Ticker

6/recent/ticker-posts

Header Ads Widget

දේශපාලනය කියන්නේ මඩකරියන් ළඟින පොකුණක්; ඒ පොකුණේ මලක් වගේ ඉන්න අමාරුයි

13 ජුනි, 2020

 මංගල සමරවීර පාර්ලිමේන්තු දේශපාලනය අතහැරීම ඔබට බලපාන්නෙ කොහොමද?

ඇත්තටම එතුමා දේශපානයේ හිටියත් නැතත් මේ දිස්ත්‍රික්කයේ ජනතාව හැමදාම මම පළමුවෙනියා විදියට ජයග්‍රහණය කරවලා තියෙනවා. එතුමා ඉවත් වීමෙන් මාතර දිස්ත්‍රික්කයේ සමඟි ජන බලවේගයේ දිස්ත්‍රික් නායකයා විදියටත් කණ්ඩායම් නායකයා විදියටත් මට කටයුතු කරන්න අවස්ථාව ලැබිල තියෙනවා. මම මංගල හා සාගල සමඟ සිටි ජනතාව අතරමං නොකර ඔවුන් ආරක්ෂා කරගෙන අපේ දේශපාලන පක්ෂය ශක්තිමත් කරගෙන ඉදිරියට යනවා.

ඔබ මාධ්‍ය වෘත්තියෙන් දේශපාලනයට මාරු වුණේ ඇයි?

මම දේශපාලනයට මාරු වුණා කියනවට වඩා අහම්බෙන් ඊට තල්ලු වුණා කිව්වොත් ඒක නිවරදියි. මම මාධ්‍යකරුවෙක් විදියට වඩාත්ම සම්බන්ධ වුණේ දේශපාලනඥයන් සමඟ සංවාද වැඩ සටහන් වලටයි. එහිදී මම දේශපාලනඥයන්ට ප්‍රශ්න යොමු කරන ගමන් ඇත්තටම එ ප්‍රශ්නවලට උත්තර සොයා ගත හැකි ප්‍රායෝගික ක්‍රියාමාර්ග ගැන මගේ අවධානය යොමු වුණා.එකේ ප්‍රතිඵලයක් ලෙස තමයි පක්ෂ දේශපාලනයට යොමු වුණේ.

ඔබට ඔබේ පවුලේ දේශපාලන ආභාසයක් තියෙනවාද?

අනේ නෑ. මම තමයි අපේ පරම්පරාවෙන් දේශපාලනයට ආපු පළමුවැන්නා. මම දේශපාලනයට එන කොට සමහර අය මගෙන් ඇහුවා හරක් ගොඩේ හරකෙක් වෙන්නද හදන්නෙ කියලා. ඒ වෙලාවෙ මම ඔවුන්ට කීවේ මම හරක් ගොඩේ ගොපල්ලවයෙක් වෙන්න හදන්නෙ කියලා. මම අකුරැස්සට ගියාම සමහරු මට පැරෂුට්කාරයා කීවා. ඒ නිසාමදෝ අකුරැස්ස ජනතාව මට ආදරෙයි. මොකද පැරෂුට්කාරයකුට ආපහු යන්න බෑනේ.

දේශපාලනයේ බල තණ්හාව පිළිබඳව මාධ්‍යවේදියෙක් විදියට ලැබු අත්දැකීම් අද ඔබ ප්‍රායෝගිකව බුක්ති විඳිනවා නේද?

මම ඔබට මුලින්ම කිව්වනේ මගේ අරමුණ මොකක්ද කියල. අපේ රටේ මේ මජර දේශපාලනය තුළ තිබෙන බල තණ්හාව පුදුම සහගතයි. දේශපාලන වැඩ සටහන්වලට එන පක්ෂ විපක්ෂ දේශපාලනඥයන් මේකප් කරන තැනදි කතා වෙනවා උඹ අරක කියන්න එපා; කිව්වොත් මමත් උඹේ අරක කියනවා කියලා. එහෙම ඩීල් දාගන්නෙ. එහෙම ගත්තම මේ දේශපාලනය කියන්නේ මඩකරියන් ළඟින පොකුණක්; ඒ පොකුණේ මලක් වගේ ඉන්න එක අමාරුයි. ඒ අමාරු දේ කරන්න තමයි මම දේශපාලනයට ආවෙ.පොකුණේ පිපෙන මල් පූජාසනය මත තියන්න පුළුවන් වුණත් මඩකරියෝ ගෙම්බෝ පූජාසන මත තියන්න පුළුවන් ද? එහෙම කරනවද කියල මේ මහ මැතිවරණයේදී ජනතාවට හිතල බලලා තීන්දුවක් ගන්න පුළුවන්.

