Ticker

6/recent/ticker-posts

Header Ads Widget

තවදුරටත් කුණු නොවිය යුතු ලාංකේය ක්‍රිකට්

13 ජුනි, 2020

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනකුට එරෙහිව අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ මර්ධන ඒකකය පරීක්ෂණ පවත්වන බව ක්‍රීඩා ඇමතිවරයා කියා සිටියද එය කිසිසේත්ම වත්මන් ක්‍රීඩකයන් සම්බන්ධයෙන් නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පාසල් වෙත ක්‍රිකට් ආම්පන්න සහ මුදල් බෙදා දීම සඳහා පසුගියදා පැවැති උත්සවයකදී ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහපෙරුම කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම මාධ්‍ය නිවේදනය නිකුත් කර තිබිණ. අමාත්‍යවරයාගේ ප්‍රකාශය ප්‍රතික්ෂේප නොකිරීමට පරෙස්සම් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඒ පිළිබඳ මෙසේ පවසයි.

“ගරු ඇමතිතුමා විසින් සඳහන් කරන්නට ඇත්තේ අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් ශ්‍රී ලංකා පිලේ හිටපු ක්‍රීඩකයන් තිදෙනකුට එරෙහිව ආරම්භ කරන ලද පරීක්ෂණයක් සම්බන්ධයෙන් විය හැකි බවත්, එය වත්මන් ක්‍රීඩකයන්ට එරෙහිව නොවන බවත්, ශ්‍රී ලංකා ක්‍රිකට් තරයේ විශ්වාස කරයි“ යනුවෙන් ඒ නිවේදනයේ සටහන් කර තිබිණ.

කෙසේ වෙතත් ක්‍රීඩා ඇමතිවරයාගේ ප්‍රකාශය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයම හදිසියේ කැලඹීමට පත්විය. ඇතැම් ක්‍රීඩකයන්ගේ නම් අනුමාන වශයෙන් සඳහන් කරමින් දිගින් දිගටම විමසීම් කෙරුණේ වසර ගණනාවක් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට අමිල මෙහෙවරක් කළ ක්‍රීඩකයන්ගේ කීර්තිනාමයද නැවත වරක් ප්‍රශ්න කරමිනි. මේ කිසිවක් අහඹු සිදුවීම් නොවන බව ලාංකේය ක්‍රිකට් කේෂ්ත්‍රයේ මෑත ඉතිහාසයේ සිදුවිම් දෙස විමසිමත් වීමෙදී පැහැදිලිය.

මත්කුඩු ළඟ තබා ගැනීමේ චෝදනාවකට ලක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ යොවුන් ක්‍රීඩක ෂෙහාන් මධුසංක ක්‍රිකට් ක්‍රීඩාව මුදල යටවී තිබෙන අවදියක, ඒ සඳහා අවශ්‍ය මුදල් සොයා ගැනීමේ අරමුණින් මේ දෙය කර ඇත්දැයි ගැඹුරින් සොයා බැලිය යුතු බව

අර්ජුන රණතුංග පවසයි.

‘ෂෙහාන් මධුසංක අපේ හොඳ ක්‍රීඩකයෙක්. ඒ වගේම තරුණ ක්‍රීඩකයෙක්. මත්කුඩු චෝදනාවකට අත්අඩංගුවට ගෙන තිබෙනවා. වරදට දඬුවම් දෙන ගමන් ක්‍රිකට් ක්‍රීඩාව මුදලට යටවී තිබෙන නිසා මුදල් සොයා ගැනීමේ අරමුණින් මේක කළාද කියල සොයා බලන්නත් අවශ්‍ය යැයි අර්ජුන රණතුංග කියා සිටියි.

මේ අතර අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධි නීති දෙකක් උල්ලංඝණය කිරීමේ චෝදනාවට වරද පිළිගැනීම නිසා සනත් ජයසූරියට ක්‍රිකට් ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් වසර දෙකක තරග තහනමක් පනවා තිබේ. 2017 දී ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයා ලෙස කටයුතු කළ කාලයේ එල්ල වූ චෝදනාවක් සම්බන්ධයෙන් සිදු කළ ප‍රීක්ෂණයට සහාය නොදීම නිසා මේ චෝදනා එල්ල වූ අතර, එකී චෝදනාවන්ට වරදකරුවීම නිසා මෙකී වසර දෙකක තහනම පැනවීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය කටයුතු කර තිබේ. 1996 ක්‍රිකට් ලෝක කුසලානය ශ්‍රී ලංකාව ජයගත් තරගාවලියේ වීරයා වූ සනත් ජයසූරිය සම්බන්ධයෙන් එකී ජයග්‍රාහි කණ්ඩායමේ නායකයා වූ අර්ජුන රණතුංග මෙකී දූෂණ චෝදනා එල්ල වූ විට ප්‍රකාශ කළේ ‘බල්ලෝ එක්ක බුදිය ගත්තොත් මැක්කෝ එක්ක නැගිටින්න වෙනවා කියලා කියනවනේ‘ කියාය.

