Ticker

6/recent/ticker-posts

Header Ads Widget

2015 ජන­ප­ති­ව­ර­ණයේ රාජ­පක්ෂ ආණ්ඩුව ‘රාජ්‍ය මාධ්‍ය උලා කෑ හැටි’

‘පබා’ ටෙලිනාට්‍යයේ රඟ පෑ නිළියගෙන් පවා පළිගනිමින්, අත්තනෝමතික ලෙසත් අනීතික ලෙසත් 2010 ජනාධිපතිවරණයේ දී සහ මහ මැතිවරණයේ දී රාජපක්ෂ ආණ්ඩුව රාජ්‍ය මාධ්‍ය හා රාජ්‍ය මාධ්‍ය සතු සම්පත් අවභාවිත කළ ආකාරය පිළිබඳ අපි පසුගිය සිකුරාදා (25) ‘ඇත්ත පැත්ත’ පිටුවෙන් කතා කළා.

අද අපේ අවධානය යොමු වන්නේ ‘ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම’ සනිටුහන් කරමින් සම්මත වූ 18වැනි ව්‍යවස්ථා සංශෝධනය සමඟ තෙවැනි වරටත් මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට තරග කළ 2015 ජනවාරි 08 වැනිදාට යෙදී තිබූ ජනාධිපතිවරණයේ දී රාජ්‍ය මාධ්‍ය හා රාජ්‍ය මාධ්‍ය සතු සම්පත් අවභාවිත කළ ආකාරය ගැන විමසීමක් කිරීමටයි.

2010 පැවැති ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ මහින්ද රාජපක්ෂ මහතාට 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව තව වරක් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ඉඩක් ලබා දුන්නේ නැහැ. ඒ ශ්‍රී ලංකාවේද ඇතුළු ලෝකයේ අති බහුතරයක් ‘ප්‍රජාතන්ත්‍රවාදී’ රාජ්‍ය ඕනෑම ජනාධිපතිවරයකුට ජනාධිපති ධුරය දැරිය හැකි වාර ගණන 02කට සීමා කිරීම සම්ප්‍රදායක් බවට පත් කර ගෙන තිබූ නිසයි. මේ සීමා කිරීම නිසා විධායක ජනාධිපති ක්‍රමය වඩාත් ප්‍රශස්ත ආකාරයෙන් ක්‍රියාත්මක වන අමෙරිකා එක්සත් ජනපදයේ වඩාත් කීර්තිමත් (බරක් ඔබාමා වැනි) ජනාධිපතිවරුන් තම දෙවැනි ධුර කාලයෙන් පසු ‘ගෞරවණීය’ ආකාරයෙන් දේශපාලනයෙන් සමුගත්තා. ශ්‍රී ලංකාවේ වුවත් එවකට (1995-2005) කීර්තිමත් ජනපතිවරියක් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පමණක් නොවන 6/5ක පාර්ලිමේන්තු බලයක් තිබූ, විධායක ජනාධිපති ක්‍රමයේ පීතෘ වූ ජේ. ආර්. ජයවර්ධන (1978-1988) පවා ‘වාර දෙකේ’ සීමාවට ගරු කරමින් දේශපාලනයෙන් විශ්‍රම ගත්තා.

එහෙත් 2005 දී වැඩි ඡන්ද 185,000කින් පමණ ජයගෙන පසුව, 2010 ජනපතිවරණයෙන් ද ජයගෙන විවිධාකාරයෙන් බලය අත්පත් කරගත් මහින්ද රාජපක්ෂ මහතා ‘යාවජීව’ ජනපතිවරයකුවීම සඳහා කුප්‍රකට 18වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගනිමින් ‘ජනතාවගේ කැමැත්ත තිබෙන තාක් කල්’ ජනාධිපති ධුරය දැරිය හැකි ආකාරයට ව්‍යවස්ථා සංශෝධනය කර ගත්තා. ඒ අනුව ජනපති මහින්ද රාජපක්ෂ මහතා 2014 නොවැම්බර් 19 වැනිදා ‘තවත් ධුර කාලයක් සඳහා තේරී පත්වීමට ඇති තමන්ගේ කැමැත්ත ප්‍රකාශ කිරීමෙන් පසු මැතිවරණ කොමසාරිස්වරයා 2014 නොවැම්බර් 20 වැනි දින අංක 1889/31 දරන අති විශේෂ ගැසට් පත්‍රය මගින් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළා. ඒ අනුව 2015 ජනවාරි 08 වැනි දින ජනාධිපතිවරණ ඡන්ද විමසීමට දින නියම වුණා.