ඔබ කියනවා දේශපාලනය මහ මඩකරියක් කියල. එහෙම ගත්තම ඔබ තෝරාගෙන ඉන්න දක්ෂිණාංශික දේශපාලනය වඩා ගැඹුරු මඩකරියක් නොවෙයිද?

ලෝකයේ දැන් දක්ෂිණාංශික කියල දේශපාලනයක් නෑ. ඔබට මතක ඇති 1994 දි චන්ද්‍රිකා ජනාධිපතිනිය කිව්වා විවෘත ආර්ථිකයට මානුෂීය මුහුණවරක් දෙනවා කියලා. නමුත් මේ දක්වා විවෘත ආර්ථිකයට ලබා දී තිබෙන මානූෂීය මුහුණුවර මොකක්ද?අපේ රටේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදය හා ලිබරල්වාදය මැද ක්‍රියාත්මක වන දේශපාලනයක් තියෙන්නෙ. එ් නිසා අද දක්ෂිණාංශික කඳවුරක් මට පෙනෙන්නෙ නෑ. අද අපි නියෝජනය කරන සමඟි ජන බලවේගය ධනේශ්වර කඳවුර වෙනුවට ධනාත්මක කඳවුරක් නිර්මාණය කරමින් ඒ අනුව කටයුතු කරන කඳවුරක්. තවම කොන්සර්වේටිව් වාදයෙ ලංකාවෙ ක්‍රියාත්මක කරන්න පුළුවන් තත්ත්වයක් නිර්මාණය වෙලා නෑ. අපේ භූමි යථාර්තය තියෙන්නෙ සමාජ ප්‍රජාතන්ත්‍රවාදය හා ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය අතරමැද දෝලනය වන තැනකයි.

ඔබේ විග්‍රහයට අනුව අපේ රටේ පවතින සභ්‍යත්වයට, සංස්කෘතියට, අපේ උරුමයට සාධාරණයක් ඉටු කරන්න ඔබේ දේශපාලන කඳවු⁣රට පුළුවන් කියල ඔබ විශ්වාස කරනවාද?

ඒ කාරණයේදී මම ඔබත් එක්ක සියයට සියයක් එකඟයි. අපිට මාක්ස්වාදී චින්තනය ලැබෙන්නෙ යුරෝපයෙන්. 1978 අපේ ව්‍යවස්ථාව හදන්න ගුරු කර ගෙන ඇත්තේ ඇමෙරිකාව, ප්‍රංශය හා බ්‍රිතාන්‍ය මොඩලයේ කළවං වූ මොඩලයක්. ඒ අනුව මාක්ස්වාදීන් මෙන්ම සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් ආදර්ශ ගන්නේ යුරෝපා හා උතුරු ආසියාවේ මොඩලයන්ගෙන් කියල පැහැදිලියි. ඇමරිකාවෙි රිපබ්ලිකන් පක්ෂයෙත් එංගලන්තයේ කොන්සර්වේටිව් පක්ෂයෙත් නිවුන් සහෝදරය තමයි ලංකාවෙ එක්සත් ජාතික පක්ෂය. එංගලන්තයේ ලේබර් පක්ෂයේත් ඇමරිකාවෙ ඩිමොක්‍රටික් පක්ෂයේත් නිවුන් සහොදරිය වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි.එහෙම ගත්තාම එජාපය තමයි ඔබ කියන ඔය අපේකම රකින්නෙ. නමුත් 1946 සැප්තැම්බර් 6 වනදා කොල්ලුපිටිය ෆාම් කොත් මන්දිරය පටන් ගන්න කොටම වැදුගේ සන්නියක් හැඳුණා වගේ අපේකමත් එක්ක මොකක්දෝ අවුලක් තියෙනවා. ඒ අවුල නිවැරදි කරන්න ඕන. අතීත නායකයෝ ඒක නිවැරදි කරගෙන ආවා. ආයෙත් රනිල් වික්‍රමසිංහ ඒක පරණ තැනටම ඇදගෙන ගියා. අනාගතයේදි අපි හරි මේක නිවැරැදි කරන්න ඕන. ඒ නිසා ඔබ කිව්ව කාරණයට මම එකඟයි.

ඔබ සඳහන් කරන ආකාරයට එජාප අංකුර දේශපාලනඥයකු වූ ඔබට පුළුවන්ද සමඟි ජන බලවේගය හරහා එජාප දර්ශනය වෙනස් කරන්න?

