දේශපාලනඥයා කුමන චරිත රඟපෑව ද මූලිකවම ජනතාවට අවශ්‍ය සේවය සැලසිය යුතු බව වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායක මහතා පැවසීය.
ඇල්කඩුව වැවිලි සමාගමේ සේවකයන් සඳහා පසුගිය දා හරිත ඔප්පු ප්‍රදානය කිරීම සඳහා පැවැති උත්සවයට එක්වෙමින් ඇමැති නවීන් දිසානායක මහතා එම අදහස් පළ කෙළේ ය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමැතිවරයා මෙසේ ද කීය.
වතු සමාගම් පිළිබඳ නිසි පරිදි සොයා බැලීමට රාජ්‍ය ඇමැතිවරයාට පවරා තිබෙනවා.
අපි කුමන ඩ්‍රාමා එක කළත් අවසානයේ ජනතාවට හොඳක් වීමයි මූලික දේ විය යුත්තේ. වර්තමාන ආණ්ඩුව හැකි උපරිමයෙන්ම වතු සේවකයන් වෙනුවෙන් වැඩ කරනවා කියා මා විශ්වාස කරනවා. විශේෂයෙන් වතු සමාගම්වල ඉඩම් ලබා ගෙන ඒ ඉඩම් පමණක් නොව එහි නිවාස ද සාදා ජනතාවට ලබා දීමට කටයුතු කරනවා. වෙනත් කිසිම ආණ්ඩුවක් මෙවැනි වැඩ කොටසක් කර නැහැ. මේ අනුව ඉන්දියානු ආධාර යටතේ වතු සේවක සේවිකාවන්ට නිවාස 40,000ක් සාදා දීම වර්තමාන ආණ්ඩුවේ ප්‍රධාන ඉලක්කයක්. එය අනිවාර්යයෙන්ම අප ඉටුකරනවා. මෙරට සිටින දමිළ සහෝදර වතු සේවක සේවිකාවන් ශ්‍රී ලංකාවේ වතු ආර්ථිකයට පමණක් නෙවෙයි මෙරට මුළු ආර්ථිකයේම ප්‍රධාන පුරුකක් හැටියට අප දකිනවා. මේ අය අමතක කර රට ඉදිරියට ගෙන යාමට නොහැකියි. ඒ නිසා මේ අයගේ ආර්ථික, දේශපාලන හා සමාජ තත්ත්වය වගේම ආත්ම ගෞරවය යන සියලු දෙයක්ම ආරක්ෂාකර ගෙන ඉදිරියට යාම අපේ උත්සාහය. මගේ සිහිනය, දර්ශනය වතු සේවක සේවිකාවන්ට ඔවුන්ගේම, ආවේනික වූ ඉඩම් කැබැල්ලක් ලබා ඔවුනුත් කුඩා තේ වතු හිමියන් කරන්න. එමගින් රටේ විශාල විප්ලවයක් ඇති කිරීමයි බලාපොරොත්තුව. මෙමගින් කම්කරුවා යන වචනය ඉවත් කිරීමත් එක් අරමුණක් වන අතර මේ සියලු කටයුතු මගින් අප අනාගතය සැකසිය යුතුයි. වර්තමානයේ ඇති අවුරුදු 150 යල් පැන ගිය මොඩලය තවදුරටත් ඉදිරියට ගෙන යා නොහැකියි. සුද්දා එදා මේ ක්‍රමය අපට හඳුන්වා දුන්නේ. මෙරට තේ කොළඹ තේ වෙන්දේසියට ගිහිල්ලා හොඳම මිලක් ලබා ගන්නා අතර කොළඹ තේ වෙන්දේසිය ලෝකයේ තේ වෙන්දේසිවලින් සාර්ථකම වෙන්දේසිය වන්නේ. එම නිසා අපේ තේ නිෂ්පාදනය මිලියන 300ත් 340ත් අතර දෝලනය වෙන්නේ. ගිය වසරේ තේ මිලියන 303ක් නිෂ්පාදනය කරන්න හැකි වුණා. වතු අධිකාරීවරු නිරන්තරයේම මා විශාල පීඩනයකට ලක් කළා. බැණ වැදුණා, චෝදනා කළා. අපේ ආණ්ඩුව සම්පූර්ණයෙන්ම නැති කළා.
වතු සේවකයන් බොහොම වෙහෙසෙනවා. දුක් විඳිනවා. ඒ අනුව වතු සේවකයන්ට ස්ථිර මුදලක් රුපියල් 750ක් ලබා දෙන්න කටයුතු කළ අතර රුපියල් 200න් වැඩි කළා. නමුත් ඒකත් මදි. එකවර වැඩිකරන්න නොහැකි වුණත් මට මෙහි සම්පූර්ණ බලතල තිබෙන නිසා එය ඉදිරියේ දී සිදු කරනවා. වර්තමාන ආණ්ඩුවට කුමන චෝදනා කළත් අපේ ආණ්ඩුව යටතේ අපි කවුරුත් මරලා නෑ. සුදු වෑන් නෑ. ලසන්ත වැනි මාධ්‍යවේදීන් ඝාතනය කර නෑ. හැමෝටම නිදහස තියෙනවා. අද විල්පත්තුව ගැන සමාජ ජාලා ඔස්සේ විශාල කතා බහක් යනවා. මෙහි ඇත්ත නැත්ත දන්නේ නෑ. ඒ නිසා වන සංරක්ෂණ කොමසාරිස්තුමාට කියනවා කරුණා කර මේ අවස්ථාවේ ජනතාවට වාර්තාවක් ඉදිරිපත් කරන්න. මේ ආණ්ඩුව පත් වූ පසු විනාශ වූ හෝ නොවුණු කැළෑ ප්‍රමාණය පිළිබඳ.
හොඳ දක්ෂයෙක් එක්සත් ජාතික පෙරමුණෙන් ජනාධිපති අපේක්ෂකයා හැටියට අප ඉදිරිපත් කරනවා. මේ ජනතාවගේ ඉඩමට ඔප්පුවක් අප අද ලබාදීම නිසා මේ අය ඉඩම් හිමියන් බවට පත් වෙනවා. මේ තීරණය ජනාධිපති අගමැති සමඟ ආණ්ඩුව ගත් තීරණයක්. ලාබ ලබන මේ සමාගම මගින් සේවකයන්ට උපරිම සහන සලසන ලෙස අප අදාළ බලධාරීන්ට ද උපදෙස් ලබාදී තිබෙනවා. තවදුරටත් ප්‍රතිලාභ අත්විඳීමට සේවක පාලක දෙපාර්ශවයේම අදාළ වැඩ කොටස නිවැරැදිව සිදු කරන ලෙස මා ඉල්ලා සිටිනවා.
0 Comments