Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ශ්‍රී ලංකා ෆස්ට් වැඩසටහනින් සුරක්ෂිත රටක් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනඟනවා

මන්දිරවල නොසිට මැරෙන තුරු ජනතාව සමඟ සිටින බව ඇමැති සජිත් මාතර දී කියයි

ශ්‍රී ලංකා ෆස්ට් වැඩසටහන ක්‍රියාත්මක කර නිර්භීත පෞරුෂයකින් යුතු සුරක්ෂිත රටක් හා ශක්තිමත් ආර්ථිකයක් ගොඩනඟන බවත් මන්දිරවල නොසිට මැරෙන මෙහොත දක්වා ජනතාව සමඟ සිටින බවත් නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු ඇමැති සජිත් ප්‍රේමදාස මහතා මාතර දී පැවැසීය.

ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ 23 දින සවස මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගණයේ දී ‘සජිත් එනවා‘ තේමාව යටතේ පැවැති ජන රැලිය අමතමිනි. එහි දී වැඩි දුරටත් කතා කළ ඇමැතිවරයා, තව මාස කිහිපයකින් එන මෙරට හැරවුම් ලක්ෂය වන ජනාධිපතිවරණයට කිසිවකු සැකසංකා ඇති කර ගන්න එපා සජිත් ප්‍රේමදාස ඉදිරිපත් වෙනවා ස්ථිරයි. අද රටට අවශ්‍ය රටට ආදරය කරන, රට සංවර්ධනය කරන, රටේ ජාතික අරක්ෂාව තහවුරු කරන නායකත්වයක්. අන්න ඒ ගෞරවනීය නායකත්වයට මේ මාතෘ භූමියට මම ලබාදෙන බව.

අපි අදහස් කරගෙන සිටිනවා අපේ මේ මාතෘ භූමියට සද්ධන්ත නායකත්වයක් ලබා දෙන්න. ඒ තුළින් සද්ධන්ත ශ්‍රී ලංකාවක් නිර්මානය කරන්න. ඒ තුළින් ලොව ජය ගන්න ශ්‍රී ලංකාවක් නිර්මාණය කරන්න. ඒ තුළින් ජාතික ආරක්ෂක වැඩසටහනක්, ජාතික ආර්ථික වැඩසටහනක්, රට සමඟි කරවන වැඩසටහනක්, රට එක්සේසත් කරන වැඩසටහනක්, රටේ ඒකීයභාවය තහවුරු කරන වැඩසටහනක්, රටේ ජනතාව සුඛිත මුදිත කරන වැඩසටහනක් අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා.

අපේ ගමන තුළ දේශපාලන කුහකකම් සලකන්නේ නෑ. හැමෝටම සමසේ සලකන්න බලාපොරොත්තු වෙනවා. සාධාරණ ක්‍රමයක් මත සමාජ සාධාරණත්වය මේ රටේ ගොඩනංවන්නට ක්‍රියා කරනවා. ඒ වගේම ජනතාව සවිබල ගැන්වීම තුළින්, ජනතාව ආරක්ෂා කිරීම තුළින්, මේ රටේ සමඟිය සාධාරණත්වය ඇති කරන්න කටයුතු කරනවා. ඒ වාගේම අපි මේ රටේ ජනතාවගේ ආර්ථික, සංස්කෘතික සමාජයීය අයිතිය ආරක්ෂාව තහවුරු කරන්න, ආරක්ෂා කරන්න ක්‍රියා කළ යුතුයි ඒ දේ අපි කරනවා.

ප්‍රභූවරයාගේ වෙඩි නොවදින රථයට වඩා සජිත් ප්‍රේමදාසට වටිනවා ගමේ බෙහෙත් ශාලාව. ප්‍රභූවරයාගේ වෙඩි නොවදින රථයට වඩා සජිත් ප්‍රේමදාසට වටිනවා ගමේ තියෙන මාතෘ සෞඛ්‍ය මස්ථානය. ප්‍රභූවරයාගේ වෙඩි නොවදින රථයට වඩා සජිත් ප්‍රේමදාසට වටිනවා ගමේ දරුවන්ට අධ්‍යාපනය ලබාදෙන පාසල. ප්‍රභූවරයාගේ වෙඩි නොවදින රථයට වඩා සජිත් ප්‍රේමදාසට වටිනවා ගමේ රෝහල, ගමේ ආගමික සිද්ධස්ථානය, ගමේ ජනතාවගේ සංවර්ධනය.

