Ticker

6/recent/ticker-posts

Header Ads Widget

තරුණයන්ට නව දොරටු විවෘත කිරීමෙන් දියුණු රටක් ගොඩනැඟිය හැකියි

Author(s): 
උපාලි කරුණාරත්න

කොරියා වෘත්තිය පුහුණු මධ්‍යස්ථානය විවෘත කරමින් අගමැති කියයි

ජංගම දුරකතනයෙන් ලෝකයේ සියලු තොරතුරු ලබා ගතහැකි යුගයක ජීවත්වන මෙරට ජනතාව අලුතෙන් සිතමින් දියුණුව කරා පියවර තැබීමට දැඩි අදිටනින් ක්‍රියාකළ යුතු බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

අගමැතිවරයා එසේ පැවසූවේ පසුගිය 20 දින කොළඹ ඔරුගොඩවත්තේදී ජනතා අයිතියට පත්කරන ලද ශ්‍රී ලංකා - කොරියා ජාතික වෘත්තිය පුහුණු ආයතනයේ (K- TEC) පැවැති උත්සවයට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වෙමිනි. මෙම වෘත්තිය පුහුණු මධ්‍යස්ථානය ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය යටතේ ක්‍රියාත්මක වේ. K- TEC ආයතනය කොරියානු රජයේ EXIM බැංකුව යටතේ ලබාදුන් සහන ණය මතඉදිකරන ලද්දක් වන අතර ඒ සඳහා රජය විසින් රුපියල් මිලියන 2900ක ආයෝජනයක් සිදුකර ඇත. මෙම මධ්‍යස්ථානය සැලසුම් කර ඇත්තේ නවීන තාක්ෂණ ලෝකයේ භාවිත වන නවීනතම තාක්ෂණයන්ට අදාළව ජාතික වෘත්තීය සුදුසුකම් 5 හා 6 මට්ටමේ ඩිප්ලෝමා පාඨමාලා නවයක් ක්‍රියාත්මක කිරීමටය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා, ලංකාවේ නවීනතම සහ විශාලතම වෘත්තීය පුහුණු ආයතනය අප විවෘත කළා. මේ තුළින් නවීන තාක්ෂණය අපගේ තරුණ පරපුරට ලබාගත හැකියි. නවීන තාක්ෂණය යොදා ගන්නා ආකාරය පිළිබඳව මේ ආයතනය තුළින් හදාරන්න පුලුවන්. මෙම පාඨමාලාව අවසන් කර විදෙස්ගත වන්නෙ කෙසේද කියා මෙහි පාඨමාලාවන්ට ඇතුළත්වන තරුණ පිරිස් මාස දෙකකින් සිතනවා.

මෙවැනි ආයතනයක් ඇති කරන්න නායකත්වය දුන් රිෂාඩ් බදුර්දීන් ඇමැතිවරයාට මා මේ අවස්ථාවේ ප්‍රසංසා කරනවා. ඇමැතිවරයා විෂයන් ගණනාවක් සමඟ විශාල වගකීමක් මේ වන විට ඉටුකරමින් සිටිනවා. මේ සඳහා පුරෝගාමීව ක්‍රියා කළ මහින්ද සමරසිංහ මන්ත්‍රීවරයාටත් මා ස්තුතිය පුදකරනවා. වෘත්තීය පුහුණුව පිළිබඳව උනන්දුව දක්වන රාජ්‍ය ඇමැතිවරයෙක් සහ නියෝජ්‍ය ඇමැතිවරයෙක් වශයෙන් බුද්ධික පතිරණ සහ කරුණාරත්න පරණවිතාන මහත්වරුන් හැදින්විය හැකියි. අප මීට ටික වේලාවකට පෙරත් කතා කරමින් සිටියෙ වෘත්තීය පුහුණු පාඨමාලා තවත් නවීකරන කිරීම පිළිබඳව. අපේ රටේ ආර්ථිකයේ විශාල වගකීමක් මේ ඇමැතිවරුන් තිදෙනාටම තිබෙනවා.

