Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අපි රාජ්‍ය යාන්ත්‍රණයයි දේශපාලනයයි පටලව ගන්නෙ නෑ

13 ජුනි, 2020

 අපේ රටේ මේ දිනවල වඩාත් දක්නට ලැබෙන දෙයක් තමයි දේශපාලන කුහකකම්. මේ දේශපාලන කුහකකම ගැන ඔබ මොනවද කියන්නෙ?

මේ තත්ත්වයට ප්‍රධාන කරුණු දෙකක් බලපා තිබෙනවා.එකක් තමයි මෙරටේ දේශපාලන ක්‍රමය 1978 ව්‍යවස්ථාවෙන් සම්පූර්ණයෙන්ම වෙනස් කර තිබීම. මේ ඡන්ද ක්‍රමය නිසා ඒ ඒ දිස්ත්‍රික්කවල ජනතාවට තමන් කැමති පුද්ගලයන් තිදෙනෙකුට මනාප දෙන්න පුළුවන්. අනෙක අපේක්ෂකයන්ටත් පුළුවන් දිස්ත්‍රික්කය පුරා ජනතාව හමුවෙලා තමන්ටත් මනාපයක් දෙන්න කියල ඉල්ලන්න. මේ නිසා මූල්‍ය ශක්තියක් තියෙන අපේක්ෂකයන් බලය ගොඩනඟා ගැනීම සඳහා දේශපාලන විරසක ඇති කර ගන්නවා. අනෙක් කාරණය තමයි මේ ක්‍රමයත් සමඟ ජනතාව ඡන්දය හුවමාරු භාණ්ඩයක් බවට පත් කර ගෙන තිබෙනවා. මේ අනුව මගේ ඡන්දෙට ඔබට බඩු මල්ලක්, එහෙම නැත්නම් ඔබේ ඡන්දයට මගෙන් ඉඩම් කැබල්ලක් ආදි වශයෙන් ජනතාවත් ඡන්ද අපේක්ෂකයාත් ඡන්දය හුවමාරු භාණ්ඩයක් කර ගෙන තිබෙනවා. මේ නිසා තමන්ව නියෝජනය කිරිම සඳහා සුදුස්සකු හිතාමතා තෝරා ගැනීම කියන සංකල්පය ඉවත්වෙලා. ඡන්දය පොඩි ගනු දෙනුවක් බවට පරිවර්තනය කර ගෙන තිබීම නිසා ඔබ කිව්ව කුහකකම් මිලේච්ඡතව මතුව තිබෙනවා කියලයි මම හිතන්නෙ.

ශ්‍රී ලංකාව ලොකයේ අනෙකුත් රටවලට වඩා උසස් සංස්කෘතිකයක්, සභ්‍යත්වයක්, වගේම බහුතර ජනතාවට උසස් ආගමික දර්ශනයක් උරුමව තිබෙන රටක්. එවැනි පසුබිමක මෙවැනි තත්ත්වයන් ඇති වෙන්නෙ කොහොමද?

ඇත්තටම මේ තත්ත්වයට ආගමික හෝ සංස්කෘතික පසුබිමක් අදාළ වෙන්නෙ නෑ. මේ තත්ත්වයට පදනම වී තිබෙන්නෙ සමාජ හා දේශපාලන පසුබිමයි. සමාජයේ යටම තීරුව බරපතළ දෙස දුගී භාවයට පත්ව තිබීම නිසා ඡන්දය හුවමාරු භාණ්ඩයක් කර ගැනීම තරඟකාරිව සිද්ධ වෙනවා.වෙළඳපොළ ධනවාදය හා ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය විවිධාකාර ක්‍රමයට රට තුළට ඇතුළු වීමෙන් පසු ඒ රටවල ව්‍යවස්ථාමය ආකෘතිය නිවරදි ආකාරයය හදා ගන්නබැරි වුණාම මේ තත්ත්ව නිර්මාණය වෙනවා. මේ සඳහා උත්තරය නැවත පැරණි ක්‍රමයට යාම නෙවෙයි. පැරණි හා මේ මනාප ක්‍රමය කියන දේකේම හොඳ දේවල් එකතු කර ගත්තු අලුත් ඡන්ද ක්‍රමයක් අවශ්‍යයයි කියලයි මම හිතන්නෙ.

මෙරටේ දක්ෂිණාංශික දේශපාලන කඳවුරක් නොමැති බවත් ඔවුන් සමාජවාදී කඳවුරේ තවත් එක් කණ්ඩායමක් බවත් එජාපය කියනවා. මේ ගැන ඔබ මොනවද කියන්නෙ?