ඒ නිසා මම මගේ පියා වගේ ඉපදුනෙත් ගමේ. අභිෂේක ලබන්නෙත් ජනතාව අතර. යන හැම තැනටම යන්නෙත් ජනතාව අතර. මොනයම් හෝ වෙලාවක මරණය අත්පත් වුවහොත් මරණය අත්කර ගන්නෙත් ජනතාව සමඟ අත්වැල් බැදගෙනයි. අපේ ජනතාව නිවැරැදි තීන්දුව ගන්නා විට මම ඔබලට පොරොන්දු වෙනවා රට සුරක්ෂා කරලා, ආර්ථිකය ශක්තිමත් කරල, නව කර්මාන්ත නිර්මාණය කරල, නව නිෂ්පාදන ශක්තිමත් කරල, කෘෂිකර්මාන්තය ශක්තිමත් කරල නව උත්පාදන තුළින් අපි අපේ රට ගොඩ ගන්නට ඕන. නොවැම්බර් දෙසැම්බර් මාසයේ මේ රටේ ජනතාව ඒ වැදගත් හැරවුම් ලක්ෂයක තීන්දුව ගන්න විට මම ඔබට පොරොන්දු වෙනවා දිවා රෑ නොබලා අපි අපේ ජනතාව ශක්තිමත් කරල ජයග්‍රාහී මාතෘ භූමියක් අපි මේ රටේ බිහි කරනවා බිහි කරනවාමයි.

අපේ රටට අනාගත දැක්මක් ඇතිව ශක්තිමත් සැලැස්මක් සහිතව ඉතාමත්ම උපක්‍රමශීලී ගමනක් ක්‍රියාත්මක කරන්නට අපට සිද්ධ වෙනව. මගේ මතකය යනවා එක්දහස් න්‍මසිය පනහ හැට දශකයට. ජපානය රටක් හැටියට කොහොමද දියුණු වුණේ කියල. එදා හතළිහ දශකයේ හිරෝෂිමා නාගසාකි බෝම්බයට ගොදුරු වූ ජපානයේ ජනතාව එක්සේසත් කරල, හොඳ ශක්තිමත් නායකත්වයක් ලබාදෙන්න යොෂීඩා කියන අග්‍රාමාත්‍යවරයා ඉතාමත්ම උපක්‍රමශීලීව ජාතික සැලැස්ම නිර්මාණය කළා. ජාතික දර්ශනය, ජාතික චින්තනය ඉදිරියට ගෙන යන්නට මහා දැවැන්ත ජාතික ව්‍යාපාරයක් ආරම්භ කළා. එතුමාගේ රාජ්‍ය පාලනය තුළ හැම වෙලාවෙම තිබුණේ ජපානයට ප්‍රමුඛස්ථානය. එසේනම් මිත්‍රවරුනි මේ රටේ නව ක්‍රමවේදයන් තුළින්, නව උපක්‍රම තුළින්, නව දර්ශනයක් තුළින්, නව දැක්මක් තුළින් නොවැම්බර් මාසයේ මේ රටේ දැවැන්තම හැරවුම් ලක්ෂය නිර්මාණය කරනකොට අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකාවට ප්‍රමුඛස්ථානය ලබාදෙන ශ්‍රී ලංකා ෆස්ට් වැඩසටහන අප දියත් කරන බව ප්‍රකාශ කරනවා.

