කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි සිද්ධස්ථානයේ හා පුංචි රෝමය නම් ලත් මීගමුව පුරවරයේ කටුවපිටිය සාන්ත සෙබස්තියන් මුනිතුමන්ගේ දෙව්මැදුර හා මඩකලපුව ‘සයන්’ ක්‍රිස්තියානි දේවස්ථානය තුළ සිදුවූ බෝම්බ ප්‍රහාරය වසර 77කට පසු, පාස්කු ඉරිදාවක සිදුවූ දෙවන බෝම්බ ප්‍රහාරය වශයෙන් ඉතිහාසයට එක් වේ.
වර්ෂ 1942 අප්‍රේල් 5 වැනි දින, පාස්කු ඉරිදාවකි. එදින ශ්‍රී ලංකාවට අයත් ඉහල අහසේ සැරිසරමින් තිබූ බ්‍රිතාන්‍ය අහස් යානාවක් පසුපස හඹා යමින් ජපනුන් විසින් බෝම්බ දැමූ කතාව ඉතිහාසය අපට මතක් කරයි.
ඉතිහාස සටහනට අනුව ජපනුන් විසින් බ්‍රිතාන්‍ය අහස් යානා වලට එල්ල කළ බෝම්බ වැටී ඇත්තේ කැලණිය ශාන්ත තෙරේසා දේවස්ථානයට ආශ්‍රිත ප්‍රදේශයේ බව කියැවේ.
පසුගිය අප්‍රේල් 21 දින බෝබ්බ ප්‍රහාරයට ලක් වූ දේවස්ථානවලට අමතරව කොළඹ ප්‍රධාන පෙලේ හෝටල් වන ෂැන්ග්‍රිලා, සිනමන් ග්‍රෑන්ඩ් සහ කින්ග්ස්බරි ඇතුළුව ස්ථාන 8ක බෝම්බ ප්‍රහාර සිදුව ඇත. කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ සිද්ධස්ථානය දෙවන ජුවාන් පාවුළු පාප්තුමන්ගේ වන්දනාමාන කළ සිද්ධස්ථානයකි. ශ්‍රී ලංකාවේ අපෝස්තුළුවරයාණන් වන ජෝසප් වාස් පියතුමන් භාග්‍යවරයට එසවීම සඳහා ශ්‍රී ලංකාවේ පැවති දිව්‍ය පූජාව සිදු කරනු ලැබුවේ දෙවන ජුවාන් පාප්තුමන් විසිනි. වත්මන් සසුන්පත් අති උත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් විසින් ජුසේ වාස් පියතුමන් සාන්තුවරයට ඔසවන ලදී.
අවුරුදු 185 ක් පැරණි ශාන්ත අන්තෝනි සිද්ධස්ථානය අද පවතින භූමිය එදා පැවතියේ ඕලන්ද ජාතිකයන්ගේ පාලනයට යටත්වය. එකල කතෝලික ආගම දිවයින තුළ වන්දනාමාන කිරීම හා ප්‍රචාරය කිරීම තහනම් කර තිබුණි. එහෙත් කතෝලික පියතුමන්ලා විසින් කතෝලික දහම තහනම් කර තිබූ කාලයේද සුබ අස්න දේශනා කිරීම රහසින් කරගෙන ගියේ හිතවත් කතෝලික ධීවරයන්ගේ රැකවරණය මැදය.
මෙකල මූහුදු ඛාදනය නිසා තමන්ගේ ගම්බිම් යටවන බවට මැසිවිලි නැඟූ ධීවරයන් ගම්බිම් රැක ගැනීමට අන්තෝනි පියතුමාගෙන් ඉල්ලා සිටී. ඒ අනුව අද දේවස්ථානය පිහිටි බිම් කඩ සමීපයේ කුරුස ප්‍රතිමාවක් වැඩමවා මුහුදු ඛාදනයෙන් ධීවරයන්ගේ ගම්බිම් රැක ගැනීමට හැකි විය. මින් අනතුරුව ලන්දේසි පාලකයන් විසින් කතෝලික දහම ප්‍රචාරය කිරීමට හා දේවස්ථානයක් ගොඩනැඟීමට බිම් කඩක අන්තෝනි පියතුමාට ලබා දෙන ලදී.
මෝදර ජනතාව කතෝලික දහම වැලඳ ගත් අතර ඔවුන්ගේ ආධාරයෙන් කුඩා මැටි බිත්ති පල්ලියක් ගොඩනගා 1822 දී ගෝවා නුවරින් ශුද්ධ අන්තෝනි මුනිතුමන්ගේ පිළිරුවක් තැන්පත් කරන ලදී.
වර්ෂ 1806 ගොඩනැඟූ කුඩා පල්ලිය 1828 වන විට විශාල පල්ලියක් කොට දේවස්ථානය කැප කිරීම 1834 ජුනි මස පළමුවැනිදා සිදු විය.
වර්ෂ 1838 දී ගීතිකා කණ්ඩායම සඳහා කොටසක්ද එකතු කොට පුළුල් කර ඊට ඈදා පියතුමාගේ ගෘහයක් රැස්වීම් ශාලාවක් ප්‍රධාන අල්තාරයට පසුපසින් ඉදිකරන ලදී.
වර්ෂ 1940 පෙබ. 16 මෙම දේවස්ථානය නැවත කැප කරන ලදී. වර්ෂ 2019 අප්‍රේල් 21 දා එනම් පාස්කු ඉරුදින වසර අවුරුදු 185ක් පැරණි සිද්ධස්ථානය බෝම්බ ප්‍රහාරයට ලක් විය.
දිනුලි ෆ්‍රැන්සිස්කෝ
0 Comments