* මදුරුවා පදින තායි ආච්චිලා
* මළවුන් සනසන්න බීර බෝතල්
* කෝපි බොන්න නම් රුසියෝ
කිලෝ මීටර් හය සියයකට ආසන්න ඈත දුරකින් පිහිටි ගමනාන්තයක් බලා අප බැංකොක් නුවරින් පිටත්වන විට හිරු නැගෙනහිර අහසේ මඳ සිනා පාමින් තිබිණි. පිපත් වාහනයේ වේගය වැඩි කරන හැම මොහොතකම පාහේ හරහට හිටියේ උදෑසන කියා වෙනසක් නැති බැංකොක් නගරයේ අධික රථවාහන තදබදයයි. එය තරමක් හෝ මඟහැර නගර සීමාවෙන් එපිටට යන්නට හැකි වන්නේ හැකි පමණ උදෑසනින් පිටත් වූ තරමට ය.
පිපත් මගේ පැරැණිම තායිලන්ත මිතුරෙකි. පිපත් යැයි මෙහි සටහන් කළ ද ඔහුට අප අමතන්නේ ‘කූන් පිපත්’ යනුවෙනි. ‘කූන්’ යන තායි වදනෙහි සරල අදහස “මහත්මයා හෝ මහත්මිය” යන්න ය. තායිලන්තයේ දී මිතුරකුට වුවද, ඔහුගේ නමේ මුලට ‘කූන්’ යොදා ඇමැතීම ඔවුන්ගේ සතුටටත් ආදරයටත් හේතු වෙයි. කාන්තාවකට වුව ද වෙනසක් නැත. ‘පචරපෝන්’ මගේ තායිලන්ත මිතුරියකි. අපට ඇය ‘කූන් පචරපෝන්’ ය. රථ වාහන තදබද මඟහැර පාන්දරම අප පිටත්ව ඇත්තේ පිපත්ගේ ගමට යන්නය. ‘සූරීන්’ ඔහුගේ ගම පිහිටා ඇති පළාතය.
බැංකොක් සිට සූරීන් වෙත ඇති දුර කි.මී. හාරසිය පණහකට ආසන්නය. තායිලන්තයේ කොපමණ ඈත දුරකට ගියත් මහා මාර්ග ඉතා හොඳ තත්ත්වයේ පවතී. එහෙත් මේ දුර ගෙවන්නට ගතවන කාලය පැය හතකට ආසන්නය. ඒ නගරබද ප්‍රදේශවලදී ඇතිවන වාහන තදබදය හේතුවෙනි. බැංකොක් සිට සූරීන් බලා යන මඟ වැටී ඇත්තේ අයුත්යා පැරැණි රාජධානිය අසලිනි. අප අයුත්යා ප්‍රදේශය පසුකරන විටත් හෝරා දෙකකට ආසන්න කාලයක් ගෙවී තිබිණි.
පිපත්ගේ සම්පූර්ණ තම ‘පිපත් තොන්ග් ඉන්’ ය. එය ඉංග්‍රීසි භාෂාවෙන් ලියන්නේ Pipath Thong - In ලෙසය. හරස් කෙටි ඉරක් භාවිත කරන්නේ ඇයි දැයි ඇසූවිට ඔහු කීවේ, එසේ තොවුනහොත් බොහෝ දෙනෙක් එය වර නගන්නේ ‘තොජින්’ කියා බවය. ‘කොහින්’ ගමේ බහුතරය ‘තොන්ග් ඉන්’ ලා ය. ‘කොහින්’ පිපත්ගේ ගමේ නමය. ‘බුචෙට්’, කොහින් ගමට ආසන්නවම ඇති නගරයයි. අප එන මගේ සූරීන් සිට බුචට් වෙත කි.මී. එකසිය හතළිහක පමණ දුරකි. බුචෙට් සිට කොහින් වෙත තවත් කි.මී. දහයකි.