මුදල් ඇමැති මංගල සමරවීර මහතා-තව සතියකින් අපේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ යෝජනාවෙන් කරු ජයසූරිය මහතාගේ ස්ථිරත්වයෙන් එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම් කරනවා. අපේ අනෙකුත් සහෝදර පක්ෂවලත් සහාය එතුමාට ලැබී තිබෙනවා. අපේ පක්ෂය බෙදිලා කිවුවට අපි සැවොම එකතුවී මීට වඩා දසදහස් ගණනින් එකතුවී ගෝල්ෆේස් පිට්ටනිය පිරෙන්නට ජනතාව එක්රැස් කර අගමැති රනිල් වික්‍රමසිංහ මහතා, කරු ජයසූරිය මහතා වගේම ඊට රවුෆ් හකීම්ලා, රිෂාඩ් බදියුදීන්ලා, මනෝ ගනේෂන්ලා, දිගම්බරන්ලා, චම්පික රණවකලා, රාජිත සේනාරත්නලා විතරක් නොවෙයි උතුරේ සහෝදර ජනතාවගේ ද සහාය ඇතිව චන්ද්‍රිකාගේ ද වාර්තාව බිඳිමින් සියයට හැටපහකට එහා ඡන්ද ලබා ගනිමින් වසර විසිපහකට පසු එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරයකු පත් කර ගන්නවා.

මේ වේදිකාවේ ඉන්නේ ලබන දෙසැම්බර් මාසයේ මේ රටේ ජනාධිපති වශයෙන් දිවුරුම් දෙන සජිත් ප්‍රේමදාස මහතායි. එතුමා මම පිළිගනිමින් කනට කර කීවේ වෙල්කම් මිස්ටර් ප්‍රසිඩන් ටු මාතර කියා. එතුමාට මුල්ම වතාවට ජනාධිපති කියා කීවේ මාතරින් බව ඉන් ඉතිහාසගත වෙනවා. යළිත් වතාවත් රාජපක්ෂවරුන්ගේ වහල් යුගයට යෑම නවත්වන්න පුළුවන් එකම නායකයා සජිත් ප්‍රේමදාස මහතායි. එන්නේ ගෝඨාභය නොවෙයි. ගෝඨා බය. තමුන්නාන්සේලාත් මින් පසු කියන්න ගෝඨා බිය කියා. තමුන්නාන්සේලා බයවෙන්න එපා. අපේ සජිත් ප්‍රේමදාස මහතා රජපක්ෂලාට ‍යන එනමං නැතිවෙන විදියට ඔවුන්ට පරජය අත්කර දේවි.

අපි රටට විශාල සංවර්ධනයක් ඇති කළා. ඒ සංවර්ධනයට නායකත්වය දුන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතායි. එතුමා වසර දාහතක් බැණුම් අහගෙන මේ පක්ෂය ආරක්ෂා කරගෙන අරගෙන ආවා. දැන් තරුණ නායකයකුට ඉඩදෙන වෙලාවයි. අපි මින් ඉදිරියට රට ගොඩනඟන්නේ අන්න ඒ තරුණ නායකත්වය හරහායි.

මටයි සජිත් ප්‍රේමදාස මහතාටයි ප්‍රශ්න තිබුණා. එක වෙලාවක මීට වසර හයකට විතර පෙර මටත් කුරුදු පොල්ලක් දෙකක් අතට ගන්න සිදුවුණා. ටිකක් වැඩියෙන් ගත්තා. දැන් තත්ත්වය වෙනස්. සජිත් ප්‍රේමදාස කියන්නේ තමන්ට වෙන් කරන මුදල් හොරකම් නොකර නැවත භාණ්ඩාගාරයට එන්න නොදී හරියට වෙන් කළ මුදලින් වැඩ කරන නායකයෙක්. දුප්පතාගේ පොඩි මිනිසාගේ දුක හොඳට තේරෙන නායකයෙක්.

