Ticker

6/recent/ticker-posts

Header Ads Widget

දිනූ නිදහස ආරක්ෂා වන්නේ ජනතාව ඉදිරියේ දී ගන්නා තීන්දුව අනුවයි

Author(s): 
අසේල කුරුළුවංශ

අගමැති බෝගම්බර දී කියයි

ඉංග්‍රීසි පාලන සමයේ සිට සිරගෙයක්වූ මහනුවර නගර මධ්‍යයේ පිහිටි පැරණි බෝගම්බර බන්ධනාගාර භූමිය අද නිදහසේ කේන්ද්‍රස්ථානයක් බවට පත්කර තිබෙන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

තවදුරත් නිදහස වෙත පියමනිනවාද නැතහොත් සිරගෙට ගමන් කරනවාද යන්න තීන්දු වන්නේ ජනතාව ඉදිරියේදී ගන්නා තීරණ මත බවද ඒ මහතා කීය.

බෝගම්බර පැරණි බන්ධනාගාර පරිශ්‍රය ප්‍රතිසංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ වැඩ නිමකළ මහනුවර බෝගම්බර සංස්කෘතික උද්‍යානය විවෘත කිරීම නිමිත්තෙන් පෙරේදා (24) පැවැති උත්සවයේදී අගමැතිවරයා මේබව ප්‍රකාශ කළේය.

මේ යටතේ බන්ධනාගාර වට බැම්මට පිටින් ඇති අක්කර 1.5 ක් පමණ වූ ඉදිරිපස අංගනය සංස්කෘතික ප්‍රසංග පවත්වන හා දේශීය නිර්මාණකරුවන්ගේ කලා නිර්මාණ ප්‍රදර්ශනය හා අලෙවිය සිදු කෙරෙන ස්ථානයක් ලෙස සංවර්ධනය කර තිබේ. සංචාරක තොරතුරු මධ්‍යස්ථානයකින් හා පොදු විනෝදාත්මක කටයුතු සඳහා වෙන්වූ මහජනතාවට නිදහසේ ගැවසිය හැකි ස්ථානයකින්ද මෙය සමන්විතය. ඉදිරි අංගනයේ ඇති ඓතිහාසික ගොඩනැගිල්ලක් වන බන්ධනාගාර අධිකාරී බංගලාව මේ යටතේ ප්‍රතිසංස්කරණය කරනු ලැබ ඇත්තේ එහි පෞරාණික බව සුරක්ෂිත වන අයුරිනි.

මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ සිදු කෙරුණු මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් වැයකර තිබෙන මුදල රුපියල් මිලියන 175 කි. පැරණි බන්ධනාගාර වට බැම්මට ඇතුළතින් ඇති කොටස දෙවන අදියර යටතේ සංවර්ධන උපාය මාර්ග හා ජත්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශය මගින් සංවර්ධනය කිරීමට නියමිතය. දෙවන අදියරේ මූලික වැඩකටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 750 ක මුදලක් වසර 2019 සඳහා භාණ්ඩාගාරය මගින් වෙන්කර තිබේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා මෙසේද ප්‍රකාශ කළේය.මෙතන තිබෙන හිර ගෙදර නිදහසේ කේන්ද්‍රස්ථානයක් බවට අප අද පත්කර තිබෙනවා. ඒ වගේම මහනුවර නවීකරණය කර ප්‍රධාන සංවර්ධිත නගරයක් ලෙස ලෝකයට එකතු කරනවා. තවත් අවුරුදු පහකින් ඒ ප්‍රතිපල සියල්ල බුක්ති විඳින්න ඔබට අවස්ථාව ලැබෙනවා.අපි අද ඉන්නේ තීරණාත්මක කේන්ද්‍රස්ථානයකයි. දියුණුවට ගෙනියවනවාද නැතහොත් ආපසු පරණ මහනුවරට යනවද කියන කාරනය අප ඉදිරියේ තිබෙනවා. නිදහසේ කේන්ද්‍රයක් කරනවාද නැත්නම් ආපසු සිරගෙට යනවද කියන එක ජනතාව තීන්දු කළ යුතුයි. ඔබ ගන්න ඒ තීරණය මත තමයි මහනුවර අනාගතය තීරණය වන්නේ.

