අපේ රට හුඟක් ඉදිරියෙන් ඉන්නෙ. ඔහු හැම දෙයක්ම කරන්නෙ අත්දැකීම් පාදක කර ගෙනයි. හමුදා නිලධාරියෙක් විදියට ලැබු අභාසය පදනම් කර ගෙන යුද්ධය ජය ගන්න කටයුතු කළා. පවුලේ දේශපාලන අත්දැකීම් පාදක කරගෙන රාජ්‍ය සේවයත්, රාජ්‍ය පාලනයත් ඉතාම මැනවින් කරන්න ඔහු හපනෙක් වි සිටිනවා. ඔහුව ජනාධිපතිවරයා ලෙස පත් කරන්නට පැවැති සටනේ සුවිසාල කාර්යභාරයක් කරන්න අපිටත් අවස්ථාව ලැබීම ගැන අපිට විශාල ආඩම්බරයක් තිබෙනවා.
මහජන එක්සත් පෙරමුණේ කටයුතුවලදී මෙරටේ මහ සංඝරත්නය සුවිසාල කාර්යභාරයක් ඉටු කර තිබෙනවා. පසුගිය කාල පරිඡේදයේ භික්ෂුන් වහන්සේලා ඇතැම් දේශපාලනඥයින් ගේ අවලාද වලට ගොදුරු වෙද්දි ඊට එරෙහිව ඔබේ පක්ෂයෙන් ඉටු වු කාර්ය ගැන සෑහිමකට පත් වෙන්න පුළුවන් ද?
අපේ පක්ෂ ප්‍රතිපත්තියෙන්ම අපි මහ සඟරුවන සමඟ විශාල බැඳියාවක් තියෙනවා. ඇත්තටම යහපාලන රජය සමයේ ඒ ආණ්ඩුවෙම ප්‍රබලයන් විසින් හිතාමතාම මහ සංඝරත්නයට නොයෙක් දේ කියමින් අපහාස කළා විතරක් නොවෙයි; වෙන කොයි කාලේටත් වඩා උන්වහන්සේලාට හිරබත් කන්නත් සැලැස්සුවා. ඒ සෑම අවස්ථවකදීම අපි පාර්ලිමේන්තුවේදීත් ඉන් පිටතදීත් ඊට එරෙහිව හඬනඟල අවශ්‍ය පරිදි කටයුතු කරල තියෙනවා. සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාව හා මහ සඟරුවනේ ගෞරවය වෙනුවෙන් මහජන එක්සත් පෙරමුණ හැම විටම ඕනෑම ක්‍රියාමාර්ගයක් සඳහා අදත් සූදානමින් ඉන්නවා.එදා මහ සඟරුවනට අපහාස කල අය අද අලුත් දේශපාලන බලවේගයකින් ජනතාව අතරට පැමිණ සිටිනවා. ඒවැනි අය සමඟ දේශපාලනය කරන සියලු දෙනාටම ජනතාව මෙවර මහ මැතිවරණයේදී නියම තීන්දුවක් ලබා දේවි කියලයි මම හිතන්නෙ.
ඔබ දිර්ඝකාලීනව දේශපාලනය හරහා සිදු කර තිබෙනවා යැයි කියන මෙහෙවර මෙවර මහ මැතිවරණයේදී ජනතා ඇගයීමට ලක් වෙයි කියලද කියන්නෙ?
ඇත්තවශයෙන්ම අපි මහජන එක්සත් පෙරමුණ විදියට තනිවමත්, ප්‍රගතිශීලි සෙසු දේශපාලන කණ්ඩායම් සමඟත් එකතුව මෙරටේ ජනතාව වෙනුවෙන් සිදු කර ඇති මෙහෙය මේ දක්වාම ජනතා ඇගැයීමට ලක්ව තිබෙනවා. එදා ඒකීය රජ්‍යයක් වෙනුවෙන් මහ සඟරුවනේ ආශිර්වාදය ඇතිව අරගල කරද්දී නාරාහේන්පිට අභයාරාමයේදී පොලිසිය කළ වෙඩි තැබීමට අපි නිර්භයව මුහුණ දුන්නා. මෙරටේ ස්වෛරීභාවයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව ඇතැම් දේශපාලන පක්ෂ කටයුතු කරද්දී ඒ හැම බලවේගයක්ම අඩපණ කරන්න අපිට පුළුවන්කම ලැබී තිබෙන්නේ ජනතාව අප සමඟ හැමදාම ඉන්න නිසයි. ජනතාවට 1956න් පස්සේ මෙරටේ තනි ආණ්ඩු හදන්න අවස්ථාව ලැබිල නෑ. එදා මෙදා බිහිව ඇති අපේ පාර්ශ්වයේ පෙරමුණු ආණ්ඩුවලට සම්බන්ධවීමට ජනතාව අපිටත් අවස්ථාව ලබා දී තිබෙනවා. මෙවරත් ඔවුන් ඒ කෘතවේදී ගුණයෙන් යුතුව කටයුතු කරන බව මට නම් විශ්වාසයි.