විදුලි සංදේශ ඩිජිටල් යටිතල පහසුකම් හා ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා-අපි දැක්කා 11 වැනිදා සුගතදාස ක්‍රීඩාංගණයට පන්දහසක් විතර ගෙනැල්ලා අයියා විසින් මල්ලීට ජනාධිපති අපේක්ෂකකම දුන්නා. මල්ලී ජනාධිපති අයියා අගමැතිවෙන්න බලාගෙන. ඒක පවුල් පාලනය. නමුත් අපේ පක්ෂයේ එහෙම පවුල් භේද නෑ. රනිල් වික්‍රමසිංහ මහතා මගේ නායකයා. ඉස්සර මට කීවේ රනිල්ගේ මිනිහෙක් කියා. එදා පක්ෂ සම්මේලනයේ දී රනිල් වික්‍රමසිංහ මහතා කීවා 2020 දී අපි තරුණ නායකයකු ගේනවා කියා. අපි අන්න එතෙන්ටයි මේ එන්නේ. සජිත්ට අවුරුදු විසිපහක දේශපාලන අත්දැකීම් තියෙනවා. ඒ මොකත් නැති ගෝඨට හැත්තෑවයි. සජිත්ට පනස් දෙකයි. හැත්තෑවේ එකාට වඩා පනස් දෙකේ එකාට අවුරුදු විසිපහක් තව දේශපාලනය කළ හැකියි.

ඇමැති අජිත් පී පෙරේරා මහතා-අපි තව දින අනූවකින් සජිත්ව ජනාධිපති කරනවා. එසේ නැතිව අපි හොර පාරෙන් ඩීල් දමා සජිත් අගමැති කරන්නේ නෑ. අපි හොර පාරෙන් අගමැතිකම් ගන්න යනවා කියන කතාව පට්ටපල් බොරුවක්. තමන්ගේ දරුවන්ට කන්න දෙන්න බැරිව, පාසල් යවන්න බැරිව, හිසට වහලක් නැතිව ඉන්න ජනතාවගේ දුක කඳුළ වේදනාව නැති කරන්න පුළුවන් නායකයා කවුද? වෙන කවුරුවත් නෑ.

ඒ සජිත් ප්‍රේමදාස. වෙන කවුරුවත් නොවෙයි. අපේ නායකයා ගෝඨාභය වගේ ජනතාව ඝාතනය කරපු අයෙක් නොවෙයි. ජනතාව නැඟිට්ට වන, ජනතාවගේ දුක නැති කරන අයෙක්. මහින්ද රාජපක්ෂ මහතා කියනවා එක්සත් ජාතික පක්ෂය දෙකඩ වන එක නවත්වන්න බැරිලු. අනේ මහින්ද මහත්තයෝ අපි එකතු වෙලා 2015 දී කරපු දේ මතකද? ජනතාව එක්ක ඉන්න විදිය හොඳින් ඉගෙන ගන්න ඕන දෙයක්. නමුත් ගෝඨට එහෙම බෑ. ගෝඨා වටේ ඉන්නේ විශ්‍රාම ගියපු හමුදාවේ අය. බලය ගියොත් එදා රතුපස්වලට වුණ දේම අනෙක් පැතිවලටත් දැනේවි.

කර්මාන්ත හා වානිජ කටයුතු රාජ්‍ය ඇමැති බුද්ධික පතිරණ මහතා-එදා 2010 දී මගේ බලාපොරොත්තුව වුණේ සජිත්. අද එම බලාපොරොත්තුව ජය කොන්තය කරා ළඟාවී තිබෙනවා. අද අපේ ජනතාවට එන්න අපි බස් එකක් ඉල්ලන විට දෙකක් දෙන්න ජනතාව පෙළඹිලා ඉන්නවා. අද මේ වේදිකාවේ ඉන්නේ එක්සත් ජාතික පක්ෂයේ ඊළඟ නායකයා. අපේ ඊළඟ විධායක ජනාධිපතිවරයා. සජිත් ප්‍රේමදාස මහතා ශක්තිමත්වී සිටින්නේ ප්‍රේමදාස මහතාගේ ලෙයින්.

