Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජාත්‍යන්තර සිංහ සමාජ දිස්ත්‍රික් 306 A1 වෙතින් දකුණට ප්‍රජා සේවා රැසක්

ජාත්‍යන්තර සිංහ සමාජ දිස්ත්‍රික් 306 A1 දිවයිනේ දකුණු වෙරළබඩ කලාපයේ ප්‍රජා සේවා රැසක් දියත් කරයි. මේ යටතේ පසුගිය දා සෙල්ලකතරගම සහ බේරුවල ප්‍රදේශවල අති සාර්ථක අන්දමින් ප්‍රජා සේවා කඳවුරු දෙකක් පැවැත්වීමට ජාත්‍යන්තර සිංහ සමාජ දිස්ත්‍රික් 306 A1 සමත් විය.

සෙල්ලකතරගම මහා විද්‍යාලයේ දී සහ බේරුවල මාලේවන ශ්‍රී ඥානේස්සර විහාරයේ දී පැවැති මේ ප්‍රජා සේවා කඳවුරුවල දී 5000කට අධික පිරිසකට සේවා සැපයීමට හැකියාව ලැබී තිබේ. මෙහි දී විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍යවරුන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැති වෛද්‍ය සායනය මඟින් දියවැඩියා පරීක්ෂාව සහ විවිධ රෝගාබාධ සඳහා ප්‍රතිකාර, ඖෂධ මෙන්ම සෞඛ්‍ය උපදෙස් ද සපයනු ලැබිණ. විශේෂයෙන්ම ගැබිනි මවුවරුන් සහ වැඩිහිටි ප්‍රජාව සඳහා සුවිශේෂී සහන රැසක් ද මීට සමගාමීව පිරිනැමිණ.

තවද පාසල් දරුවන් සහ තරුණ තරුණියන් සඳහා ද සේවා රැසක් සැලසීමට කටයුතු යෙදා තිබුණි. ඒ අතර කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨය විසින් මෙහෙය වූ පෞරුෂ වර්ධන වැඩසටහන්, වෘත්තීය පුහුණු වැඩසටහන් ආදිය ප්‍රමුඛ වෙයි. මේ වැඩසටහන්වල දී වෘත්තිය පුහුණුව ලත් 100 දෙනකු වෙත සහතික පිරිනැමීම ද සිංහ සමාජ සත්කාරයේ දී සිදු කෙරිණ. මීට අමතරව රොබෝ තාක්ෂණ වැඩමුළුවක් ද පැවැති අතර, දරුවන් 50කට අධික පිරිසක් රොබෝ තාක්ෂණය පිළිබඳ මෙහි දී අත්දැකීම් ලබා ගැනීමට සමත් විය. ජාත්‍යන්තර සිංහ සමාජ දිස්ත්‍රික් 306 A1 සිංහාධිපති ශ්‍රී ලාල් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් මේ ප්‍රජා සේවා ක්‍රියාත්මක කෙරිණ.

මේ පිළිබඳ අදහස් දැක්වූ සිංහාධිපති ශ්‍රී ලාල් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ ජාත්‍යන්තර සිංහ සමාජය විසින් හඳුනාගෙන ඇති ක්ෂේත්‍ර 7 ක ජාත්‍යන්තර ප්‍රබල ගැටලුවලට පිළියම් යෙදීම සඳහා මේ ප්‍රජා සේවා මෙහෙයවන බවයි. දියවැඩියාව, දෘෂ්ඨිආබාධ, අහාර, පරිසරය, ළමා පිළිකා සහ තාරුණ්‍යය මෙන්ම මානුෂීය සේවා සහ ආපදා සහන ආදී එම ක්ෂේත්‍ර ඉලක්ක කර ගනිමින් විවිධ වැඩසටහන් ජාත්‍යන්තර සිංහ සමාජ දිස්ත්‍රික් 306 A1 විසින් සංවිධාන කරන බවයි.

විශේෂයෙන් ළමා වියේ ඇති වන පිළිකා නිසා බොහෝ දරුවන්ගේ ජීවිත අහිමි වන්නේ ඒ පිළිබඳ නිසි දැනුවත් භාවයක් නොමැතිකමින් සහ ඒ සඳහා ප්‍රතිකාර කිරීමට තරම් ප්‍රමාණවත් සම්පත් නොමැතිකමින් බව පෙන්වා දුන් ශ්‍රී ලාල් ප්‍රනාන්දු මහතා අවධාරණය කළේ එම ගැටලුව සමනය කිරීම සඳහා ජාත්‍යන්තර සිංහ සමාජය මූලිකවී විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරන බවයි. මෙරට ඇසේ සුද මතුවීමේ රෝගීන් වසරකට 20,000ක් පමණ හඳුනා ගන්නා බව ඒ මහතා සඳහන් කළේය. ඒ අනුව දෘෂ්ඨිආබාධ අතරින් මෙරට බහුල වශයෙන්ම ව්‍යාප්තව පවතින දෘෂ්ඨි අබාධය ලෙස එම රෝගය හඳුනාගත හැකි බව පෙන්වා දුන්නේය.

සෙල්ලකතරගම සහ බේරුවල පැවැති ප්‍රජා සේවාවන් වලදී තාරුණ්‍යය වෙනුවෙන් පෞරුෂ වර්ධන වැඩසටහන් සහ වෘත්තීය පුහුණු වැඩසටහන් පැවති බව අවධාරණය කළ සිංහාධිපති ශ්‍රී ලාල් ප්‍රනාන්දු මහතා පෙන්වා දුන්නේ ඒ ඔස්සේ රටේ සංවර්ධනය සඳහා තාරුණ්‍යය සවිබල ගැන්වීමට අපේක්ෂා කරන බවයි. ප්‍රජා සේවා සඳහා සහාය දැක්වූ අනුග්‍රාහක ආයතන වෙත සිය ස්තුතිය පළ කළ ශ්‍රීලාල් ප්‍රනාන්දු මහතා කියා සිටියේ සිංහ ප්‍රජා සේවා සදහා අරමුදල් රැස් කිරීම සඳහා සිංහ චාරිකා නමින් රිය පෙරහරක් ද පැවැත්වූ බවයි. එම රිය පෙරහර කතරගම සිට කොළඹ දක්වා ගමන් කළ අතර, ඊට රථවාහන සියයකට අධික ප්‍රමාණයක් එක් විය..

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();