මේ ඡන්ද විමසීම සඳහා ඡන්ද දායකයන් 15, 044, 490 දෙනකු ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා සිටි අතර, අපේක්ෂකයන් 19 දෙනකු ඉදිරිපත් වුණා. ඒ අතර එවකට ජනාධිපති ධුරයේ සිටි මහින්ද රාජපක්ෂ මහතා සහ ශ්‍රීලනිප මහ ලේකම්වරයාව සිටි සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන එජාපයේ, ජවිපෙ ඇතුළු විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වුණා.

 

රාජ්‍ය මාධ්‍ය අපයෝජනය

අපි පසුගිය සතියේ සාකච්ඡා කළ ආකාරයට මේ ලිපිය මගින් සම්පූර්ණ අවධානය යොමු කරන්නේ 2015 ජනාධිපතිවරණ සමයේ ‘රාජ්‍ය මාධ්‍ය’ භාවිතය සම්බන්ධයෙන් පමණයි. පොදු දේපොළ අවභාවිතය ඇතුළු අනෙක් මැතිවරණ දූෂණ ගැන වෙනත් ලිපි පෙළකින් සාකච්ඡා කරනවා.

‘ජනාධිපතිවරයාගේ (එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉදිරිපත් වූ මහින්ද රාජපක්ෂ මහතාගේ) මැතිවරණ ව්‍යපාරය සඳහා රාජ්‍ය මාධ්‍ය ඉතාම ඉහළ මට්ටමකින් උපයෝගී කොට ගැනෙමින් තිබෙන අතර, මෙය විපක්ෂය සඳහා ලැබෙන මාධ්‍ය ආවරණය අබිබවා ගිය ප්‍රචාරණයකි’

මේ නිරීක්ෂණය ඉදිරිපත් කරන්නේ මෙරට මැතිවරණ නිරීක්ෂණයේ යෙදන ප්‍රමුඛතම ආයතන වන ‘පැෆරල්’ සංවිධානය විසින් 2014 දෙසැම්බර් 18 වැනි දින නිකුත් කළ නිවේදනයක් මගිනුයි.

‘විශේෂිත නිරීක්ෂණ’ නමින් ප්‍රධාන මාතෘකා 07ක් යටතේ නිකුත් කළ එම මධ්‍ය නිවේදනයේ 06වැනි මාතෘකාව වෙන්ව ඇත්තේ ‘එක්සත් ජනතා නිදහස් සන්ධාන මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා රාජ්‍ය මාධ්‍ය පූර්ණ වශයෙන් උපයෝගී කොට ගැනීම’ යන ශීර්ෂ පාඨය යටතේයි.

මෙහි දී පැෆරල් සංවිධානය ඉතාම ඍජුව ඉදිරිපත් කරන නිරීක්ෂණ වන්නේ ‘ජනාධිපතිවරයාගේ (එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉදිරිපත් වූ මහින්ද රාජපක්ෂ මහතාගේ) මැතිවරණ ව්‍යපාරය සඳහා රාජ්‍ය මාධ්‍ය ඉතාම ඉහළ මට්ටමකින් උපයෝගී කොට ගැනෙමින් තිබෙන අතර, මෙය විපක්ෂය සඳහා ලැබෙන මාධ්‍ය ආවරණය අබිබවා ගිය ප්‍රචාරණයක්’ බවයි.