දැන් එජාපය දෙකඩ වෙලා; එජාපය කාගෙද කියල තීරණය කරන තරඟයක් මතු වෙලානෙ. ටෙලිෆෝන් කාරයොත් එජාපය ඒ අයගේ කියනවානෙ. අලියා ලකුණ කණ්ඩායම කියන්නෙ එජාපය එයාලගේ උරුමය කියලනෙ. ඒ අර්බුද මොනවා වුණත් එජාප පදනමම පුද්ගල අයිතිය විශ්වාස කරන පදනමක්. ඒ අය සමාජ අයිතිය පිළිබඳ විශ්වාස කරන්නෙ නෑ. එජාපය බොහෝ කාලයක සිටම විශ්වාස කළේ individual rights ගැනයි. නමුත් සමාජවාදී කඳවුරේ ශ්‍රීලනිපයට පදනම වී තිබෙන්නෙ සාමුහික අයිතිය පිළිබඳ පදනමයි.

ඒ වගේම එජාපය 1977 න් පස්සෙ වෙළඳපොළ ගැන පමණයි විශ්වාස කළේ. නමුත් සමාජවාදි කඳවුර වෙළදපොළයි රජ්‍යයි දෙකම සැලකුවා. එජාපයේ අවසන් හමුවීම වෙළදපොල නිසා රටේ එක්තරා ජන කණ්ඩායමක් පමණයි ඉන් ප්‍රතිලාභ ලබන්නෙ. නමුත් අපේ කඳවුර වෙළඳපොළ මෙන්ම රාජ්‍යයත් එකට සලකන නිසා සමාජයේ දුගියන් වෙනුවෙනුත් රජය මැදිහත්ව විවිධ සුබසාධන කටයුතු ක්‍රියාත්මක කරනවා.එජාපය වෙළදපොල විශ්වාස කරල තමයි පෞද්ගලික රෝහල් පටන් ගත්තෙ; අධ්‍යාපනයත් පෞද්ගලික අංශයට දෙන්න උත්සහ කළේ.⁣ ඒ නිසා එජාපය සියල්ල පෞද්ගලිකකරණය කරන්න දරණ උත්සහයට එරෙහිව පොදු අයිතිය වෙනුවෙන් රාජ්‍යය යාන්ත්‍රණය ශක්තිමත් කරන්න අපි හැමදාම පෙනී ඉන්නවා. අපියි එජාපයයි අතර ලොකු වෙනසක් තිබෙනවා.

ඔබ ගොඩ නඟන තර්කය අනුව ජේ.අර්.ජයවර්ධන මහතාට අයත් නිවස ජනතා අයිතියට පැවරීමත් බණ්ඩාරනායක පවුලේ රොස්මීඩ් වලව්ව හෝටලක් වීමත් ඔබ දකින්නෙ කොහොමද?

ඔබ ඔය කියන විදියට ජේ.ආර්.මැතිතුමා කොතලාවල මැතිතුමා වගේ අය ඒ අය ගේ නිවාස ජනතා අයිතියට පවරපු එක ඇත්ත. එහෙම නම් අද ශ්‍රීපාලි විශ්වවිද්‍යාලය පවත්වා ගෙන යන ගොඩනැගිල්ල කාගේද? ඒ වගේම ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම තමන් ගේ ආණ්ඩුවම ගෙනල්ලා බණ්ඩාරනායක පවුලට අයත් විශාල ඉඩම් ප්‍රමාණයක් රජයට දුන්නා. මේ විදියට රටේ ජනතාවට දැනෙන යමක් කරල තියෙන්නෙම සමාජවාදි කඳවුර පමණයි කියල ඕනෑම කෙනෙකුට තේරෙනවා. අපේ රටේ ව්‍යවස්ථා, ආර්ථික, සමාජ අර්බුද රැසක් නිර්මාණය කරල තිබෙන්නෙ එජාපයයි. එවැනි බරපතළ අර්බුද නිර්මාණය කරල තමන් ගෙ නිවස රජයට දුන්නා කියල අර සියලු අර්බුද නිමා වෙන්නෙ නෑනෙ.

අධිකරණය මැතිවරණ පෙත්සම් සමබන්ධයෙන් දුන්නු තීන්දුව හා සමඟි ජන බලවේගයේ නාම යෝජනා සම්බන්ධයෙන් දුන් තීන්දුව පිළිබඳව ඔබේ මතය කුමක්ද?