නව ලෝකයක දොරටුව විවෘත කිරීමක් ලෙස මේ ආයතනය විවෘත කිරීමට මට ආරාධනා කිරීමේදී ප්‍රකාශ වුණා. නව ලෝකයේ දැනුම ලබා ගන්නා තරුණ කොටස් මේ රට ලෝකයේ දියුණු රටක් බවට පත් කිරීමටය ක්‍රියා කළ යුතුයි. බුද්ධික පතිරණ රාජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළා, අද අපට මධ්‍යම ආර්ථිකයක් තිබෙන බව. 2015දී අප මේ රට භාර ගන්නා අවස්ථාවේදී ආර්ථිකය තුළ විශාල ප්‍රශ්න ගණනාවක් පැවැතියා. ණයක් ගැනීමට නොහැකි තත්ත්වයක් ඇතිවී තිබුණා. ඒත් අප පැමිණ ආර්ථිකය ස්ථාවර කරමින් දියුණුව ආරම්භ කළා. ඒ නිසා අද අපට කියන්නෙ ඉහළ මධ්‍යම ආදායම් ආර්ථිකයක් තිබෙන බව. ඒ කියන්නෙ ඒක පුද්ගල ආදායම ඩොලර් හාරදහසකට වැඩි රටක්. රට ක්‍රමයෙන් දියුණු වීම පිළිබඳව අප සතුටට පත් වන්න ඕනෙ.

අපට මුහුණදීමට තිබෙන අභියෝග පිළිබඳව අවබෝධකර ගැනීම ඉතා වැදගත්. අප පියවරෙන් පියවර ඉදිරියට යා යුතුයි. ඉහළ ආදායම් ආර්ථිකයක් ඇති කළ යුතුයි. කොරියාව, ජපානය, ඉතාලිය වැනි රටවල දියුණුව කරා අප යන්න ඕනෙ. අප දියුණු ආර්ථිකයකට යන්නෙ නැත්නම් එක තැන සිරවී පල්විය හැකියි. ඊළඟ අවුරුදු දහයේදී අප ගමන් කරන්නෙ කොයි මාර්ගයේද කියා තරුණ පරපුර සිතිය යුතුයි. අපගේ කුඩා කාලයේ සහ තරුණ කාලයේ ජපානය, මැලේසියාව, සිංගප්පූරුව අප හා සමානව පැවැතියා. ඒවායේ අද තත්ත්වය කෙසේද. ඒවා අද ඉතා දියුණු රටවල් බවට පත් වී තිබෙනවා. අපත් ඉදිරියට යා යුතුයි.

අප අලුතෙන් සිතිය යුතුයි. අලුත් ආකල්ප ඇතිකර ගන්න ඕනෙ. අලුතෙන් සිතන්නෙ නැතිනම් අනාගතයක් නැහැ. පාර්ලිමේන්තුවේ 225ටම අලුතතෙන් සිතන්න බැහැ කියා ඇතැමුන් චෝදනා කරනවා. අප කුමක්ද දැන් සිදු කළ යුත්තෙ. ඉහළ ආදායම් ආර්ථිකයට යනවා නම් අප විශාල පිම්මක් පැනිය යුතුයි. කොහොමද විදේශ විනිමය ඇතිකර ගන්නෙ, ණය ගෙවීමට මුදල් හම්බකරන්නෙ කෙසේද කියා සිතිය යුතුයි. අප රටක් ලෙස විදේශ ණය අරගෙන තිබෙනවා. මෙම විදේශ ණය සම්පූර්ණයෙන් ගෙවා ණය උගුලෙන් අප බේරෙන්න ඕනෙ. දැන් ඒ සඳහා කාලය පැමිණ තිබෙනවා. ණය උගුලෙන් බේරීමට අපට තිබෙන විදේශ විනිමය දෙගුණයක් කළ යුතුයි. ඇයි අප ණය ගන්නෙ. අපේ ආනයනය අපේ අපනයට වඩා වැඩියි. අපනයනය වැඩි වුවහොත් ණය උගුලෙන් බේරිය හැකියි. මේ සඳහා අපනයන ආර්ථිකයකට යා යුතුයි. කොරියාව, ජපානය, මැලේසියාව, සිංගප්පූරුව වගේ අපනයන ආර්ථිකයකට යන්න ඕනෙ. සිංගප්පූරුව මැලේසියාවෙන් වතුර අරගන්නවා.