අද රාජ්‍ය මාධ්‍යවල ස්වාධීනත්වය ගැන, රාජ්‍ය මාධ්‍ය තමන්ට අවකාශය ලබා නොදීම ගැන මැසිවිලි නඟන, මැතිවරණ කොමිසමට පැමිණිලි කරන එවකට ආණ්ඩු බලය දැරූ, මේ මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය දරන මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ කණ්ඩායම 2010 දී මෙන්ම 2015 දී ද තමන් බලයේ සිටිය දී රාජ්‍ය මාධ්‍ය අතිශය ගැති ලෙසත්, අත්තනෝමතික ලෙසත්, පාක්ෂික ලෙසත් තම ප්‍රචාරක ව්‍යාපාරය සඳහා උපයෝගී කොට ගෙන ඇති ආකාරය ඉහත පැෆරල් නිරීක්ෂණ මගින් මනාව තහවුරු වෙනවා.

 

පොදු දේපොළ සුරැකීමේ

වැඩසටහනේ නිරීක්ෂණ

මාධ්‍ය අවකාශය වෙන් කිරීම

අප පසුගිය සතියේ ද සාකච්ඡා කළ ආකාරයට, ශ්‍රී ලංකා ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය විසින් නායකත්වය දුන් ‘පොදු දේපොළ අයථා පරිහරණය නිරීක්ෂණ වැඩසටහන’ විසින් එම නිරීක්ෂණ ඇතුළත් සිය වාර්තාව ELECTORAL INTEGRITY A Review of the Abuse of State Resources and Selected Integrity Issues during 2015 Presidential Election in Sri Lanka නමින් ප්‍රකාශයට පත් කළා. එම වාර්තා වේ 54 වැනි පිටුවේ සිට ඉදිරියට A STUDY ON THE BEHAVIOR OF STATE MEDIA DURING THE 2015 PRESIDENTIAL ELECTION රාජ්‍ය මාධ්‍ය පිළිබඳ ඔවුන්ගේ නිරීක්ෂණ ඇතුළත් වෙනවා. (මේ ගැන උන්නදුවක් දක්වන අය, විශේෂයෙන් වත්මන් විපක්ෂය මේ නිල වාර්තාව පරිශීලනය කළ යුතුයි)

මෙහිදී අපගේ මූලික නිරීක්ෂණය යොමු වන්නේ 2015 ජනාධිපතිවරණ සමයේ රාජ්‍ය මාධ්‍ය රූපවාහිනි (ස්වාධීන රූපවාහිනිය, ජාතික රූපවාහිනිය, අයි නාලිකාව සහ වසන්තම් (දමිළ) නාලිකා, ගුවන් විදුලි (සිටි එෆ්. එම්, ලක්හඬ, වසන්තම්) පුවත්පත් (දිනමිණ/ සිළුමිණ,ඩේලි නිවුස්, සන්ඩේ ඔබ්සවර්, තිනකරන්/ වාරමංජරී) රාජ්‍ය මාධ්‍ය නාලිකා 13 වෙතයි.

අද වත්මන් විපක්ෂය නඟන ප්‍රමුඛ චෝදනාව වන්නේ අදාළ රාජ්‍ය මාධ්‍ය තුළ තමන්ට ප්‍රමාණවත් අවකාශයක් නොලැබෙන බවයි. මේ සම්බන්ධයෙන් ඔවුන්ට 2010 මැතිවරණය ඇසුරින් පිළිතුරු දුන්නා සේම 2015 ජනාධිපතිවරණය ඇසුරින් ද පිළිතුරු ලබාදිය හැකියි.

ඉහත සඳහන් කළ වාර්තාව (පිටුව 66) අදාළ කාලය තුළ රාජ්‍ය මාධ්‍ය ඒ ඒ අපේක්ෂකයන්ට ලබා දුන් වේලාව (විද්යුත් මාධ්‍ය) සහ ප්‍රමාණය (මුද්‍රිත) පිළිබඳ සිය අවධානය යොමු කර තිබෙනවා.

වගු අංක 01: ජනාධිපතිවරණ කාල සීමාව තුළ ඒ ඒ අපේක්ෂකයන් වෙනුවෙන් රාජ්‍ය විද්යුත් මාධ්‍යවල ගුවන් කාලය සහ පුවත්පත්වල ප්‍රමාණය වෙන්කර ඇති ආකාරය. Total time or space of News Line up in State Electronic and Print Media during the election period ප්‍රවෘත්ති වාර්තා පෙළ ගැස්වීම.