මෙවැනි ගැටලු කරපින්නාගෙන 2018 දී දකුණු අප්‍රිකානු ටෙස්ට් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම දිමුත් කරුණාරත්නගේ නායකත්වය යටතේ ටෙස්ට් තරගාවලිය නිමා කරන්නේ ඓතිහාසික ජයග්‍රහණයක උරුමක්කරුවන් බවට පත්වෙමින්ය. පළමු ටෙස්ට් තරගය අවසානයේ ක්‍රීඩක විවේකාගාරයේදී ඇති වූ සංවාදයේ වීඩියෝ පටය කියාපෑවේ ක්‍රීඩකයන්ගේ හදවත් තුළ කැකෑරෙන වේදනාව මිස වෙ‍ෙනකක් නොවන බව පැහැදිලිය. මේ සියල්ල අතරතුර ක්‍රිකට් නිලවරණයේ ජය හිමිකර ගත් ශම්මි සිල්වා පාර්ශ්වය වැඩ බාර ගැනීමෙන් අනතුරුව පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී ප්‍රකාශ කළේ හිටපු ක්‍රීඩකයන් ඇවිත් ක්‍රිකට් බෝඩ් එකට ඇඟිලි ගසන එකම රට මෙය බවය. මෙහිදී ශම්මි සිල්වා ප්‍රකාශ කරන්නේ අප අවුරුදු 100ක් පැරැණි ව්‍යුහයක් සමඟ ඉදිරියට යන බවය.

වසර 100ක් පැරැණි නිසා ම මෙයට ඓතිහාසික වටිනාකමක් තිබිය හැකිය. නමුත් එකී ඓතිහාසික වටිනාකම පමණක් ම ප්‍රමාණවත්ද යන්න සිතා බැලිය යුතුය. වසර 100 පැරැණි දෙයක් අද අලුත්වැඩියා කළ යුතු තැනක තිබේ නම් එය අලුත්වැඩියා කළ යුතුය. එහි සිදුරු ඇති වී තිබේ නම් සිදුරු වැසිය යුතුය. වේයෝ කා ඇති තැන් තිබේ නම් ඒවාට පිළියම් යෙදිය යුතුය. රැහැන්පට දිරා ගොස් ඇත්නම් ඒවා අලුත්වැඩියා කළ යුතුය. කුහක නොවී මේවාට නිසි පිළියම් යෙදිය යුත්තේ වෙනකක් නිසා නොව ඉතිරිය ද විනාශ වේ නම් බොහෝ දෙනාගේ බඩවියත රැකෙන මේ දොරටුව වැසී යන බැවිනි.

ඒ පසුගිය ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රිකට් ලෝක කුසලානයට යෑමට ශ්‍රී ලංකා කණ්ඩායමට අනුග්‍රාහකයකු සොයා යන තැනට ම බාල්දු වුයේ ඇයි දැයි සොයා බැලිය යුතුය. මේවාට වගකිව යුත්තේ පාලකයන් ද ක්‍රීඩකයන් ද? යන්න විමසීම වටියි.

මුල්‍ය පරමාධිපත්‍ය බඩ පිනුම් ගසන සමාජයක ජනතා පරමාධිපත්‍ය වලපල්ලට යාම අරුමයක් ‍නොවේ. එවන් සමාජ වටපිටාවක ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අයත් වන්නේ සමාජයට නොව මුල්‍ය පරමාධිපත්‍ය දරන්නන්ට බව රහසක් නොවෙයි. ශ්‍රී ලංකා ක්‍රිකට් අයිති කාටදැයි හිටපු ක්‍රීඩා අමාත්‍යවරයකුට ප්‍රශ්න කරන්නට සිදු වන්නේ ද මුල්‍ය පරමාධිපත්‍යය කලෙක පටන් ම මෙරට ක්‍රිකට් ක්‍රීඩාව තුළ හොල්මං කරන බැවිනි. අද වන විට මේවාට අඩු වැඩි වශයෙන් වන්දි ගෙවීමට සිදු වී තිබෙන්නේ මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට වීම අවාසනාවකි. සිම්බාබ්වේට වඩා මෙරට ක්‍රිකට් ක්‍රීඩාව දූෂිත යැයි අයි.සී.සී. ය චෝදනා කරන්නේ ද ඒ නිසාම බවට සාධක සෙවීමට වෙහෙස විය යුතු නොවේ.

