මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කරන ලද ජාතික තවුහිත් ජමාල් සංවිධානයේ ප්‍රබල සාමාජිකයකු බව සඳහන් මොහොමඩ් ඉවුහයිම් සාදික් අබ්දුල්හක් නැමැත්තාගේ බිරිය අබ්දුල් කාදර් ෆාතිමා කාදියා නැමැත්තිය ඊයේ (26) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබේ.
ඇය ඇතුළු සැකකරුවන් හය දෙනකුගේ ඡායාරූප පොලිස් මූලස්ථානය විසින් ප්‍රසිද්ධියට පත්කර අත්අඩංගුවට ගැනීමට මහජන සහාය ඉල්ලා සිටින අවස්ථාවේදී ඇය සැගවුණු තැන්වලින් පිටතට පැමිණ සිය සිවු හැවිරිදි දරුවා ද සමඟ මාවනැල්ලේ නිවෙසට පැමිණි අවස්ථාවේ දී අත්අඩංගුවට ගෙන ඇත.
ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ වනාතවිල්ලුවේ පවත්වාගෙන ගිය පුහුණු කඳවුර භාරව සිට ඇතැයි පැවසෙන්නේ ඇගේ සැමියා වන සාදික්ය. ඔහුගේ සහෝදරයා වන ශාහිඩ් නැමැත්තා ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටියි. මේ දෙදෙනාම විදේශයකින් අන්තවාදී පුහුණුව ලබා ඇතැයි ද හෙළිවී තිබේ.
මවනැල්ලේ පදිංචිව සිටි ඔවුන් පිළිම හානිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටිය දී ඉකුත් දෙසැම්බරයේ සිට ප්‍රදේශයෙන් පළාගොස් තිබිණි.
සැමියා විසින් දෑස් බැද තමාව රැගෙන ගිය බවත් මෙතෙක් කාලයක් තමාව රඳවා සිටි ස්ථානයක් නොදන්නා බවත් නැවත දෑස් බැඳම තමාව වෑන් රථයකින් නිවෙසට ගෙනවිත් දැමූ බවත් ප්‍රශ්න කිරීම් හමුවේ ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් හමුවේ පවසා තිබේ.
පොලිස් මූලස්ථානය විසින් නිකුත් කළ ඡායාරූප අතර ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ නායකයා බව සඳහන් සාරාන්ගේ බිරිය වන ෆාතිමා ලතීෆාද සිටින්නීය. එම ඡායාරූප අතර සිටින පුලස්තිනී රජේන්ද්‍රන් නොහොත් සාරා නැමැත්තිය කටානේ, කටුවපිටිය දේවස්ථානයට ප්‍රහාරය එල්ල කළ මොහොමඩ් කස්තූන්ගේ බිරිඳය. එම ඡායාරූප අතර සිටින මොහොමඩ් කාසීම් මොහොමඩ් රිල්වාන් නමැත්තා සහරාන්ගේ සහෝදරයෙක් බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.
ගයාන් කුමාර වීරසිංහ
0 Comments