විද්යුත් මාධ්‍ය හා පුවත්පත්වල ප්‍රවෘත්ති පෙළ ගස්වා ඇති ආකාරය ද, කියවන්නාට (Reader) වැදගත් වෙනවා.

සාමාන්‍යයෙන් එදිනෙදා ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමේ දී විද්යුත් මාධ්‍ය සිය ප්‍රවෘත්ති ප්‍රකාශනවල ප්‍රථමයෙන් පෙළ ගැස්ම සකසන්නේ ප්‍රවෘත්තිවල වැදගත්කම සැලකිල්ලට ගැනීමෙනි. අදාළ කාලය තුළ පර්යේෂණ සඳහා සලකා බැලු විද්යුත් හා මුද්‍රිත මාධ්‍ය නාලිකාවල ප්‍රවෘත්ති වාර්තා පෙළ ගැස්වීමේ දී එක් එක් අපේක්‍ෂකයා වෙනුවෙන් කාලය/ඉඩ බෙදී ගොස් ඇති ආකාරය ප්‍රතිශතාත්මකව වගුව මගින් දක්වා තිබෙනවා.

මේ අනුව රාජ්‍ය ගුවන් විදුලිවල මේ නිරූපණය සලකා බලද්දී පැහැදිලි වන්නේ මේ කාලය තුළ රාජ්‍ය ගුවන් විදුලි ප්‍රවෘත්ති ප්‍රකාශය වෙනුවෙන් සම්පූර්ණයෙන්ම විනාඩි 1654 තත්. 56 වෙන් කර තිබූ අතර, ජනාධිපතිවරණයට අදාළ ප්‍රවෘත්ති සඳහා ඉන් විනාඩි 1314 තත්. 13ක් (79%)ක්ම ලබා දී තිබූ බවයි.

එයින් මහින්ද රාජපක්ෂ (MR) වෙනුවෙන් විනාඩි 893 තත්. 31 එනම් (68%) වෙන්කර තිබුණි. මෛත්‍රීපාල සිරිසේන (MS) වෙනුවෙන් විනාඩි 276 තත්. 04 එනම් (21%) වෙන්කර තිබුණි. සෙසු අපේක්ෂකයන් සඳහා රාජ්‍ය ගුවන් විදුලි මේ කාලය තුළ කිසිදු ඉඩක් වෙන් කර නොතිබුණි.

මේ වගුව නිරීක්ෂණය කිරීමේදි පැහැදිලි වන තවත් කාරණයක් වන්නේ ITN ආයතනයේ රාජ්‍ය ගුවන් විදුලි නාලිකා දෙක අතර (ලක්හඬ හා වසන්තම්) ජනාධිපතිවරණයට අදාළ ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමේ දී කැපී පෙනෙන වෙනසක් පැවැති බවයි. සිංහල මාධ්‍ය ලක්හඬ රාජ්‍ය ගුවන් විදුලිය ජනාධිපතිවරණයට අදාළ ප්‍රවෘත්ති සඳහා විනාඩි 861 තත්. 57ක් (87%) වෙන් කරද්දී දමිළ භාෂා මාධ්‍ය වසන්තම් නාලිකාව වෙන් කර ඇත්තේ විනාඩි 197 තත්. 16 (61%)ක් පමණි. කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ (MR) වෙනුවෙන් කාලය වෙන් කරද්දී මේ වෙනස පැහැදලි නොවේ. ලක්හඬ නාලිකාව මහින්ද රාජපක්ෂ (MR) වෙනුවෙන් (67%)ක් වෙන් කරද්දී වසන්තම් 69% ක් වෙන් වී තිබුණි. එහෙත් මෛත්‍රීපාල සිරිසේන (MS) වෙනුවෙන් කාලය වෙන් කරද්දී ලක්හඬ නාලිකාව ජනාධිපතිවරණයට අදාළ ප්‍රවෘත්තිවලින් 23%ක් වෙන් කර තිබූ අතර, වසන්තම් නාලිකාව වෙන් කර තිබුණේ 7%ක් පමණි.