ලාංකේය සමස්ත ක්‍රීඩාවේ බේදය වනාහි ආර්ථික, සමාජීය, සංස්කෘතික ‍සහ දේශපාලනයේ පවා පවතින්නාවූ අගතියේ හා කුහකත්වයේ නියත ප්‍රතිඵල බව රහසක් නොවේ. ක්‍රීඩාව පිළිබඳ නිසි අධ්‍යාපනයක්, සංස්කෘතියක්, සාහිත්‍යයක්, පුහුණු න්‍යායික කලාවක්, ක්‍රීඩා වෛද්‍ය විද්‍යාවක්, පෝෂණයක් සහ ජාතික වැඩපිළිවෙළක් නැති ලාංකේය ක්‍රීඩාවේ මෙකී ලක්ෂණ අඩු වැඩි වශයෙන් හෝ දක්නට ලැබුණේ ක්‍රිකට් ක්‍රීඩාවේ පමණි. ලාංකේය ක්‍රිකට් පරිපාලනයේ පමණක් නොව කණ්ඩායමේ ද අගතියේ සහ කුහකත්වයේ ලක්ෂණ එළිපිට නැතත් අළු යට ගිනි පුපුරු මෙන් යට යමින් මතුවෙමින් පැවැතුණ ද, ඒවා එළියට නොපැමිණි තරම්ය. නමුත් එසේ මතු වෙමින් යට යමින් පැවැති ගිනි පුපුරු එළියට පැමිණි එක් අවස්ථාවක් 2018 දකුණු අප්‍රිකාවේදී පැහැදිලිවම දැකගත හැකි විය. මේවාට අතීතයේ නිසි ‍පිළියම් යෙදුවේ නම් මෙවැනි වීඩියෝ පට එළියට නොඑනු ඇත. මේ එක් ටෙස්ට් තරග ජයග්‍රහණයක් අවසානයේ ශේෂ පත්‍රය නම්, ලෝක කුසලාන ජයග්‍රහණයක් වැනි දෙයක් අවසානයේ ඉතිරි වන ශේෂ පත්‍රය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට ද වෙහෙස විය යුතු නොවේ.

අද ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාව ද අනෙක් ක්‍රීඩා මෙන් ජරාජීර්ණව ඕජස් ගලන තැනට ම පත්ව තිබේ. ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාව යහ මඟට ගැනීම එකම අරමුණ, පරමාර්ථය බව පවසමින් දස අතේ පොරොන්දු ලබා දෙමින් ක්‍රිකට් පුටුව ඩැහැ ගත්තෝ අවසානයේ එය දක්කාගෙන ගොස් තිබුණේ සිම්බාබ්වේටත් නො‍දෙවැනි තැනකට බව ක්‍රීඩා අමාත්‍යවරයා කළ ප්‍රකාශයේ උණුසුමවත් තවම මැකී ගොස් නැත. මේ ගැටලු තව තවත් වර්ධනය වීම ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමට එතරම් සුබදායක නැත. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පෙන්වා දෙන ආකාරයට මෙරට ක්‍රිකට් ක්‍රීඩාව අද වන විට සූදුවට එහා ගිය පාතාලයත් සමඟ සම්බන්ධ යැයි චෝදනා කරන විට, ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවේ ගමන් මග පැහැදිලිය. ඒ අනුව සැබැවින් ම ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවේ සැබෑ උරුමක්කරුවෝ සහ කරුමක්කරුවෝ කවුද යන්න සමාජය තීරණය කරනු ඇත.

වත්මන් ශ්‍රීලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් කිසිවකු සම්බන්ධයෙන් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දුෂණ විරෝධී ඒකකය විසින් පරික්ෂණ නොකරන බව පැවැසීම දක්වාම ක්‍රිකට් ආයතනය ඉක්මන් වී තිබේ.