අපි අධිකරණයට වාගේම අධිකරණයේ ස්වාධීනත්වයට ගරු කරනවා. මැතිවරණ පෙත්සම් විභාග කරන්න පෙරම අධිකරණය මැතිවරණ කොමිසමට දැනුම් දුන්නෙ අධිකරණය මේ පෙත්සම් සම්බන්ධයෙන් තීරණයක් ගන්නා තුරු මැතිවරණ කටයුතු දිගටම කර ගෙන යන්න කියලයි. නමුත් මැතිවරණ කොමිසම ඒ අධිකරණ උපදෙස් ක්‍රියාත්මක කළේ නෑ. ඒ වගේම මැතිවරණ කොමිසම නියෝජනය කරන සමාජිකයන් ගේ පක්ෂග්‍රාහී හැසිරීම් නිසා කොමිසමේ ස්වාධීනත්වය පිළිබඳවත් බරපතළ සැක මතුව තිබෙනවා. මැතිවරණ කොමිසම මැතිවරණය පවත්වන්න දැක්වූ උනන්දුව හොඳින් විශ්ලේෂණය කර බැලීමේදී අපිට දැනෙන කාරණයක් තමයි මේ ස්වාධීන මැතිවරණ කොමිසම එක් පාර්ශ්වයකට පක්ෂපාතීව කටයුතු කරනවා කියන එක. මේ තත්ත්වය කොමිසමේ ස්වාධීනත්වයට ගැළපෙන්නෙ නෑ. අපි ප්‍රජාතන්ත්‍රවාදී නිසා කොමිසමේ මේ වැඩ කැතයි කියල විතරක් කියල ඒ අය කරන දේ පිළිබදව අපි විමසිලිමත්ව බලා ගෙන ඉන්නවා. අනෙක් කාරණය තමයි සමඟි ජන බලවේගය සම්බන්ධයෙන් අධිකරණය දුන් තීන්දුව අනුව ඒ පක්ෂය වෙනම පක්ෂයක් ලෙස පිළිගෙන තිබෙනවා. දැන් ඒ අයට තියෙන්නෙ ඔවුන් ඔවුන් ⁣ගේ අනන්‍යතාව පිළිගෙන කටයුතු කර ගෙනයෑමයි. නමුත් සමඟි ජන බලවේගයට ඒ ආත්ම විශ්වාසය නෑ. ඒ නිසා ඔවුන් තවමත් තමන් එජාපයේ අය කියල එජාපය තමන්ගේ යටතට ගන්න හදනවා. අපිට ශ්‍රීලනිපය නැති වුණාම අපි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හදා ගෙන අපි අපිටම ආවේණික අනන්‍යතාවක් හදා ගත්තා. අපි කවදාවත් ශ්‍රීලනිපය අපේ කර ගන්න උත්සාහ කරන්නෙ නෑ. මේ වෙන කොට අපේ අලුත් දේශපාලනයට රටේම බහුතර ජනතාව ආශිර්වාද කරල ඔවුන් අපිත් එක්ක ඉන්නවා.

කොරෝනා වසංගතය නිසා යම් පාලනයකට යටත්ව තිබු දේශපාලන අරගල දැන් නැවත මතුව තිබෙනවා. මේ අරගල ඔබ දකින්නෙ කොහොමද ?

අපි ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන නිසා එකිනෙකාට විවිධ අදහස් දරන්න නිදහස තියෙනවා. ඒ වාගේම තම තමන් දරන මතය වෙනුවෙන් විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කරන්නත් පුළුවන්. මමත් මෙරටේ දේශපාලන ධාරාව තුළ විවිධ තනතුරු දරමින් කටයුතු කර ගෙන යනවා. රාජ්‍ය සේවයෙන් අද වෙන කොට මම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුව නියෝජනය කරන්නකුව සිටිනවා. 2015 දිත් මම ශ්‍රීලනිප ජාතික ලැයිස්තුවේ හිටියා.

එදා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර මැතිවරණය පරාජිත අපේක්ෂකයන්ට ලබා දීම නිසා එදා අපිට අවස්ථාව අහිමි වුණා. අපිට ඕනෑම දේශපාලන මතවාදයක් දරන්න නිදහස තිබුණත් ඒ හා සම්බන්ධ කටයුතු සිද්ධ විය යුත්තේ රටේ ඒ ඒ වෙලාවට පවතින නීතිරීති අනුවයි. පෙරටුගාමී පක්ෂය ඉකුත්දා සිදු කළ විරෝධතාව සමඟ රටේ පවතින නීති උල්ලංඝණය වුණා නම් ඒක හොඳ තත්ත්වයක් නොවෙයි.

