Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කඩුලු 5ක පරාජයක්

Author(s): 
ෆවුස් මොහොමඩ්

මුල්පෙළ පිතිකරුවන්ගේ දුර්වල ක්‍රීඩා විලාශය හේතුවෙන් ලකුණු 200 සීමාව පසුකිරීමට නොහැකිවූ ශ්‍රී ලංකා පිලට එරෙහිව ඊයේ රන්ගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති පළමු එක්දින තරගයෙන් කඩුලු 5ක පහසු ජයක් අත්කර ගැනීමට දකුණු අප්‍රිකානුවෝ සමත්විය.

ඕවර 34කුත්, පන්දු 3කදී ශ්‍රී ලංකා ඉනිම ලකුණු 193කට නිමාවීමෙන් පසුව පිටියට පිවිසි දකුණු අප්‍රිකානුවෝ ඕවර 31කදී කඩුලු 5ක් පමණක් දැවී ශ්‍රී ලංකා සංචාරයේ පළමු ජයග්‍රහණය වාර්තා කළ අතර තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය 1-0කින් පෙරමුණ ගත්තේය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිලේ මුල් පෙළ පිතිකරුවන් පස්දෙනකුම ලකුණු 36ක් ඇතුළත ආපසු ක්‍රීඩාගාරයට හැරි යද්දී කුසල් ජනිත් පෙරේරා සහ තිසර පෙරේරා එක්ව මුලු ලකුණු සංඛ්‍යාව 128 දක්වා ඉනිම ඇදගෙන ගියේ 6 වැනි කඩුල්ලට ලකුණු 92ක සම්බන්ධතාවක්ද ගොඩ නගමිනි.

ශ්‍රී ලංකා පිලේ එකම ගැලවුම්කාරයා බවට පත්වූ කුසල් ජනිත් පෙරේරා විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 72කින් ලකුණු 81ක් රැස් කළ අතර අනගි ශතකයක් වාර්තා කිරිමේ අවස්ථාව මඟ හැරී දැවී ගියේ ටබ්රේස් ෂම්සි යැවූ ඉනිමේ 31 වැනි ඕවරයේදී රිවර්ස් ස්වීප් පහරක් එල්ල කරන්නට යාමෙනි. ඩේවිඩ් මිලර් අතට උඩ පන්දුවක් ලබාදී ෂම්සිගේ තුන්වැනි ගොදුර ලෙස ඔහු දැවී යද්දී මිනිත්තු 138ක් කඩුල්ලේ රැඳි සිටිමින් හතරේ පහර 11ක් සහ හයේ පහරක් එල්ල කර තිබිණි.

ඔහුට කදිම සහයක් ලබාදුන් තිසර පෙරේරා අර්ධ ශතකයට එක් ලකුණක් අඩුවී සිටියදී දවාගත්තේද ෂම්සිය. සිය ඉනිම හතරේ පහර 8කින් වර්ණවත් කරගත් තිසර මුහුණ දුන්නේ පන්දු 30කට පමණි.

ඊයේ ශ්‍රී ලංකා ඉනිමේ බිඳ වැටීම ආරම්භ වූයේ පළමු ඕවරයේ සිටමය. ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල තුන්වැනි පන්දුවෙන්ම ලකුණු දෙකකට දැවී ගියේ ෂම්සි අතට පහසු උඩ පන්දුවක් දීමෙනි. මුලු ලකුණු සංඛ්‍යාව 11ක්ව තිබියදී දෙවැනි කුසල් මෙන්ඩිස්ගේ දැවීයාම රූපවාහිනි තරග විනිසුරුට යොමුකළත් ප්‍රතිඵලයේ වෙනසක් නොවීය. උපුල් තරංග දුවද්දි දැවීයාමට හසුවූයේ ඉක්මන් ලකුණක් කරා දිවයද්දී ජේ.පී.ඩුමිනි කෙළින්ම කඩුල්ලට පන්දුව දමාගැසිමෙනි. පීඩනයෙන් මිදිමට ආ විගස රබාඩාට හතරේ පහරකින් සංග්‍රහ කළ නායක ඇන්ජෙලෝ මැතිව්ස් ඊළඟ ඕවරයේ ලුන්ගි එන්ගිඩිගේ පන්දුවක් හමුවේ දැවී ගියේ පළමු ස්ලිප් හි සිටි හෂීම් අම්ලාට පහසු උඩපන්දුවක් දීමෙනි. ශ්‍රී ලංකා ඉනිමේ පස්වැනි කඩුල්ල ලෙස ශෙහාන් ජයසූරිය ලකුණු නොලබා දැවී ගියේ ඉතා දුර්වල පහරකිනි.

දකුණු අප්‍රිකානු පිලේ මුල් කඩුලු දෙකම බිඳ වැටුණේ අකිල ධනංජය යැවූ පස්වැනි ඕවරයේ පිට පිට පන්දු දෙකකිනි. මුලින්ම දැවී ගියේ ටෙස්ට් තරගමාලාවේදිත් අසාර්ථක වූ හෂිම් අම්ලාය. පිතිකරු අන්දමන්ද කරවන වර්ගයේ පන්දුවකින් අම්ලාගේ කඩුල්ල ගලවා දැමූ අකිල ධනංජය ඊළඟ පන්දුවෙන් නවක පිතිකරු ඒඩ්න් මැක්‍රාම් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගත්තේය.

එහෙත් ශ්‍රී ලංකා පිලේ පන්දු යවන්නන් හමුවේ සාර්ථක පිතිහරඹයක නිරතවූ නායක ෆෆ් ඩු ප්ලෙසි සහ ක්වින්ටන් ඩි කොක් දකුණු අප්‍රිකානු ඉනිම ඉදිරියට ගෙන ගියේ තුන්වැනි කඩුල්ලට ලකුණු 86ක සම්බන්ධතාවක් ගොඩනගමිනි. ශ්‍රී ලංකා පිලට හිසරදයක් වූ මේ සම්බන්ධතාව බිඳ දැමීමට අකිල ධනංජය සමත්වූ අතර අර්ධ ශතකයට ලකුණු 3ක් අඩුවී තිබියදි දැවී ගිය කොක්ගේ ඉනිමට හතරේ පහර 4ක් සහ හයේ පහරක් එක්විය. පන්දු 56කදි හතරේ පහර 10ක් සමග ලකුණු 47ක් ලබා සිටි නායක ඩු ප්ලෙසි ද ඊළඟ ඕවරයේදී දවාලීමට ලක්ෂාන් සඳකැන් සමත්වුවත් ජේ.පී.ඩුමිනි නොදැවී ලකුණු 53ක් වාර්තා කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය දක්වා රැගෙන ගියේය. තරගයේ වීරයා සම්මානය දිනාගත්තේ ටබ්රෙස් ෂම්සිය.

දෙපිල අතර දෙවැනි එක්දින තරගය අගෝස්තු 1 වැනිදා රන්ගිරි දඹුලු ක්‍රීඩාංගණයේදීම පැවැත්වෙයි.

ඡායාරූප - සුසන්ත විජේගුණසේකර

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();