ශ‍්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ හිටපු ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් තිදෙනකු සම්බන්ධව ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී ඒකකය විසින් පරීක්ෂණ පවත්වන අතර ඒ අනූව අදාළ ක‍්‍රීඩකයන් තිදෙනාව නුදුරේදීම හඳුනාගැනීමට හැකිවනු ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයේ නීති රීති සහ රහස්‍ය භාවය අනුව එම ක‍්‍රීඩකයන් තිදෙනාගේ නම් හෙළි කිරීමට නොහැකි අතර ඔවුන් විසින් අයි. සී. සී. දූෂණ නීති සංග‍්‍රහය කඩ කර ඇති බවත් එහි අවසන් තීරණය නුදුරේදීම ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට දැනුම් දෙනු ඇති බවත් වැඩිදුරටත් සඳහන් වේ.

ක‍්‍රීඩා ඇමැති ඩලස් අලහප්පෙරුම විසින් පසුගියදා ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් තිදෙනකු තරග පාවාදීම සම්බන්ධව අයි. සී. සී. දූෂණ විමර්ශන ඒකකය විසින් පරීක්ෂණ පවත්වන බව පැවසුවද එහිදී වත්මන් ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් කිසිවකුටත් එවැනි පරීක්ෂණයක් නොමැති බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නිවේදනය කරමින් සඳහන් කරයි. කෙසේ වෙතත් හිටපු ක‍්‍රීඩකයන් තිදෙනකු සම්බන්ධයෙන් එසේ පරීක්ෂණ පැවැත්වෙමින් තිබේ.

පසුගිය වසරේදී ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් වන සනත් ජයසූරිය, නුවන් සොයිසා, අවිශ්ක ගුණවර්ධන, ඩිල්හාර ලොකුහෙට්ටිගේ සම්බන්ධව අයි. සී. සී, දූෂණ විමර්ශන ඒකකය විසින් කරන ලද පරීක්ෂණවලට අනුව ඔවුන්ට තාවකාලික තහනමක් මේ වන විටත් පනවා තිබේ.

අප රටේ සියලු දේ ජරාජීර්ණ වී ඔජස් ගලන තත්ත්වයට ම කුණු වී තිබියදීත් ලාංකිකයන්ට මුව පුරා කතා කිරීමට හැකි දෙයක් ඉතිරි වී තිබුණි, නම් ඒ ක්‍රිකට් පමණක් විය යුතුය. අනූව දශකයේ මැද භාගයේ සිට ශ්‍රී ලංකාව ක්‍රිකට් ක්‍රීඩාවෙන් ජාත්‍යන්තරයේ ප්‍රබල තැනක පසු විය. එකී ප්‍රබලත්වය කොතෙක් ද යත් 96 ක්‍රිකට් කිරුළ දිනා ගැනීමෙන් එය සනාථ වෙයි. නමුත් ඊට පසු සිද්ධ වූයේ කුමක් ද? ක්‍රිකට් කිරුළ හරහා මෙරටට පොම්ප වූ මුදල් කන්දරාවට වහ වැට‍ුණෝ අද වන විට එය වළපල්ල දක්වා ම දක්කා ගෙන යමින් පවතී. ආගමික අතින් ගත්ත ද, ජාතික අතින් ගත්ත ද ලාංකේය සමාජයේ මුල්බැස ගෙන ඇති ජරාජීර්ණ සමාජ විරෝධයන් දුරස් වූ එකම තැන ක්‍රිකට් පිටිය පමණක් විය.

ඒ සියලු කරුණු කාරණා මේ වන විට සෝදා පාළුවට ලක්වී කුණු ගොඩක් බවට පත්වී තිබෙන්නේ ඇයි ද යන්න විමසා බැලීමට ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් පසුගිය සති කිහිපය තුළ සිදු වූ සිද්ධි මාලාව ම ප්‍රමාණවත්ය. ක්‍රිකට් ක්‍රීඩාව මහත්වරුන්ගේ යැයි ද, එය මහත්වරුන්ට උරුම යැයි ද අද කෑගසා පැවැසීමට නොහැකි තැනකටත් පත්ව තිබෙන බව සක්සුදක් සේ පැහැදිලිය.