වර්ග කි.මී. අටදහස් එකසියයක පමණ වපසරියකින් යුතු සූරීන් පළාත උතුරු තායිලන්තයට පහළින් නැගෙනහිරට බරව පිහිටා තිබේ. දෙදහස් දහ හතර වසරේ කළ සංගණනයකට අනුව එහි ලක්ෂ දාහතරකට ආසන්න ප්‍රමාණයක් වාසය කරති. බුරිරම්, මහ සරකම්, සිසකෙට් සූරීන් පළාත වටකර ඇති අනෙකුත් පළාත් ය. සූරීන්වලට දකුණින් ඇත්තේ කාම්බෝජයය. එබැවින් සුරන්හි දකුණු සීමාව, තායිලන්තය සහ කාම්බෝජය වෙන්කරන දේශ සීමාවය. තායිලන්තයේ සිට කාම්බෝජය බලා යන මගී ප්‍රවාහන බස් රථයක් ද අපට අතරමඟදී මුණ ගැසිණි. තායි ජාතිකයන්ට දේශ සීමාවේදී ලබාදෙන තාවකාලික අවසරපතකින් සති දෙකක කාලයක් කාම්බෝජයේ රැඳී සිටීමට හැකි ය. ඒ සඳහා ඔවුන්ට අවශ්‍ය වන්නේ තායි හැඳුනුම්පත පමණි. කොහින් ගමේ පිපත්ගේ නිවෙස පිහිටා ඇත්තේ තායිලන්ත - කාම්බෝජ දේශ සීමාවට විනාඩි දහයක ධාවන දුරකිනි. පිපත්ගේ නිවෙසේ ගත කරන දින කිහිපයෙන් එකක දේශ සීමාව තරණය කර කාම්බෝජයට ද යෑම අපගේ බලාපොරොත්තුවය.
කොහින් ගමට අප පැමිණෙන විට අඳුරත් අපත් සමඟ ම ආවේ ය. ගමේ වටපිටාව බලන්නට වන්නේ හෙට උදේටය. අම්මා අප ඉදිරියට පැමිණ මා පිළිගත්තේ දෑත් එක්කොට ‘ස්වාදිකා’ (ආයුබෝවන්) කියමිනි. මම ඇයට ‘ස්වාදිකාප්’ (ආයුබෝවන්) කීවෙමි. තායිලන්තයේ ගැහැනුන් සහ පිරිමින් ආයුබෝවන් කියන්නේ දෙවිදියකට ය. ගැහැනු ‘ස්වාදිකා’ කියති. පිරිමි ‘ස්වාදිකාප්’ කියති. තායිලන්තයේ නිවෙසකට ගිය විට අපේ මෙන් ‘තේ එකක් බොමු දැයි’ අසන්නේ නැත. කොහොමත් තායි ජාතිකයන් තේ බොන්නේම නැති තරම් ය. පිටි කිරි බොන්නේත් නැත. හැබැයි කෝපි බොන්න නම් රුසියෝ ය. අපගේ ගමන් මහන්සිය වටහාගත් පිපත්ගේ අම්මා ඉක්මනින් රාත්‍රි ආහාරය පිළියෙල කළා ය. ඔවුන් ආහාර ගන්නේ පවුලේ සියලු දෙනා එකට ය. සාලයේ විශාල පැදුරක් එළා එහි මැද ආහාර සහිත භාජන තබනු ලබයි. පසුව එය වටා සියලු දෙනා එරමිණියා ගොතාගෙන වාඩි වෙති. කිසි විටෙක එක් අයෙකුගේ කකුලක් අනෙකා දෙසට එල්ලවන ඉරියවුවෙන් වාඩි නොවෙති. තායි ජාතිකයන් දෙපා සලකන්නේ ශරීරයේ පහත්ම කොටසක් ලෙසට ය. අඩු තරමින් බිම ඇති යමක් පාදයෙන් තල්ලු කරන්නවත් ඔවුන් අකමැති ය.