අපේ රටේ බොහෝ අරගල, උද්ඝෝෂණවලදී ඔවුන්ට යාමට ඇති උපරිම දුර ගිහිල්ල අන්තිමේ බැරියර් එකට ගහනවා. ඒ ගහන එකට ලැබෙන ප්‍රතිචාරය මොවුන් මාර්කට් කරනවා. විශ්වවිද්‍යාල සිසුන් ගේ බොහෝ අරගලවලදි වෙන්නෙ මේකයි. දේශපාලන අරගල උද්ඝෝෂණ තිබෙන්න ඕන. ඒවා සම්මත නීති රාමුව ඇතුළෙ සිදු වෙන්න ඕන. උද්ඝෝෂණය සමඟ රටේ නීතියට අභියෝග කරන්න ඊට අදාළ අංශ ඉඩ දෙන්නෙ නෑ.

උගතුන් බුද්ධිමතුන් පාර්ලිමේන්තුව නියෝජනය කිරීමෙන් මේ තිබෙන දේශපාලන සංස්කෘතිය වෙනස් වෙයිද?

පාර්ලිමේන්තුව කියන්නේ මෙරටේ ව්‍යවස්ථාසායකය. එතැනට විවිධ පැති නියෝජනය කරන පිරිසක් අවශ්‍යයයි. උගත් බුද්ධිමතුන් විතරක් පාර්ලිමේන්තුවට යන්න ඕන කියන මතය නිවැරදි නෑ කියලයි මම හිතන්නෙ. හිටපු 225 තුළ ඉතා හොඳ අය ඉන්නවා. රට බේරා ගත්තු නායකයෝ ඉන්නෙත් ඔය 225 තුළමයි. ඇත්තටම අවශ්‍ය වන්නේ උගතුන් වගේම ප්‍රායෝගික දේශපාලනඥයන් කිව්වොත් ඒක නිවැරදියි. මෙවර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණයට සැම දිස්ත්‍රික්කයකින්ම ඉදිරිපත් කරල ඉන්නෙ ඒ වැනි අයයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවත් මෙතෙක් මෙරටට දේශපාලන පක්ෂයක් ඉදිරිපත් කළ හොඳම ලැයිස්තුව කියලත් ප්‍රසාදයක් තිබෙනවා.

ජනාධිපතිවරයා ගේ තීරණයක් නිසා මෙවර මැතිවරණයට සංස්ථා, මණ්ඩලයවල දේශපාලන පත්වීම් ලැබු කිසිවකුටවත් ක්‍රියාකාරීව මැතිවරණයට සම්බන්ධ වෙන්න බැරි වෙනවා. මේ ගැන ඔබ මොනවද කියන්නෙ?

අපේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අලුත් පක්ෂයයක්. අපි නිතරම අලුත් තීරණ අත්හදා බලමින් ඉදිරියට ගමන් කරනවා. ඔබ දන්නවා පසුගිය ජනාධිපතිවරණයට මුළු රාජ්‍ය යාන්ත්‍රණයම දේශපාලනයට යොදා ගන්න එවකට රජය කටයුතු කළා. ඒ ගැන අපිට කලකිරීමක් විවේචනයක් තිබුණා. ඉතින් අපිත් ඒ වරදම කරනවා නම් අපි අතර තිබෙන වෙනස මොකක්ද? අපි රාජ්‍ය යාන්ත්‍රණය වෙනම ගෙනියනවා. දේශපාලනය වෙනම කරනවා.

ඉස්සර කැබිනට් එක වැඩියි කියල කියපු අය කැබිනට් එක 15කට අඩු කළාම ඒක හොඳයි කියල කවුරුත් කියන්නෙ නෑ. කොරෝනා වසංගතය ඉතාම හොඳින් පාලනය කරන්න ජනාධිපති අගමැති ඇතුළු අපේ ආණ්ඩුවට පුළුවන් වුණා. බැසිල් රාජපක්ෂ මහතා අලුත් දේශපාලන පක්ෂයක් හදල රටේ දේශපාලන ක්‍රියාදාමයම කණපිට පෙරලුවා.

ඒ වගේම කොරෝනා සමයේ අත්‍යාවශ්‍ය සේවා කළමනාකරණය කරමින් ඔහු කළ මෙහෙවර වෙන කිසිවකුටවත් කරන්න බෑ. ඒ වැනි හොඳ සමාජ හිතකාමී වෙනස්කම් ඇති කරමින් ඉදිරියට යන්න රටේ බහුතර ජනතාව කැමැත්තෙන් ඉන්නෙ.

 



from silumina

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();