අල්ජසිරා නාළිකාව තරග පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අළලා ගොඩනැඟූ කතාබහේ උණුසුම මැකී යන්නටත් මත්තෙන් 2018දි බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් තරගාවලිය අතරතුර රාත්‍රි සමාජ ශාලාවක රස්තියාදු ගසා තම නවාතැන්පොළ සොයා ගැනීමට නොහැකිවූ ජෙෆ්රි වැන්‍ඩර්සේට ගෙදර එන්නට සිදුවීම තවත් එක් සිද්ධියකි. කණ්ඩායමේ තිදෙනකු සමඟ වැන්ඩ‍ර්සේ ශාන්ත ලුසියාහි රාත්‍රි සමාජ ශාලාවක කරක් ගසා ඇති බවත්, ඉතිරි තිදෙනා රාත්‍රියේ ම ශ්‍රී ලංකා කණ්ඩායම නවාතැන් ගෙන සිටි හෝටලයට පැමිණ ඇති බවත්, වැන්ඩර්සේ එසේ නොපැමිණීම මේ සියලු ව්‍යසනයන්ට මුල බවත් සිහි ගන්වන්නේ කැලෑවේදී වලසාට හමු වූ මිතුරන් දෙදෙනාගේ කතා පුවතයි.

එකට කෑවත් බොක්ක වෙනස් යැයි වැන්ඩර්සේ මෙකී සිද්ධි සම්බන්ධයෙන් කළමනාකාරිත්වය කළ ප්‍රශ්න කිරීම්වලදී ලබාදී ඇති උත්තරවලින් පැහැදිලිය. එනම් තමා තනිකර දමා සෙස්සෝ හෝටලයට පැමිණ ඇති බවත්, ගමන් මඟ පැහැදිලිව සොයා ගැනීමට නොහැකි වූ නිසා එදින එහිම ගත කර පසුදා පැමිණි බවය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කළේ වැන්ඩර්සේට එරෙහිව විනය ක්‍රියාමාර්ගයක් ගන්නා බවය. දැන් මේ සියලු ගැටලුවලට විනය ක්‍රියාමාර්ග ගැනීම තුළ ගැටලු සියල්ල දුරින්භූත වී යයිද? මේ වැන්ඩර්සේට එරෙහිව චෝදනා ගොනු වූ පළමු වතාව නොවෙයි. මීට පෙර ද වැරැදි කිහිපයකට ම දඬුවම් විඳ නැවත නැවතත් ඒ දේම කරන්නකු ලෙස ද වැන්ඩර්සේ ප්‍රචලිතය. ශීලාචාර රටක, අශීලාචාර කණ්ඩායමක මෙවැනි දෑ සිදුවීම ගැන එක් අතකින් පුදුම විය යුතු නොවේ.

මෙරට ක්‍රීඩා සමාජ සංගම් සම්මේලන ප්‍රධානීන් එක්වූ මාධ්‍ය හමුවට වරක් විගණකාධිපති ගාමිණි විජේසිංහට ද ආරාධනා කර තිබුණි. එහිදි විගණකාධිපතිවරයා කළ කතාව නැවත සිහිපත් කරගත යුතු වන්නේ වෙනකක් නිසා නොව, අපේ රටේ ක්‍රීඩාවේ නිලධාරින් අල්ලන අඩව්වල හැටියට, වැන්ඩර්සේලා බඩ පිනුම් ගැසීම ගැන කවර කතා ද යන්නයි.

රටේ විගණකාධිපති හැටියට එම ක්‍රීඩා සංගම් සම්බන්ධයෙන් මට තියෙන්නේ අප්‍රසන්න හැඟීමක්, ගොඩක් අය ක්‍රීඩා සංගම්වලට එන්නේ මට ඒ ක්‍රීඩාවෙන් රටට යමක් කරන්න පුළුවන් කියන හිතන හැඟීමෙන් නෙවෙයි. ඒ සංගමයේ තියෙන මුදල් ප්‍රමාණය ගැන හිතලයි. මුලම කුණු වී තිබෙන තත්ත්වයක් තුළ ඊට ඉහළින් හෝ වට පිටාවේ ඇති කිසි ම දෙයක් කුණු නොවී තිබිය හැකි ද?

වැඩි ඈතකට යා යුතු නොවේ. 2018 බටහිර ඉන්දීය කොදෙව් තරගාවලියේ චන්දිමාල්ට ‍තෙවැනි ටෙස්ට් තරගය තහනම් වෙන්නේත් සියයට සියයක දඩ මුදලකට යටත් වෙන්නේත් දෙවැනි ටෙස්ට් තරගයේදී කටේ දමා ගත්දේ අමතක වීමේ රෝගයට දඬුවම් ලෙසය.