පිපත්ගේ අම්මාත්, තාත්තාත්, නංගීත්, මස්සිනාත්, ඔවුන්ගේ කුඩා දියණියත්, පිපතුත්, මාත් රාත්‍රි ආහාරයට වාඩිගත් අය වීමු. රාත්‍රි ආහාරයට ඇත්තේ බත්, බදින ලද කුකුළු මස්, අමු මෑ කරල් සහ ඔවුන්ට ආවේණික සෝස් වර්ගයකි. තායි ජාතිකයන් බත් කන්නේ ස්වල්පයකි. වැඩිපුර කන්නේ මස්ය. ඊළඟට අමු හෝ මදක් තම්බාගත් එළවළුය. පිපත්ගේ මස්සිනා සුරින්වලට ආවේණික මත්පැන් බෝතලයක් ද ගෙනත් තැබුවේ ය. සියලු දෙනා මත්පැන් බෝතලය හිස් කරන්නේ එකම වීදුරුවකිනි. එය සුරින් සම්ප්රදායය. පිපත් බෝතලයෙන් ස්වල්පයක් වීදුරුවට දමා මට පිළිගැන්වූවේය. ප්‍රදේශයට ආවේණික මෙම මත්පැන් වීදුරුවක් පිළිගැන්වීම සූරින් සම්ප්‍රදායට අනුව අමුත්තෙකුට සිදු කරන ඉහළම ගෞරවයකි. එය ප්‍රතික්ෂේප කළහොත් ඔවුන් සලකන්නේ එය ඔවුන්ට කරන අගෞරවයක් හැටියට ය. මදිපුංචි කමක් ලෙසට ය.
පසුදා පාන්දර අවදි වන විටත් පිපත් හැර සියල්ලන්ම දවස ආරම්භකර අවසන් ය. කුඩා දියණිය පාසල් ගොසිනි. අනෙක් ඇත්තන් ඔවුන්ගේ වගාබිම්වල ය. එක් පසෙක අක්කර ගණනාවක මඤ්ඤොක්කා යායකි. අනෙක් පස රබර් වගාවකි. පිපත්ගේ තාත්තා කුඩා කුකුළු ගොවිපොළක් ද පවත්වාගෙන යයි. සූරින්හි සෑම ගමකම පාහේ මෙවන් කුඩා කුකුළු ගොවිපොළ කිහිපයක් ම දක්නට හැකි ය. ගමට අවශ්‍ය කුකුළු මස් ගමේම නිෂ්පාදනය කර ගැනීම සාමාන්‍ය ක්‍රම වේදයය. මෙහි දක්නට ලැබෙන තවත් විශේෂත්වයක් වන්නේ දුප්පත්, පොහොසත් බේදයක් නොමැතිව සෑම ගෙදරකම යතුරු පැදියක් හා කැබ් රථයක් තිබීම ය. ප්‍රධාන මාර්ගයේ හැර අනෙක් මාර්ගවල පොදු ප්‍රවාහන සේවා නොමැත. අවුරුදු අසූවේ අනූවේ ආච්චිලා, සීයලාත් අප මදුරුවා යනුවෙන් හඳුන්වන යතුරුපැදි පදවාගෙන යනු දැකීම මෙහි සුලබය.
තායිලන්තයක කාම්බෝජය වෙන් කෙරෙන දේශසීමාවට යන ගමනට පිපත්ගේ තාත්තාත් එක්වූයේ ය. කොහින් හා අවට ගම්වල ඇතැම් පවුල් කාම්බෝජයෙන් සංක්‍රමණය වූවන් බවත්, ඔවුන්ගේ අතීත පරම්පරා තායිලන්තයට එන විට රැගෙන ආ කාම්බෝජ සම්ප්‍රදායන් තවමත් දක්නට හැකි බවත් කීවේ ඔහු ය. ඔහුට අනුව මෙහි වෙසෙන්නන් බොහෝ දෙනෙකුට කාම්බෝජ භාෂාව කතා කිරීමට ද හැකි ය. එමෙන් ම සූරින් පළාතේ ඇතැම් සම්ප්රදායයත් දේශ සීමාව අවට කාම්බෝජ ගම්වැසියන් තුළද නොනැසී පවතින බව ද ඔහු කීවේය.