මේ අධ්‍යයනයේ දී නිරීක්ෂණය කළ රාජ්‍ය රූපවාහිනි නාලිකා (ITN, Rupavahini, Channel Eye, Wasantham) සිය ප්‍රවෘත්ති ප්‍රකාශය වෙනුවෙන් වෙන් කර තිබූ සමස්ත කාලය විනාඩි 2462 තත්. 3ක් වන අතර, එයින් මැතිවරණයට අදාළ ප්‍රවෘත්ති සඳහා විනාඩි 2464 තත්. 10 (83%)ක් වෙන් කර තිබුණි. එයින් මහින්ද රාජපක්ෂ සඳහා ප්‍රවෘත්ති ප්‍රකාශන කාලයෙන් විනාඩි 2047 තත්. 26ක් (59%)ක් වෙන් තිබූ අතර, මෛත්‍රීපාල සිරිසේන වෙනුවෙන් විනාඩි 632 තත්. 32 (31%) ක් වෙන් කර තිබුණි. සෙසු අපේක්ෂකයන් සඳහා මේ රූපවාහිනී නාලිකා සිය ප්‍රවෘත්ති ප්‍රකාශන කාලයෙන් කිසිදු ඉඩක් වෙන් කර නොතිබුණි.

මේ වගුව නිරීක්ෂණය කිරීමේ දී සිංහල මාධ්‍ය රූපවාහිනී නාලිකා දෙකේම මැතිවරණයට අදාළ ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමේ දී කැපී පෙනෙන වෙනසක් නොමැති බව දක්නට තිබේ. එහෙත් ඉංග්‍රීසි මාධ්‍ය රූපවාහිනි නාලිකා දෙකේම මැතිවරණයට අදාළ ප්‍රවෘත්ති විකාශන කාලයෙන් 60%ක් මහින්ද රාජපක්ෂ (MR) වෙනුවෙන් වෙන් කරද්දී මෛත්‍රීපාල සිරිසේන (MS) වෙනුවෙන් 24%ක් කාලයක් පමණක් වෙන් කර තිබුණි. එමෙන්ම දමිල රූපවාහිනි නාලිකාව මැතිවරණයට අදාළ ප්‍රවෘත්ති විකාශන කාලයෙන් මහින්ද රාජපක්ෂ (MR) සඳහා 79%ක් වෙන් කර තිබූ අතර, මෛත්‍රීපාල සිරිසේන (MS) වෙනුවෙන් වෙන්ව තිබුණේ 11%ක් කාලයක් පමණකි.

රාජ්‍ය පුවත්පත්වල මේ නිරූපණය සලකා බලද්දී පැහැදිලි වන්නේ මේ කාලය තුළ සමස්ත ඉඩකඩ සම්පූර්ණයෙන්ම 201367.02 cm2 වෙන් කර තිබූ අතර, ජනාධිපතිවරණයට අදාළ ප්‍රවෘත්ති සඳහා ඉන් 159528.94 cm2 (79%)ක්ම වෙන්කර තිබුණි. එයින් මහින්ද රාජපක්ෂ (MR) වෙනුවෙන් 107607.25 cm2 එනම් (67%) වෙන්කර තිබු අතර මෛත්‍රිපාල සිරිසේන (MS) වෙනුවෙන් 42615.64 cm2 එනම් (28%) වෙන්කර තිබුණි. සෙසු අපේක්ෂකයන් සඳහා කිසිදු ඉඩක් වෙන් වී නොතිබුණි.

 

ශීර්ෂ පාඨ භාවිතය

ජනමාධ්‍යයකින් ඉටු විය යුතු ප්‍රබලම කාර්යය ලෙස සැලකෙන තොරතුරු සහ ප්‍රවෘත්ති ලබාදීමේ දී එම කතාවේ/පණිවිඩයේ ශිර්ෂපාඨයන්ට (headline) විශේෂ වැදගත්කමක් හිමිවේ. මේ තත්ත්වය පසුගිය 2015 ජනාධිපතිවරණයේ දී රාජ්‍ය මාධ්‍ය කෙසේ අවභාවිත කළා ද යන්න අපට ‘පොදු දේපොළ අයථා පරිහරණය නිරීක්ෂණ වැඩසටහන’ මගින් ප්‍රකාශිත වාර්තාව (පිටුව 66-67) මගින් විමසා බැලිය හැකියි.