ක්‍රීඩාවේ ජීව ගුණයට හානි කිරීම සම්බන්ධයෙන් චන්දිමාල්ට, පුහුණුකරු හතුරුසිංහ සහ කළමනාකරු ගුරුසිංහට එරෙහි තවත් ‍චෝදනාවක් වෙන ම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ විභාග වෙමින් පවතියි. බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේ ශ්‍රී ලංකාව නිරත වුයේ මුල්‍ය ප්‍රතිපාදනයන් ද සපයා දෙමින්ය. ඒ නිසාම මේ ඇති වූ සියලු සිද්ධීන් (වැන්ඩර්සේගේ සිද්ධි නොවේ) සිහිබුද්ධියෙන් විසඳා ගැනීමට හැකිව තිබියදී චන්ඩි පාට්වලින් විසඳා ගැනිමට යාමේ ඵලවිපාකයන්ට වන්දි ගෙවීමට සිදුවී තිබෙන්නේ ද ශ්‍රී ලංකා නායකයා ඇතුළු ප්‍රධාන පෙළේ නිලධාරීන්ට ම වීම තුළ මේ අවාසනාවේ තරම කියාපායි.

ක්‍රීඩාව රටෙන් ගිලිහිලා යන විදිය දැක්කම, රටේ ක්‍රීඩාවට වෙන දේ දැක්කාම මට දුකයි. මේක නිවැරැදි වෙන්න ඕනෑ. මේ විගණකාධිපතිවරයාගේ හඬයි.

විගණකාධිපතිවරයාගේ මේ කතාව තුළ කියන්නේ කුමක් ද යන්න තවදුරටත් කරුණු කාරණා සොයා බැලීමට ඇවැසි නම්, ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩ නගන්නට ක්‍රීඩා අමාත්‍යවරයා කළ ඇරයුම මහේල ජයවර්ධන, සංගා, මුරලි සහ රොෂාන් මහානාම ප්‍රතික්ෂේප කිරීම තුළින් ම පැහැදිලිය. මේ සියලු දෙනා එක හඬින් පවසන්නේ ක්‍රිකට් නම් ජරා ජීර්ණ වූ කුණුගොඩට කර ගසන්නට තමන් අකැමැති බවය. එමෙන් ම තමන්ව පාවිච්චි කරමින් මේ කුණු ගොඩ සුද්ධ පවිත්‍ර කර ගැනීමට කිසිවෙකු හෝ සිහින දකින්නේ නම්, එය කවදාවත් සැබෑ නොවන බවය. ඒ අතර ම මෙහි වැදගත් ම කරුණ වන්නේ වෙනකක් නොව, රටේ ක්‍රීඩා ඇමැතිවරයා පවා විශ්වාස කළ නොහැකි බව ය. එය එසේ වන්නේ හිටපු ක්‍රීඩා අමාත්‍යවරු ඕනෑවටත් වඩා විශ්වාසය කඩකර ඇති බැවිනි.

වැන්ඩර්සේ ගේ සිද්ධිය එක් අතට රාත්‍රි සමාජ ශාලාවක සිද්ධියක් යැයි ලඝු කළ හැකිය. නමුත් ප්‍රශ්නය එය නොවේ. හතර දෙනකු අතර, එකමුතුකම හෝ එකාවන්ව කටයුතු කිරීමට නොහැකි නම් ශ්‍රී ලංකා කණ්ඩායමේ තත්ත්වය කෙබඳුවේ ද යන්නයි. ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණය විනාශ වී අද එය එකම යුද පිටියක් වී හමාර ය. මේ යුද පිටියේ කෙරුම්කාරයන් වී ඇත්තේ ඔට්ටුකරුවන් ය.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මොන කයි කතාන්දර නීති රීති දමමින් තරග විකිණීමේ පාවාදීම් යාන්ත්‍රණය පණ ගන්වා තිබුණ ද ඔවුන්ගේ ඇස්වලට ද වැලි ගසා වැඩ කළ හැකි බව ලාංකිකයන් මේ සිද්ධිය හරහා ඔප්පු කර තිබේ. තරගයක් අතරතුර බොහෝ නීති සමුදායකට ක්‍රීඩකයන් කොටු කර තබා ගැනීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය, කණ්ඩායම් නිලධාරින් කටයුතු කළ ද ඒ සියලු බැඳි තුළින් වුවද, අවස්ථාව ලද විටෙක පැනයා හැකි බව ශ්‍රී ලංකා ක්‍රීඩකයන් මේ සිද්ධියෙන් ඔප්පු කර තිබේ.