ඔබට පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ ක්‍රියා කාරකම් පිළිබඳව පුළුල් අවබෝධයක් තිබෙනවා. ඒ අනුව වර්තමාන විපක්ෂයේ වගකීම ගැන ඔබ මොනවද කියන්නෙ?
කණගාටුදායකයි. අද ආණ්ඩුවට වඩා විපක්ෂයට බහුතරය තියෙනවා. දැන් මේ අය පාර්ලිමේන්තුවෙන් පිටත ක්‍රියා කරන ආකාරය අනුව පාර්ලිමේන්තුව තුළ කටයුතු කරන ආකාරය හිතා ගන්න පුළුවන්. මේ නිසා තමයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එතුමාට පැවරී ඇති බලතල අනුව ආණ්ඩුව විසුරුවා මැතිවරණය ප්‍රකාශයට පත් කෙළේ. අවාසනාවකට නියමිත පරිදි මැතිවරණය පවත්වන්න නොහැකි වුණත් අපේ රටේ ප්‍රබල දේශපාලන පක්ෂයක් වන එජාපයත්, ප්‍රජාතන්ත්‍රවාදී යැයි කියා ගන්නා සජිත් ප්‍රේමදාස හිටපු විපක්ෂ නායකයා ගේ බලවේගයත්, ජවිපෙත් රටේ ව්‍යසනයකදී කටයුතු කළ ආකාරය ගැන හොඳ අවබෝධයක් ලබා ගත්තා. මේ නිසා තමයි ජනතාව කියන්නෙ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වුවාට පසුව කොරෝනා වසංගතය ආවෙ රටේ වාසනාවට කියල. වසංගතයක් වාසනාවක් නොවුණත් අසාර්ථක පාලකයින් නිසා එමඟින් ඇති වන දැඩි පීඩාව ගැන ජනතාව දැන ගෙනයි එහෙම කියන්නෙ. මෙයින් තේරුම් ගන්න පුළුවන් ඉදිරි මැතිවරණයේදී ජනතාව ගන්නා තීන්දුව කුමක්ද කියල.
අපේ රටට අවලාද කරමින් අපහාස කරමින් රටින් පිටව ගිය සමහර අය දැන් නැවත මෙරටට ගෙන්වා ගන්නැයි ආයාචනා කරනවා. විදේශ කටයුතු බාර අමාත්‍යවරයා විදියට මේ තත්ත්වය දකින්නෙ කොහොමද?
ලෝකයේ සෑම රටක්ම කොරෝනා වසංගතයෙන් පීඩාවට පත්ව සිටියදි අපේ රටට ඉන් ගැලවීමට හැකි වුණේ නෑ. නමුත් ජනාධිපති අගමැති හා අපේ කැබිනටි මණ්ඩලය මේ වසංගත තත්ත්වය පාලනය කරන්න ගත්තා වූ ක්‍රියාමාර්ග ඉතා සාර්ථකව ලෝකයේම අවධානයට යොමුව තිබෙනවා. ඒ නිසයි රටින් ගිය පුරවැසියන් නැවත මෙරටට එන්න උත්සාහ කරන්නෙ. ඔබ කිව්ව ගණයට අයත් වෙන්නෙ ඉතාම සුළු පිරිසක්. අනෙක් හැම දෙනාම මෙරටට විදේශ විනිමය උපයා දෙන රට විරුවන්.
කොහොමත් කුමන මතවාද තිබුණත් අපේ රටේ පුරවැසියන් කියනවා නම් ඔවුන්ට අපේ රටට එන්න ඕන කියල ඒ සදහා පහසුකම් සලසා දීම රජයේ වගකීමක්. අපේ ආණ්ඩුව ඒ වගකීම ඉටු කරමින් ඉන්නෙ. ලෝකයේ බොහෝ ගුවන් තොටුපලවල් වහලා.
ඒ නිසා විදේශවල සිටින අපේ ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීමේ යම් ප්‍රමාදයක් තිබුණත් ඉල්ලීම් අනුව ඔවුන් සියලු දෙනාම මෙරටට ගෙන්වා ගන්න අපි කටයුතු කර ගෙන යනවා.
කොරෝනා වසංගතයෙන් කඩා වැටුණු රටේ පෞද්ගලික අංශයේ නිෂ්පාදන හා සේවා අංශවල රැකියා සුරක්ෂිත කරමින් එම ආයතන නැවත ක්‍රියාත්මක කරන්න අවශ්‍ය පසුබිම සකස් කර දීමත් ඔබට පැවැරි ඇති වගකීමක්. දැන් එහි ප්‍රගතිය කොහොමද?