වගු අංක 02. ELECTORAL INTEGRITY A Review of the Abuse of State Resources and Selected Integrity Issues during 2015 Presidential Election in Sri Lanka පිටුව 67

ප්‍රවෘත්තියේ අන්තර්ගතය කියවා බැලීමට, නැතහොත් එම ප්‍රවෘත්තියට සවන්දීමට පුද්ගලයකුට කුතුහලය හා ආකර්ෂණය ඇති කරනු ලබන්නේ ශීර්ෂපාඨය මඟිනි. එම නිසා කතාවේ වැදගත්කම ප්‍රකාශ කරමින් යොදන මාධ්‍ය ‘ශිර්ෂපාඨය” සන්නිවේදනයේ දී වැදගත් කාර්ය භාරයක් ඉටු කරයි. එසේම එය නිර්මාණාත්මක කාර්යයක් වශයෙන් ද සලකනු ලැබේ.

පර්යේෂණය සඳහා සලකා බැලුණු කාලය තුළ විද්යුත් හා මුද්‍රිත මාධ්‍ය ප්‍රවෘත්ති විකාශයන් තුළ “ශිර්ෂපාඨ” ඔස්සේ සිදු කරන ලද සන්නිවේදනයේ ස්වරූපයන් එම ශීර්ෂපාඨ ඉඩකඩ ජනාධිපති අපේක්ෂකයන් අතර ගොස් ඇති ආකාරය පිළිබඳත් අපගේ විශේෂ අවධානයක් යොමු විය.

අදාළ කාලය තුළ සලකා බැලුණු මුද්‍රිත මාධ්‍ය මුල්පිට ප්‍රවෘත්ති ශීර්ෂපාඨ හා ගුවන් විදුලි සහ රූපවාහිනි ප්‍රවෘත්ති විකාශයන් තුළ නිරීක්ෂණය වූ සමස්ත ශීර්ෂපාඨ සංඛ්‍යාව 1648කි. එයින් ශීර්ෂපාඨ 446ක් ගුවන් විදුලි මාධ්‍යයට අයත් වූ අතර 573ක් රූපවාහිනි මාධ්‍යට ද 629ක් මුද්‍රිත මාධ්‍යයට ද අයත් විය.

ගුවන් විදුලි මාධ්‍යයට අදාළව සිටි. එෆ්. එම්. ලක්හඩ හා වසන්තම් (දෙමළ) ගුවන් විදුලි නාලිකාවල ප්‍රවෘත්ති විකාශයේ අන්තර්ගත සමස්ත ශීර්ෂ පාඨ සංඛ්‍යාව 446ක් වූ අතර, එයින් ශීර්ෂ පාඨ 287ක් මැතිවරණයට අදාළ ප්‍රවෘත්ති වෙනුවෙන් වෙන් වී තිබිණි. එම ප්‍රමාණයෙන් 225ක් හෙවත් 78%ක් එවකට ජනාධිපතිවරයා වූ මහින්ද රාජපක්‍ෂ මහතා (MR) සඳහා ද ශීර්ෂ පාඨ 41 එනම් 14%ක් පොදු අපේක්ෂකයා ලෙස පෙනී සිටි මෛත්‍රීපාල සිරිසේන මහතාට ද වෙන්වී තිබුණි. සෙසු ජනාධිපති අපේක්‍ෂකයන් කිසිවකු වෙනුවෙන් කිසිදු ශීර්ෂ පාඨයක් වී නොතිබිණි.