කොහින් සිට දේශ සීමාව දක්වා වන පාර වැටී ඇත්තේ වන තීරයක් මැදිනි. තුරු වියනක් යටින් යන ගමන ගත නිවා සිත සනසාලයි. වාහනයක් එන්නේ කලාතුරකින් නිසා පිපත් ඔහුගේ වාහනයේ වේගය පැයට කි.මී. සියයට වඩා අඩු කරන්නේ ම නැත. දේශ සීමාවට යන අතරමඟ මනරම් මිටියාවතක දර්ශන සහිත නැරැඹුම් නැවැතුමකි. ආපසු එන ගමනේදී එතැන නවතින්නට සිතා අපි පළමුව දේශ සීමාවට ගියෙමු.
ගමන් බලපත්‍රය පරීක්ෂා කිරීමේ කටයුතුවලින් පසුව කාම්බෝජයට ඇතුළුවීමේ අවසරය ලැබිණි. තායිලන්තය දෙසින් කාම්බෝජය දෙසට ගමන් කරනවිට මුලින් ම පේන්නේ ගස් අතරින් මතුවුණු උස් ගොඩනැගිල්ලකි. එය කාම්බෝජයේ කැසිනෝපුරයයි. තායිලන්තයේ කැසිනෝ තහනම් බැවින් තායි ජාතිකයන් කැසිනෝ ගහන්න එන්නේ මෙතැනට ය. කැසිනෝ ගොඩනැගිල්ල ඇත්තේ පාරෙන් තරමක් ඇතුළට වන්නට ය. එය පසුකර තවත් ටික දුරක් යද්දී හමු වන්නේ පොළකි. එය සහ අප රටේ ග්‍රාමීය පොළක් අතර වෙනසක් නොමැති තරම් ය. එළවළු, කුළුබඩුවල සිට ඇඳුම්, පැළඳුම් දක්වා සියල්ල එහි තිබේ. එහි ඇති විශේෂත්වය නම් බියර් ඇතුළුව කාම්බෝජයට ආවේණික මත්පැන් ද අලෙවි කිරීමය. කාම්බෝජ බීර බෝතලයක් ලංකා රුපියල් පණහක් වැනි මිලකට ලබාගත හැකි ය.
පිපත් සහ ඔහුගේ තාත්තාට කාම්බෝජයේ එහා කෙළවරටම යා හැකි වුවත් මට අවසර ඇත්තේ මෙතෙක් දුර එන්නට පමණි. එබැවින් අපි ආපසු හැරුණෙමු. දේශ සීමාවේ පිහිටි ආගමන - විගමන කාර්යාලයකි. එහි නිලධාරියෙකු මගේ විදේශ ගමන් බලපත්‍රය ආපසු දෙන අතරේ කීවේ ඔවුන් දන්නා ඉතිහාසය තුළ එතැනට පැමිණි පළමු ශ්‍රී ලාංකිකයා මා බවය.
දේශ සීමාවට යන අතරමඟදී අපට හමුවුණු නැරැඹුම් නැවැතුම වෙත මිනිත්තු පහක් ගත වෙද්දී පිපත් අප රැගෙන ආවේ ය. ඈතින් පෙනෙන මිටියාවතට මුහුණලා සිටගත් විට තුරු ලතාවලින් පිරි වන තීරයක් ඇස් මානයේ වෙයි. එම කඳු තීරය තායිලන්තය සහ කාම්බෝජය මෙන් කෙරෙන බෙදුම් රේඛාවය. කන්දට එහා පැත්තේ කාම්බෝජයය. මෙහා පැත්තේ තායිලන්තයය. කඳු තීරයට පහළ මිටියාවත වසා ගත් දිය පිරි වැවකි. ඈත මෑත, ඉදිරියෙනුත් පිටුපසිනුත් එක යායට විහිදුණු වන තීරයකි. අතීතයේ එක් කාල සීමාවකදී තායිලන්ත සහ කාම්බෝජ හමුදා අතර සටනක් මේ බිමෙහි සිදුව ඇත. එදවස අතහැරි බෝම්බ ආදිය තවමත් මෙහි ඇතැම් තැන්වල ඇති බැවින් වනයේ එම ප්‍රදේශවලට යාමට අදටත් අවසර නැත.