ඇත්තටම අපි සතුටු වෙන්න ඕන අපේ පෞද්ගලික අංශයේ බොහෝ හාම්පුතුන් රටේ උද්ගත වු තත්ත්වය මැනවින් අවබෝධ කර ගෙන ඒ ආයතනවල සේවක සේවිකාවන් ගේ රැකියා සුරක්ෂිත කර ඔවුන්ව රැකබලා ගන්න කටයුතු කර තිබෙන ආකාරය ගැන.
මම කම්කරු සබඳතා අමාත්‍යවරයා විදියට අපේ නිලධාරීන්, හාම්පුතුන්ගෙ සංගමය වගේම සේවක වෘත්තීය සමිති යන මේ ත්‍රෛපාක්ෂික කණ්ඩායම් සමඟ සාකච්ඡා කරල ඒ ඒ අංශවලට අසාධාරණයක් නොවන ආකාරයට කටයුතු කර ගෙන යන්න රජයෙන් පහසුකම් ලබා දී තිබෙනවා. සමහර ආයතන එකවරම පෙර පැවැති තත්ත්වයට පත් කරන්න බැරි වෙයි. නමුත් ක්‍රමක්‍රමයෙන් ඒ කටයුතු දැන් පටන් ගෙන තිබෙනවා. විශේෂයෙන් කර්මාන්ත ශාලා වසාදමා තිබියදීත් ඒවායේ සේවකයින්ට වැටුප් ගෙවන්නත් ඒ ආයතන කටයුතු කිරිම ගැන රජය විදියට අපේ කෘතඥතාව ඒ හාම්පුතුන්ට පිරිනමන්න ඕන.
කෙසේ නමුත් කිසිවෙකුගේ රැකියා අහිමි නොකර කර්මාන්ත ශාලා කඩා වැටෙන්න ඉඩ නොදී සියල්ල රැක ගන්න අපි කැපවීමෙන් මහන්සියෙන් වැඩ කරනවා.
රටෙි සමස්ත ආර්ථිකයම කොරෝනා වසංගතයෙන් කඩා වැටුණා. එය නැවත නඟා සිටුවන්න රජය අනුගමනය කරන වැඩපිළිවෙල සම්බන්ධයෙන් ඔබ මොනවද කියන්නෙ?
ඇත්තටම රට බරපතළ ආර්ථික අමාරුකම් වලට ගොදුරු වුණේ කොරෝනා වසංගතය නිසයි. අනෙක ඉකුත් රජයේ වැරදි ආර්ථික ප්‍රතිපත්ති නිසා රටේ ජනතාව පීඩාවට පත් කර තිබෙනවා. මේ සියලු තත්ත්වයන් නිවරදි කරන්න අපේ ආණ්ඩුව කෙටි කාලින හා දිගු කාලීන වශයෙන් ක්‍රියාමාර්ග අනුගමනය කරනවා. ජනාධිපති අගමැති ඇතුළු අපේ කැබිනට් මණ්ඩලය සාකච්ඡා කරල මෙරට ජනතාවට අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය සීමා කරල තියෙනවා. සමහර භාණ්ඩ ආනයනය සම්පූර්ණයෙන්ම නවතා දමා තිබෙනවා. ඒ වාගේම අපේ රටේ නිපදවිය හැකි අහාර දව්‍ය හා අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ නිෂ්පාදනය සදහා රජයෙන් සහන ලබා දිමට පියවර ගෙන තිබෙනවා. මේ අතරේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව රටේ ආර්ථික සංවර්ධන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න අවශ්‍ය පසුබිම දැන් සකස් කරමින් යනවා. මේ හැම දෙයක්ම කරන්න ශක්තිමත් පාර්ලිමේන්තුවක් ඕන. මහ මැතිවරණයෙන් පසුව මේ සැලසුම් ගත වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමෙන් අපේ රට ඉතා කෙටි කාලයකදි යථා තත්ත්වයට පත් කර ගන්න පුළුවන් කියලයි මම හිතන්නෙ.
මහ බැංකුවේ මහ මුදල් කොල්ලය ගැන මේ ආණ්ඩුව නිහඬද?