මේ අධ්‍යයනය සඳහා නිරීක්‍ෂණය කළ රූපවාහිනි නාලිකා හතරෙහි ප්‍රවෘත්ති විකාශය තුළ සමස්ත ශිර්ෂ පාඨ සංඛ්‍යාව වූ 573න් 393ක් එනම් 69% මැතිවරණයට අදාළ ප්‍රවෘත්ති සඳහා වෙන් ව තිබුණි. ඉන් ශීර්ෂ පාඨ 270 ක් (69%) මහින්ද රාජපක්‍ෂ (MR) සඳහා වෙන් වී තිබූ අතර, මෛත්‍රීපාල සිරිසේන සඳහා (MS) වෙන්වී තිබූ ශීර්ෂ පාඨ සංඛ්‍යාව 61කි. (15%) මෙහිදී ද සෙසු ජනාධිපති අපේක්‍ෂකයන් සඳහා කිසිදු ශීර්ෂ පාඨයක් වෙන්වී නොතිබූ බව නිරීක්‍ෂණය විය.

අධ්‍යයනය සඳහා නිරීක්‍ෂණය කළ පුවත්පත්වල මුල්පිටුවේ ශීර්ෂපාඨ 629න් 491ක් (78%) ජනාධිපතිවරණයට සම්බන්ධ ශීර්ෂපාඨ බව නිරීක්‍ෂණය විය. ඒ අතරින් 341ක් හෙවත් 69% ක් මහින්ද රාජපක්‍ෂ (MR) සඳහා වෙන්වී තිබූ අතර, ශීර්ෂපාඨ ප්‍රමාණය 86ක් එනම් 18% ක් මෛත්‍රීපාල සිරිසේන (MS) සඳහා වෙන්ව තිබිණි.

සෙසු අපේක්‍ෂකයන් සඳහා මුද්‍රිත මාධ්‍යවලද ශීර්ෂපාඨ වෙන්වී නොතිබිණි. මැතිවරණ ක්‍රියාදාමය පිළිබඳ දැනුම්වත් කිරීම් ද ඇතුළුව මැතිවරණයට අදාළ සෙසු පුවත් සඳහා වෙන්වී තිබූ සමස්ත ශීර්ෂපාඨ සංඛ්‍යාව 64ක් එනම් 13% ක් බව නිරීක්‍ෂණය විය.

ශීර්ෂපාඨ ඉඩකඩ වෙන්වී තිබූ ආකාරය පිළිබඳ මේ සංඛ්‍යලේඛන තොරතුරු විශ්ලේෂණය කර බැලීමේ දී පැහැදිලි වන කරුණක් වන්නේ සිංහල පුවත්පත් පත් (දිනමිණ, සිළුමිණ) හා සසදන විට ඉංග්‍රීසි (Daly News, Sunday Observer) හා දෙමළ (තිනකරන්, වාරමන්ජරි) පුවත්පත්වල වැඩි ශීර්ෂපාඨ ප්‍රමාණයක් වෙන්කර තිබීමයි. දිනමිණ සිළුමිණ පුවත්පත්වල සෙසු පුවත් සඳහා සිරස්තල 06ක් පමණක් වෙන් වෙද්දී Daly News, Sunday Observer පුවත්පත්වල ශීර්ෂපාඨ 20ක් ද, (11%) තිනකරන් හා වාරමන්ජරි පුවත්පත්වල ශිර්ෂපාඨ 38ක් , (17%) වෙන්වී තිබුණි. තව ද දිනමිණ, සිළුමිණ පුවත්පත්වල මෛත්‍රීපාල සිරිසේන (MS) සඳහා ශීර්ෂපාඨ 06ක් පමණක් වෙන් වෙද්දී ඉංග්‍රීසි පුවත්පත්වල ශීර්ෂපාඨ 46 (26%) ක් ද, දෙමළ පුවත්පත්වල මෛත්‍රීපාල සිරිසේන (MS) සඳහා ශීර්ෂපාඨ 34ක් (16%) ක් ද, වෙන්වී ඇති බව නිරීක්‍ෂණය විය.

නිරීක්‍ෂණය කළ විද්යුත් හා මුද්‍රිත සියලු මාධ්‍ය සලකා බැලූ විට ඉංග්‍රීසි පුවත්පත්වල මෛත්‍රීපාල සිරිසේන (MS) සඳහා සාපේක්ෂව සැලකිය යුතු ඉඩක් වෙන්වී තිබූ බව ද නිරීක්ෂණය විය.

 

ඉතිරි කොටස හෙට පත්‍රයේ

 

සැකසුම

ඉන්ද්‍රජිත් හේවාවිතාරණ

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();