Ticker

6/recent/ticker-posts

Header Ads Widget

13වැනි විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙල අභිමානයෙන් යුතුව

රුහුණු සරසවි ක්‍රීඩාංගණයේ දී ඇරැඹීමට සියල්ල සූදානම්

පිරිපුන් මිනිසකු සමාජයට දායාද කරන්නට අධ්‍යාපනය වැදගත් වන්නාසේම කායික හා මානසික ඒගාග්‍රතාව වර්ධනය වන ශාරීරික අධ්‍යාපනය ද ඉතා වැදගත් කාර්ය භාරයක් ඉටු කරනු ලබයි. උත්තරීතර පරමාර්ථ රැසක් සාක්ෂාත් කර ගැනීමේ අදිටනින් විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙල 1942 දී ආරම්භ විය. ‍

පොතපතෙහි දැනුම ලබාගැනීම, පර්යේෂණවල නිරතවීම මෙන්ම ශාරීරික අධ්‍යාපනය සඳහා ද වැදගත්කමක් එවකට මේ ක්‍රීඩා උළෙල තුළින් ලබාදී තිබුණි. ජාතික මට්ටමේ ප්‍රමිතීන්ට අනුව ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල අතර පැවැත්වෙන ක්‍රීඩා තරගාවලිය ආරම්භ වන්නේ 1980 වර්ෂයේ දී ය.

පේරාදෙණිය විශ්වවිශ්වවිද්‍යාලයේ ශාරීරික අධ්‍යාපන ඒකකයේ එවකට අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ ජාතික මට්ටමේ ප්‍රවීණ ක්‍රීඩක ලෙස්ලි හඳුන්ගේ මහතා ඒ සඳහා මූලිකත්වය ගෙන තිබුණි. ඒ අනුව පළමු විශ්වවිද්‍යාලයීය ක්‍රීඩා තරගාවලිය ඔලිම්පික් ක්‍රීඩා තරගාවලියේ සම්ප්‍රදායන් සහ එහි ප්‍රමිතීන්ට අනුගත වෙමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සත්කාරකත්වයෙන් ආරම්භ විය. එතැන් සිට නොකඩවා වසර තුනකට වරක් මේ ක්‍රීඩා උළෙල ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ක්‍රීඩා සංගමයේ සාමාජිකත්වය දරන රාජ්‍ය විශ්වවිද්‍යාලයක සත්කාරකත්වයෙන් පවත්වනු ලැබේ.

13වැනි වරට පැවැත්වෙන විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙල අද පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රුහුණු විශ්වවිද්‍යාල ක්‍රීඩාංගණයේ දී ඇරැඹෙයි. රුහුණ විශ්වවිද්‍යාලය මෙවර සත්කාරකත්වය උසුළනු ලබන්නේ දෙවැනිවරටයි. විශ්වවිද්‍යාල 14ක නියෝජනයෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 7000ක් මාතර පුරවරයේ රොදබැද ගන්නේ තරග ඉසව් 36කට තරගවැදීමේ අපේක්ෂාවෙනි.

ක්‍රීඩා උළෙලේ ඔලිම්පික් පහන දල්වනු ලබන්නේ ජාත්‍යන්තර විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙල 2019 හා 2017 වසරේ පිහිනුම් තරග ඉසව් සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළ ඩබ්. කේ. එස්. වික්‍රමආරච්චි හා හෙල්ල විසි කිරීමේ තරග ඉසව්ව නියෝජනය කළ එච්. පී. ඒ. ජයමාලියි. ලබන 7 වැනි දින දක්වා කණ්ඩායම් තරග හා ඒකල තරග රුහුණ විශ්වවිද්‍යාලයේ වැල්ලමඩම සංකීර්ණයෙහි හා ඒ අවට ක්‍රීඩාංගණවලදී තරග පැවැත්වීමට සැලසුම් කර ඇත.

ක්‍රීඩා උළෙලේ සමාප්ති උත්සවය සැප්තැම්බර් මස 07 වැනි දින ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට සියලු කටයුතු සංවිධාන කර ඇත. ක්‍රීඩා උළෙලේ තරග රැසක් පසුගිය කාලසීමාවේ දී පැවැති අතර, එහි ලකුණු සටහනේ මේ වන විට පෙරමුණ ගන්නට සමත්ව ඇත්තේ ලකුණු 78ක් ලබා සිටින කොළඹ විශ්වවිද්‍යාලයයි. ලකුණු 61ක් ලබා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය දෙවැනි ස්ථානයේත් සබරගමුව විශ්වවිද්‍යාලය ලකුණු 55 ක් ලබා ගනිමින් තෙවැනි ස්ථානයේත් පසුවේ.

13 වැනි විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙල අභිමානවත් ක්‍රීඩා උළෙලක් බවට පත් කරන්නට සත්කාරක රුහුණු විශ්වවිද්‍යාලය සියලු විදිවිධාන යොදා ඇති අතර, දින 12ක් පුරා මාතර පුරවරයේ දී කෙළිබිම තුළ සිය ක්‍රීඩා කෞෂල්‍යයන් විද්‍යමාන කරන්නට විශ්වවිද්‍යාල ක්‍රීඩක, ක්‍රීඩිකාවෝ ද උනන්දුවකින් පසුවෙති. මෙවර ශ්‍රී ලාංකේය ක්‍රීඩා අඹරට තවත් ක්‍රීඩා තරු රැසක් මේ ක්‍රීඩා උළෙලින් පායනු දැකීම සැමගේම බලාපොරොත්තුවයි.

සම්බන්ධීකරණය
මහාචාර්ය මහින්ද අතපත්තු සහ දීපාල් රණවීර

සටහන හා ඡායාරූප වැලිගම සමූහ ටී. කේ. මහින්ද 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();