වැරදිකරුවන්ට දඬුවම් දීම හෝ ඒවා පිළිබඳ පරික්ෂණ කීරිම හෝ විශාල ප්‍රසිද්ධයක් දීල කරන්න ඕන කියල මම හිතන්නෙ නෑ. යහපාලන ආණ්ඩුව බලයට ආව ගමන් රාජපක්ෂ හොරු කියල මහ ආන්දෝලනයක් රටතුළ ඇති කරල ජනතාව ඒ දෙස බලා සිටියදී මහ බැංකුව කොල්ල කෑවා. අපේ වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වරදට දඬුවම් දීම හා වැරදිකරුවන් පිළබඳ පරික්ෂණ කිරීම අදාළ අංශවලට බාර දීල එතුමා රජයට පැවැරි ඇති වගකීම නිවැරදිව ඉටු කරන්න කැපව සිටිනවා. අනෙක අපි මේ කටයුතු කරමින් ඉන්නෙ බාරකාර ආණ්ඩුවකයි. ඒ නිසා සමහර අණපනත් සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්න බෑ. මහ මැතිවරණයෙන් පසුව අපි අලුත් ආණ්ඩුවක් පත් කර ගත්තාම සියල්ල කඩිනම්ව නිසි පරිදි ක්‍රියාත්මක වෙිවි.
රනිල් හා රාජපක්ෂවරු අතර තිබෙන රහස් සබඳතා නිසා එකිනෙකා ගෙ වැරදි ඔහුනොවුන් යටපත් කරනවා කියන චෝදනාව ඔබ පිළි ගන්නවාද?
නෑ, ඒක පිළිගන්න බෑ. මොකද එවක යහපාලන රජය බොරු චෝදනා ගොතල රාජපක්ෂවරු හිරේට දැම්මා. ඔවුන් එදා ඉදිරිපත් කළ චෝදනා ඔවුන්ට ඔප්පු කර ගන්න පුළුවන් වුනා නම් අද වෙන කොටත් රාජපක්ෂවරු ඉන්නෙ හිරේ. අපේ ආණ්ඩුව ඒ විදියට බොරුවට චෝදනා ගොතල මාධ්‍ය ඉදිරියේ අපි හොරු අල්ලනවා කියන්න ඕන කමක් නෑ. එදා අපි විපක්ෂයේ සිටියදීත් යහපාලනයේ දූෂණ වංචා ගැන හෙළිදරව් කළා. නමුත් ඒ ගැන පරික්ෂණ කෙරුණෙ නෑ. එහෙම කියල අපි ඒවා යට කරල වහල දාල නෑ. මේ කොරෝනා වසංගතය පාලනය කරලා පොලිසිය හා ඊට සම්බන්ධ ආයතන රටට වින කරපු රටේ සම්පත් කොල්ල කාපු අය ගැන පරික්ෂණ කරලා වැරදිකරුවන්ට දඬුවම් කරාවි. අපි ආණ්ඩුව කරන කොට ඒක දේශපාලන සන්දර්ශනයක් කර ගන්න අවශ්‍ය නෑ කියලයි මම හිත්නෙ.
හොඳයි අපේ රටේ දේශපාලනයත් දැන් පියාගෙන් දරුවට උරුම වෙන රැකියාවක් බවට පත්වෙලා. ඔබත් ඔබේ පුතා දේශපාලනයට තල්ලු කරලා. දේශපාලනය පවුලේ බූදලයක් කර ගැනීම හරිද?
නෑ, ඔබේ චෝදනාවට පදනමක් නෑ කියලයි මම හිතන්නෙ. මගේ පුතා දේශපාලනයට ආවෙ මගේ වුවමනාවට නොවෙයි. ඔහු ඇසුරු කරන යහළු මිත්‍රයින් ගේ බපෑම නිසා; ඔහු දේශපාලනය තෝරා ගෙන තිබෙනවා. ඒකට මම විරුද්ධ වුණේ නෑ. අනෙක අපි කවදාවත් දේශපාලනය පවුලේ බූදලයක් කර ගෙන නෑ. අපි මෙරට ප්‍රගතිශිලි දේශපාලනඥයන් විශාල පිරිසක් අපි බිහි කරල තිබෙනවා. සමහර අය තවමත් ඉන්නවා. සමහර අය ඒක අතහැරියා. තවත් සමහර අය ජනතාව ප්‍රතික්ෂේප කළා. ඒ අනුව මගේ පුතා කියල ජනතාව ඔහුව වැලඳ ගන්නෙ නෑ. ඔහු ජනතාවාදි නොවුණොත් ජනතාව ඔහු ප්‍රතික්ෂේප කරනවා.ඒක කාටවත් වළක්වන්න බෑ. අනෙක් කාරණය තමයි මෙවර මහ මැතිවරණයට පොහොට්ටුව නියෝජනය කරමින් අංකුර දේශපාලනඥයන් විශාල පිරිසක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව අපි හෝ අපි නියෝජනය කරන දේශපාලන සන්ධාන දේශපාලනය පවුලේ බූදල් බවට පත් කර ගෙන නෑ.
from silumina
0 Comments