මෙතන තිබුණේ බ්‍රිතාන්‍යය පාලන සමයේ ඇති කළ ප්‍රධාන බන්ධනාගරයයි. පසුව නිදහස් ආණ්ඩුව බිහි කළාට පසුත් බන්ධානාගාරය ඒ විදිහටම පවත්වා ගෙන ගියා. මෙහි පවත්වා ගෙන ගිය බන්ධනාගාරය දුම්බරට ගෙන ගියාට පසුව හිස්වූ භූමිය අපේ සංස්කෘතික වටිනාකම් විදහා දැක්වෙන සංචාරක මධ්‍යස්ථානයක් බවට පත් කිරීම යෝග්‍යය බවට මට හැඟුණා. සංචාරකයෝ නුවරට ආවම දිනක්වත් මෙහි රැඳෙන්නේ නැහැ. සංචාරයකයින් නගරය තුළ රඳවා තබා ගන්න නම් ඔවුන්ට අවශ්‍යය දේවල් මහනුවර තිබිය යුතුයි. මේ නගරය සංචාරක ආකර්ෂණය දිනා ගන්නා ලෙස දියුණු කරන්නේ කෙසේද කියන කාරනය පිළිබඳව මා කල්පනා කළා. එතකොට අපි හිටියේ විපක්ෂයේයි. ආණ්ඩුව පිහිටු වීමෙන් අනතුරුව ජෙෆ්රි බාවාගෙන් පසු බිහිවූ කෙරී හිල් කියන විශිෂ්ට නිර්මාණ කරුවා කැඳවලා මේ භූමිය සංවර්ධනය කරන්නේ කෙසේද යන්න පිළිබඳව එතුමාගේ අදහස් ලබා ගත්තා.ඒ සකස් කළ සැළස්ම තමයි මෙතන බොහෝ දුරට තිබෙන්නේ. මහනුවර දියුණු කිරීමට මලික් සමරවික්‍රම මහතා ගන්න උනන්දුව මා අගය කරනවා. එතුමා තමන්ගේ අමාත්‍යාංශය යටතේ මේ වැඩකටයුතු ඉතා හොඳින් කරනවා.

මේ ස්ථානය වගේම මුළු මහනුවරම සංවර්ධන කිරීමේ වගකීම චම්පික රණවක මහතාගේ මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය මගින් බාර ගෙන තිබෙනවා. උඩරට රාජධානියේ මහ නිළමේ වන ලක්ෂ්මන් කිරිඇල්ල හැම වෙලාවෙම නුවර දියුණු කරන්න විශාල උත්සහයක් ගන්නවා. ඒ සියල්ලන්ගේම කැපවීම මත අද මහනුවර ක්‍රමයෙන් දියුණුව කරා ගමන් කරමින් තිබෙනවා.

අපි බලන්නේ මේක අලුත් නගරයක් බවට පත් කරන්න. මේක සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කරන්න කලින් අපි මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා ගෙන් ඒ පිළිබඳව විමසා සිටියා. ජපානය බෞද්ධ රටක්. ජපානය නාරා නගරය දියුණු කළ හැටි මමත් දැක තිබෙනවා. බුද්ධ ධර්මය ජපානයේ මුලින් පැමිණියේ නාරා නගරයටයි. ඒ නගරයේ ඇතිවූ දියුණුව නිසාම මහනායක ස්වාමින් වහන්සේලා ජපානයේ අගමැතිවරයා ගෙන් ඉල්ලීමක් කළා මහනුවර සංවර්ධනයට දායක වන ලෙස. ඒ ඉල්ලීම ජපානයේ අගමැති ෂින්ෂෝ අබේ මැතිතුමා පිළිගෙන අද ජපානයත් මේ ව්‍යාපෘතියට සම්බන්ධවී සිටිනවා. ඒ එක්කම ලංකාව පැත්තෙන් මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය මෙහි වගකීම බාර ගෙන තිබෙනවා. අද අලුතින් එන නරගය මෙතනින් අවසන් වෙන්නේ නැහැ. පේරාදෙණියේ සිට දිගන දක්වා නගරය පුළුල් කර සංවර්ධනය කරනවා. මහනුවර රෝහල දියුණු කරන අතර ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය යටතේ අපි හොඳ පාසැල් මහනුවරට ලබාදී තිබෙනවා. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ දරුවන්ට අපි වෙනම පාසලක් ස්ථාපිත කරන්න සැළසුම් කළා.