යම් හෙයකින් වැන්ඩර්සේට මං නොවැරැදුණා නම් මේ කිසි දෙයක් හෙළිදරව් නොවන්නට ද ඉඩ තිබුණි. කණ්ඩායමක නිසි නායකයකු, කළමනාකරුවකු, පුහුණුකරුවකු මෙන් ම කාර්යය මණ්ඩලයක් ද සිටිය යුතුය. එවිට හතරේ සීමාවෙන් ඇතුළත පමණක් නොව ඉන් පිටත දී ද ක්‍රීඩකයන් කරන්නේ මොනවා ද, යන්නේ කොහේ ද ගනුදෙනු කරන අය කවුදැයි යන්න සොයා බැලිය හැකිය.

වැටී ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උත්සාහය නැගී සිටීම නම් සෑම දෙනාගේ ම ඇඟිලි ගැසීම්වලින් එය අවුල් වී යන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු පුහුණුකරු නික් පෝතාස් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව හැර යාමට මත්තෙන්ය. ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් තම රාජකාරිය හරිහැටි ඉටු කිරීමට නොදී නොයෙක් ආකාරයෙන් ඇඟිලි ගසන බවත් පැවැසූ පොතාස් සුප් එකට සූපවේදියෝ වැඩි බව ද ප්‍රකාශ කළේය.

විනය විරෝධි ක්‍රියාවන් සිදුවී ඇත්තේ ක්‍රීඩකයන් අතින් පමණක් නොවන බව ශ්‍රී ලංකා බටහිර කොදෙව් දෙවැනි ටෙස්ට් තරගය අතරතුර සිද්ධ වූ සිදුවීම් මාලාව කදිම සාධකයකි. චන්දිමාල් පන්දුව පළුදු කිරීමේ ‍චෝදනාවට වැරැදිකරු කිරීම සම්බන්ධයෙන් විරෝධය පෑම පිණිස තරගය අතර මඟ නතර කිරීම ක්‍රීඩා‍ලෝලයන් ඉතාමත් කලකිරීමට හේතු වී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් විචාරක හර්ෂා බෝග්ලේ ද ප්‍රකාශ කර තිබේ. මේ ක්‍රිකට් පිටියේ උද්ඝෝෂණ අතර ශ්‍රී ලංකාවට තවත් අත්දැකීමක් තිබේ. ඒ අර්ජුන රණතුංග නායකයකු ලෙස මුරලි වෙනුවෙන් කළ නිහඬ විප්ලවයයි. 1995 - 96 ශ්‍රී ලංකා කණ්ඩායමේ ඔස්ට්‍රේලියානු සංචාරයේ මුරලිට එරෙහිව ප්‍රථම වරට ඇඟිලි දිගු විය.

ඉන් වසර තුනකට පසුව ද ඒ ආකාරයෙන් ම මුරලිට එරෙහිව විනිසුරු ඇඟිලි දිගු වනවිට අර්ජුන රණතුංග නියම නායකයකු ලෙස ක්‍රියා නොකළේ නම් මුරලිගේ ක්‍රිකට් දිවිය ද එතැනින් ම කෙළවර වන්නට තිබුණි.

සටනකට උද්ඝෝෂණයකට හොඳ විනයක් තිබිය යුතුය. ලංකා භූමියේ බොහෝ සටන්, උද්ඝෝෂණ සෝඩා බෝතලය කැඩුවා සේ දිය වී යන්නේ මේ විනය ද මුල්කර ගනිමින් බව බොහෝ දෙනකුට අමතකය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකාරිත්වය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නීතිරීති ගැන හරිහැටි කරුණු නොවටහා ගැනීම මේ ගැටලු වලට ප්‍රධාන හේතුව බව නම සඳහන් කිරීමට අකැමැති හිටපු ක්‍රීඩකයකු විදේශ මාධ්‍යයකට පවසා තිබේ. ක්‍රීඩකයන් කුමක් පැවසුවද කණ්ඩායම් කළමනාකාරිත්වයේ වගකීම සහ නීතිරීති අනුව කටයුතු කිරීමට උපදෙස් දීම බව ද සඳහන් කර තිබේ.

 



from silumina

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();