ඔව්, ඒක කරන්න අපිට පුළුවන්. මම අපේ අලුත් පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ළඟින් ආශ්‍රය කරල තියෙනවා. දැන් නම් එතුමා වටා නානප්‍රකාර අය වට වෙලා ඉන්නවා. නමුත් මට මතකයි 2012 පක්ෂ සමේමේලනය ⁣පැවැති වෙලාවෙ එතුමා එක්ක නැගිට්ටේ අපි නව දෙනයි. දැන් ඔය වටේ ඉන්න සමහර අය තමයි පක්ෂ නායකත්වය සංශෝධනය රනිල්ට වාසි වෙන විදියට තිරණය වෙන යෝජනාව කෙටුම්පත් කරල දුන්නෙ. එදා ඔය හැමෝම අපිත් එක්ක හිට ගත්තානම් එජාපයට මේ ඛේදවාචකය සිදු වන්නෙ නෑ. එදා රනිල් වට කරගෙන ලණු දුන්න; අද සජිත් වටා ඉන්න සමහර අය එජාපයට වෙච්චි වින්නැහියට වග කියන්න ඕන. බල්ලෙක් මැරුණම ඌගේ ඇඟේ ඉන්න මැක්කො තවත් බල්ලෙක් ගේ ඇඟේ එල්ලනවා වාගේ තමයි අපේ සමහර අය කටයුතු කරල තියෙන්නෙ. ඕනෑම දේශපාලන ව්‍යාපාරයකට වරදිනවා වැරදි සිද්ධ වෙනවා. ඒවා නිවැරැදි කර ගෙන අතීතයේ වැරදි අතහැරල හරි දේ අර ගෙන මේ ගමන යන්න ඕන. නායකයෝ හෝ පක්ෂ වෙනස් වුණා කියල පක්ෂයක දේශපාලන දර්ශනය වෙනස් වෙන්නෙ නෑ. ඒ සඳහා බොහෝ දේවල් කරන්න වෙනවා.

ඔබ ඔය කියන කාරණා සමඟ සංසන්දනාත්මකව බලද්දී දැන් ඔබ නියෝජනය කරන සමඟි ජන බලවේගයේ අනාගතයත් අවිනිශ්චිතයි නේද?

බල ලෝබයෙන් අවස්ථාවාදීව කටයුතු කළොත් කොයි දේශපාලන පක්ෂයටත් වෙන්නෙ ජනතාව ගෙන් ප්‍රතික්ෂේප වෙන්නයි. ඒ නිසයි මම කියන්නෙ මේ පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වගේම එජාපයට ආදරේ කරන සමඟිජන බලවේගයේ ඉන්න කාළකණ්නි පිසාචයෝ, අමනයෝ පලවා හරින්න ජනතාව කටයුතු කරයි කියල මම විශ්වාස කරනවා. අපි හැම වෙලාවෙම අපිට ඕනෑ දේ ගන්නෙ තෝරල බේරලා. නමුත් ඡන්දයේදි අපේ ජනතාව ඒ තෝරා බේරා ගැනීම අමතක කරනවා. ඒක ඛේදවාචකයක්.

සමඟි ජන බලවේගය ගොඩ නඟන්න එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලයේදී අනුමැතියක් දුන්නෙ නෑ කියන කතාව බොරුද?

ඒක අමූලික බොරුවක්. සමගි ජන බලවේගය ගොඩනැගුණේ එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලයේදී ලැබුණ අනුමැතිය නිසයි. ඒක තමයි ඇත්ත.

දේශපාලන සන්ධානයක් ගොඩනගල අලියා හෝ ⁣හංසයා ලකුණෙන් මැතිවරණයට තරඟ කළ යුතුයි කියල එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලයේදී ගත්තු තීරණය ඔබලා උල්ලංඝණය කළා කියලයි චෝදනා එල්ල වෙන්නෙ?

නෑ, අනුමැතිය ලැබුණේ පුළුල් ජන බලවේගයක් ගොඩ නඟන්නත්, එහි නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට දෙන්නටත්, මහ ලේකම් ලෙස රංජිත් මද්දුම බණ්ඩාර පත් කර ගන්නයි. අලියා හංසයා කියන ලකුණු ගැන කතා කළ රනිල් හා අකිල එක මිටකට දාල හයිජැක් කරගත්තු නිල කාස හොරු දෙන්නෙක්. ඒ අය තමයි මේ ප්‍රශ්නය අච්චාරු කළේ. අපි මේ වෙලාවෙ වරදක් වංචාවක් කළා කියල කියනවා නම් එජාපයේ රනිල් ගේ ඉදලා ඔක්කොම අතීතයේ ඉදලම කරල තියෙන්නෙ වරදක්.

ඔබලා මැතිවරණයට බයයි නේද?

අය්යෝ නෑ. මැතිවරණයට බයෙන් පරණ පාර්ලිමේන්තුව කැඳවන්න අපි උත්සහ කරනවා කියන්නෙ ආණ්ඩුවෙ ඇතැම් පිරිසක් මාධ්‍ය යොදා ගෙන ගොඩ නඟපු බොරුවක්. අපි නිර්භයව මැතිවරණයට මුහුණ දෙන්න සූදානමින් ඉන්නෙ.



from silumina

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();