මධ්‍යම අධිවේගි මාර්ගයේ වැඩ කටයුතු ආරම්භ සාර්ථකව සිදු කෙරමින් පවතිනවා. උතුරු මහනුවර ජල යෝජනා ක්‍රමය දැන් අනුමතයි.මේ ඔක්කොම 2015 මැතිවරණයේදී අපි ලබාදුන් පොරොන්දු මත කරන ඒවායි.දැන් ඒවා ක්‍රියාවට නන්වා අවසානයි.තවත් අවුරුදු 05 කින් මේ දියුණුව ඔබට දැකිය හැකියි.මහනුවර විද්‍යා හා තාක්ෂණ මධ්‍යස්ථානයක් ස්ථාපිත කරන්නත් අලුත් මාර්ග පද්ධතියක් මගින් මහනුවර කොළඹ හා හම්බන්තොට එකට සම්බන්ධ කරන්නත් අපේක්ෂිතයි. ලංකාවේ ප්‍රධානතම මාර්ග පද්ධතිය බවට මේක පත්වෙනවා.මේ සියලු ව්‍යාපෘති ක්‍රියාත්මක වීම ඔස්සේ ලංකාවේ දියුණු, තාක්ෂණය හා බද්ධවූ ප්‍රධාන නගරයක් ලෙස මහනුවර ඉස්මතු වෙනවා.

සංචාරක ව්‍යාපාරයට පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ලොකු බලපෑමක් ඇති වුණා. ඇසළ පෙරහර සමයේ දේශීය මෙන්ම විදේශීය සංචාරකයින් විශාල ලෙස මහනුවරට ආවා. පාස්කු ප්‍රහාරය නිසා ආර්ථිකය කඩා වැටෙන්න අපි ඉඩ තැබුවේ නැහැ. මේ වසර අවසන් වෙන්න කලින් සංචාරක ව්‍යාපාරය ආපසු පැවැති තැනට ගේනවා කියලා අපි කිව්වා. බොහෝ පිරිසක් සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ රැකියා වලින් ජීවත් වෙනවා. සංචාරක අධිකාරියේ සභාපතිවරයාගෙන් මම ඇහුවා මේ වසර අවසන් වන විට ලංකාවට කොපමණ සංචාරකයින් පිරිසක් එතැයි ඇස්තමේන්තු කර තිබෙනවාද කියලා. ඔහු කිව්වේ ලක්ෂ 20 යි කියලා. පසුගිය වසරේ ලංකාවට පැමිණි සංඛ්‍යාව ලක්ෂ 23 ක් කියාත් ඔහු පැවසුවා. බෝම්බ පිපුරුම නොවුනා නම් අපිට ඒ අගය මේ වසරේ පහු කරන්න තිබුණා.

පාර්ලිමේන්තුවේ සභානායක, රාජ්‍යය ව්‍යවසාය සංවර්ධන, කන්ද උඩරට උරුමය හා මහනුවර සංවර්ධන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා - මහනාහිමිවරුන්ගේ අවවාද, අනුශාසනා මත මේ ප්‍රදේශය දියුණු කරන්න අපි කැපවෙලා ඉන්නවාමේ සංවර්ධන ව්‍යාපෘතිය ගැන තරුණ පරම්පරාව විශාල බලාපොරොත්තු තබාගෙන ඉන්නවා. විශේෂයෙන් රැකියා අවස්ථා ගොඩක් මේ යටතේ ඇති වෙනවා.

මහනගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා-මහනුවර නගරයේ හරි මධ්‍යයේ පිහිටා තිබෙන ඉතා වැදගත් භූමියක් වන මෙය සංවර්ධනය කිරීමේ වගකීම ආයෝජන මණ්ඩලය විසින් බාරගනු ලැබුවා. ඒ අනුව විවිධ සැළසුම් සකස් කළා.

මෙම අවස්ථාවට මල්වතු පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි, අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී නාරංපනාවේ ආනන්ද යන නාහිමිවරුද සංවර්ධන උපාය මාර්ග හා ජත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, රාජ්‍යය ඇමැති ලකී ජයවර්ධන, නියෝජ්‍ය ඇමැති නලීන් බණ්ඩාර, මධ්‍යම පළාත් ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන්, උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක, මහනුවර පුරපති කේසර සේනානායක,ශ්‍රීලංකාවේ ජපන් තානාපති අකිරා ෂුගියාමා බස්නාහිර හා මහනගර සංවර්ධන අමාත්‍යාංශයේ මධ්‍යම පළාත් ව්‍යාපෘති සම්බන්ධීකාරක තුෂාර ස්වර්ණතිලක, සංවර්ධන උපාය මාර්ග හා ජත්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම් එස්.ටී කොඩිකාර යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

ඡායාරූප-කුණ්ඩසාලේ සමූහ සුනිල් ගුණවර්ධන

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();