අද සජිත් ඇවිත් ඉන්නේ ජනතාව නැඟිට්ටවන්නයි. පරිපාලනය ගම දක්වා ගෙනයන්නයි. එදා මට ගහද්දී, පොඩිකරද්දී, පක්ෂ සාමාජිකත්වය අත්හිටුවද්දී මම කීවේ මේ රට දිනවන්න සජිත්ට දිය යුතුයි කියා. අද ඒ දේ සිදුවෙලා තියෙනවා. එදා මම ලෙයින් අත්සන් කර දුන් පරිදිම අදත් කියනවා. මේ පක්ෂය, මේ රට රැකගෙන ජනතාව දිනවන යුගයක් කරා අපි පෙර ගමන් යනවග. මොන කැපිලි, කෙනෙහිලිකම්, අපවාද කොයිතරම් තිබුණත් මේ තැබූ පය පස්සට ගන්නේ නෑ. අපි නවතින්නේ සජිත් මේ රටේ ජනාධිපති කර ජනතාව දිනවන යුගය ආරම්භ කරලයි.

නියෝජ්‍ය ඇමැති නලීන් බණ්ඩාර මහතා-අද ජනතාවගේ බලාපොරොත්තුවක් තියෙනවා. මේ රට අලුත් මාවතකට ගෙන යන්න. එදා මේ රටේ වෙනස ඇති කරන්න ක්‍රියා කළේ සිවිල් සංවිධාන ක්‍රියාකාරීන්, කලාකරුවන්, විද්වතුන් ඇතුළු මහජනතාවයි. එම පිරිස් සියයට අනූවක් අද සජිත්ගේ ආණ්ඩුවක් ඉල්ලනවා. ඒ බව අද ගොවි, කම්කරු, ධීවර ජනතාව තීරණය කර තිබෙනවා සජිත්ගේ ආණ්ඩුවක් ඕන කියා.

හොඳට බලන්න අනෙක් පැත්තෙන් කවුද? ඇවිත් ඉන්නේ කියා. එදා ලොකුවට ආවට අන්න දැන් ප්‍රශ්න ඇති වෙලා. දේශපාලන පන්නරයක් නැති කෙනෙක් කොහොමද රටක් කරන්නේ. ආවා විතරයි අන්න මාධ්‍යවේදීන්ට එයාගෙන් ප්‍රශ්න අහන්න එපා කියා තහංචි දාලා. මම මෙතැන ඉන්න මාධ්‍යවේදීන්ට කියනවා පුළුවන්නම් ප්‍රශ්නයක් අහන්න කියා. ඉඩදෙන්නේ නෑ. ප්‍රශ්නයකට උත්තරයක් දෙන්න දේශපාලන පන්නරයක් නෑ ඒකයි තහංචි දමා තියෙන්නේ. අපි මේ යන ගමනට බාධා කළහොත් අපි ඒ බාධා කඩාගෙන මේ ගමන යනවා.

මේ අවස්ථාව අමතා ජාතික මහජන සභාවේ කැඳවුම්කරු චමීර පෙරේරා, රතුපස්වල ජනතා සංවිධානයේ හිටපු සංවිධායක සුරේෂ් පෙරේරා මහත්වරු ද කතා කළ අතර, ඇමැතිනී චන්ද්‍රානි බණ්ඩාර, කැබිනට් නොවන ඇමැති හර්ෂ ද සිල්වා, රාජ්‍ය ඇමැතිවරුන් වන දිලිප් වෙදආරච්චි, එරාන් වික්‍රමරත්න, නිරෝෂන් පෙරේරා, අශොක් අබේසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන බන්දුලාල් බණ්ඩාරිගොඩ, හෙක්ටර් අප්පුහාමි, තුෂාර ඉදුනිල්, හර්ෂණ රාජකරුණා, හේෂා විතානගේ, හිටපු රාජ්‍ය ඇමැති ඉන්දික බණ්ඩාරනායක මහත්ම මහත්මීන් ඇතුළු පළාත් සභා හා පළාත් පාලන ආයත නියෝජතයන්, ආසන සංවිධායකයන්. කලාකරුවන්, සිවිල් සංවිධාන ක්‍රියාකරීන් ඇතුළු විශාල පිරිසක් ද එක්ව සිටියහ.

ගන්දර සමූහ ජයසිරි පේදුරුආරච්චි
ඡායාරූප-ගන්දර සමූහ

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();