පසුදා උදෑසන අප පිපත්ගේ අම්මාගේ සහෝදරියකගේ නිවෙසට පැමිණෙන විට පවුලේ සියල්ලෝ ම පාහේ එහි පැමිණ සිටියහ. දූ දරුවන් ද සමඟ එතැන තිහකට නොඅඩු පිරිසකි. ඔවුන් එසේ රැස් වී සිටින්නේ වාර්ෂික සිහි කිරීමේ චාරිත්‍රයක් ඉටු කිරීමට ය. ගමේ පන්සල ඇත්තේ එම නිවෙස අසලමය. පන්සල් ඉඩමේ එක් පසෙක ඉදිකළ සොහොන් කොත් ගණනාවකි. එම එක් එක් සොහොන් ස්මාරක එක් එක් පවුල්වලට අයත් ය. යම් පුද්ගලයකු මිය ගිය විට දේහය ආදාහනය කර, අළු ඔහුගේ පවුලට අයත් ස්මාරකයේ තැන්පත් කිරීම සූරින් සම්ප්රදායය.
පිපත්ලා සූදානම් වන්නේ වාර්ෂිකව සිදු කරන ඔවුන්ගේ මළවුන් සිහිකිරීමේ සහ පිං පැමිණවීමේ චාරිත්‍රය ඉටු කරන්නට ය. මුලින් ම නිවෙසේ සූදානම් කරන්නේ විශාල පූජා වට්ටියකි. එහි හාල්, එළවළු, පලතුරු, බෙහෙත් වර්ග, බදින ලද කුකුළන්, අමු මාළු, බෙහෙත් ද්‍රව්‍ය, කැවිලි වර්ග ආදී විශාල ප්‍රමාණයක් අසුරනු ලබයි. ඊට අමතරව බියර් බෝතලයක් ද තබයි. පසුව මෙම පූජා වට්ටිය සහ අනෙකුත් පූජා කරන ද්‍රව්‍ය රැගෙන සියල්ලෝම පන්සලට යති. ඔවුන්ගේ පවුලට අයත් සොහොන් ස්මාරකය අසල පැදුරක් එළූ පසු ස්වාමීන් වහන්සේ කිහිපනමක් වැඩමකර එහි අසුන් ගනිති. විශාල පූජා වට්ටිය ඇතුළු අනෙකුත් පූජා ද්‍රව්‍ය උන්වහන්සේ ඉදිරිපිට තබා පැමිණ සිටින අය ද පැදුරු එළා බිම වාඩි වෙති. ආගමික කටයුතු ඇරැඹෙන්නේ ඉන් අනතුරුවය. ආගමික වතාවත් අතරතුරදී පැන් වැඩීමක් ද සිදු කරයි. පැන් වඩන අවස්ථාවේදී බියර් බෝතලය කඩා ඉන් ස්වල්පයක් මහ පොළොවට දමයි. ආගමික් වතාවත් අවසන්කර ස්වාමීන් වහන්සේ ආවාසගෙයට වැඩම කරන අතර බියර් බෝතලය හැර අන් සියල්ල පන්සලට පූජා කරති. ඥාතීන් සියල්ලෝම ස්මාරකය අසල හිඳ බියර් බෝතලය හිස් කරති.
දහවල් ආහාරයෙන් පසු සියල්ලෝ ආපසු යෑමට සූදානම් වෙති. අපිත් සූදානම් වුණෙමු. ඒ යළි පිපත්ගේ නිවෙසට පැමිණීමට ය. සියල්ලන් වෙත ගොස් ස්වාදිකාප් යැයි කියා සමුගනිද්දී ඔවුන්ගේ ඥාති තරුණියක් පිපත් පසෙකට කැඳවා යමක් පවසනු දුටුවෙමි. “අර ගෑනු ළමය කියපු දේ දන්නවා” දැයි පිපත් ඇසුවේ එන අතරමඟ ය. මම දෙපසට හිස වැනීම්.
ඊළඟ පාර අපේ ගමට එනකොට මීට වඩා තායි භාෂාව කතා කරන්න ඉගෙන ගෙන එන්න කිව්වා.
හසිත කුරුප්පු
from silumina sithmalyaya
0 Comments