අපේ රටට විශාල සම්පත් තිබෙනවා. අප ලෝකය සමඟ තරඟ කරනවා නම් ඇඟලුම් කර්මාන්තයෙන් පමණක් ජීවත් වෙන්න බැහැ. අලුත් තාක්ෂණය අප ප්‍රයෝජනයට ගත යුතුයි. ඒ තුළින් නව කර්මාන්ත ආරම්භ කරන්න ඕනෙ. ඒ සඳහා නවීන වෙළඳ රටාවක් ඇති කළ යුතුයි. නවීන සේවා ආර්ථිකයක් ඇති කරන්න ඕනෙ. වර්තමානයේ ලෝකය තමන්ගෙ ගෙදරට එනවා. ජංගම දුරකතනයෙන් ලෝකයේ සියලු කරුණු ලබා ගන්න පුලුවන්. තව අවුරුදු දහයක් යන විට ජංගම දුරකතනයෙන් පාලනය කරන්න බැරි දෙයක් නැහැ. අප කුඩා කාලයේ ලෝකයේ විශාලම හෝටල් සමාගම හිල්ටන් සමාගම. අද ලෝකයේ ලොකුම හෝටල් සමාගමට කිසිම කාමරයක් නැහැ. ලෝකයේ විශාලතම කුලී රථ සමාගමට අයිති එක වාහනයක් නැහැ. ඌබර් ඊට් මගින් ආහාර ගත හැකියි. අනාගතයේ ආපන ශාලා අවශ්‍ය නැහැ. ගෙරට කෑම අද එවනවා. මෙහෙම ලෝකයකයි අප ජීවත් වන්නෙ.

අපේ රට වටා විශාල වෙළඳ පොළක් තිබෙනවා. ඉන්දියාව, බංගලාදේශය, පාකිස්ථානය, ඉන්දුනීසියාව, තායිලන්තය, මැලේසියාවෙ මිලියන දෙදාහකට වඩා සිටිනවා. අනෙක් පැත්නේ චීනය, ජපානය, කොරියාව, යුරෝපය තිබෙනවා. ජී.ඒ.පී නිසා වාසි ලැබෙනවා. නව ව්‍යාපාර සඳහා දැනුම අවශ්‍යයි. දැනුමෙන් අපට පුලුවන් ලෝක වෙළඳ පොළ ආක්‍රමණය කිරීමට. අප කෘෂි කර්මය නවීකරණය කළ යුතුයි. අප අලුතෙන් සිතමින් දියුණුව කරා ගමන් කරන්න ඕනෙ.

රට ජාතිය බේරා ගත යුතු බවට ඇතැමුන් කෑ ගසනවා. අද තිබෙන්නෙ ත්‍රස්තවාදය, ආගම ප්‍රශ්න වලට වඩා ණය ගෙවනවාද ණය බරින් ඉවත් වනවාද කියන ප්‍රශ්නය. ණය තිබුනොත් ජාතික අභිමානයක් ඇති වන්නෙ නැහැ. හැමදාම ණය අරගෙන හිඟා කන්න අපට බැහැ. අප තීරණය කළ යුතුයි ඊළඟ දශකයේදී ණය ආපසු ගෙවන බව. හිඟා කන්නෙ නැති බවට අප තීරණය කරන්න ඕනෙ. ණය කියන්නෙ රටට තිබෙන විශාලම අභියෝගයක්. අපට ජාතිය, ආගම, ත්‍රස්තවාදී ගැටලු පිළිබඳව බලන්න පුලුවන්. අප හිඟා කන්නෙ නැතිව, ණය ගන්නෙ නැතිව තිබෙන ණය ගෙවා ශක්තිමත් රටක් බවට පත්විය යුතුයි. ණය පිළිබඳව බොහෝ දෙනෙක් කතා කරන්නෙ නැහැ. අපේ ආර්ථිකය අපේ උත්සාහයෙන් ගොඩගමු.

කර්මාන්ත හා වානිජ කටයුතු දිගුකාලීනව අවතැන් වු පුද්ගලයින් නැවත පදිංචි කිරීම, සමුපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුනතා සංවර්ධන ඇමැති රිසාඩ් බදුයුදීන් මහතා- මෙම වෘත්තීය පුහුණු ආයතනය සඳහා කොරියාවේ සහයෝගය අපට හිමිවුණා. කොරියාව හා අප රට අතර ඉතා හොඳ රාජ්‍ය තාන්ත්‍රික සම්බන්දතාවයක් තිබෙනවා. තාක්ෂණික අධ්‍යාපනය අප පුළුල් කරන්න ඕනෙ. ඒ සඳහා මේ ආයතනය විශාල ශක්තියක් වනවා. අපේ රටේ වෘත්තිය පුහුණුව වැඩිදියුණු කිරීමට කොරියාව ලබාදෙන සහයෝගය පිළිබඳව අප ස්තුතිවන්ත වෙනවා. මෙම අවස්ථාවට සහභාගිවන මෙරට කොරියානු තානාපතිතුමාව සහ එක්සීම් බැංකුවේ නියෝජිත මහතා අප ඉතා සාදරයෙන් පිළිගන්නවා. මෙම කටයුත්ත සඳහා සහයෝගය ලබා දුන් හිටපු ඇමැති මහින්ද සමරසිංහ මහතාටද මා ස්තුතිය පුදකරනවා.

මේ රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමට කුසලතා ඇති පිරිස් සිටිය යුතුයි. ඒ බව අගමැතිතුමාද විවිධ අවස්ථාවන්හිදි ප්‍රකාශ කළා. එවැනි කුසලතාවයෙන් පිරි කණ්ඩායමක් නිර්මාණය කිරීම මෙම තාක්ෂණ ආයතනය තුළින් සිදුවෙනවා.

රාජ්‍ය ඇමැති බුද්ධික පතිරණ මහතා- අපගේ තරුණ පිරිසට විදෙස් තාක්ෂණ දැනුම ලබාදීමට කටයුතු කරන්න ඕනෙ. මෙම අවස්ථාවට සහභාගි වන වෘත්තීය පුහුණුව ලබා ගැනීම සඳහා පැමිණ සිටින තරුණ පිරිසෙන් වැඩි සංඛ්‍යාව ගමේ ජනතාවගේ දරුවන්. ඔවුන් තාක්ෂණ පාඨමාලාවක් හැදෑරීමට ඉදිරිපත් වන්නෙ තම අනාගතය ශක්තිමත්කර ගැනීමට. මෙම K TEC ආයතනය මේ රටේ වෘත්තීය අධ්‍යාපනයේ විශාල ඉදිරි පිම්මක් වශයෙන් හදුන්වන්න පුළුවන්. අනාගත ශ්‍රී ලංකාව සඳහා තරුණ පරපුර සූදානම් කිරිම මෙවැනි ආයතනයන්හි පරමාර්ථයයි. අපේ රටේ ජනතාවගේ මනස් සංවර්ධනය කිරීමට කටයුතු කරන්න ඕනෙ.

මෙම අවස්ථාව සඳහා කර්මාන්ත හා වානිජ කටයුතු දිගුකාලීනව අවතැන් වු පුද්ගලයින් නැවත පදිංචි කිරීම, සමුපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුනතා සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා, විදෙස් නියෝජිතයින් රජයේ නිලධාරීන්, ඉන්දියානු ව්‍යාපාරික දූත පිරිසක්, තරුණ තරුණියන් ඇතුලු විශාල සංඛ්‍යාවක් සහභාගි වූහ.

 

ඡායාරූප- හිරන්ත ගුණතිලක

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();