හිඟුරක්ගොඩට ජාතික වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට අරමුදල් සලසා ගැනීම
ශ්‍රී ලංකාවේ සමාජීය හා ආර්ථික සංවර්ධනය සඳහා ඵලදායී රැකියා අවස්ථා ඉලක්ක කරගනිමින් ගුණාත්මක වෘත්තීය අධ්‍යාපනයක් සහ පුහුණුවක් තරුණ ප්‍රජාව වෙත ලබාදීමේ අවශ්‍යතාව රජය විසින් සැලකිල්ලට ගෙන පොළොන්නරුව ඒකාබද්ධ සංවර්ධන වැඩසටහන යටතේ හිඟුරක්ගොඩ ජාතික වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් යුරෝ මිලියන 35ක නෙදර්ලන්ත සහන අරමුදල් යටතේ ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇත. යුරෝ මිලියන 9.7ක ප්‍රදානයක් ඇතුළත් සහන ණය මුදලක් යටතේ මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස නෙදර්ලන්තයේ කෝපරේටිව් රාබෝබැංකුව යූ.ඒ. සමඟ ණය ගිවිසුම්වලට එළඹීම පිණිස මුදල් ඇමැති මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.
නුවරඑළිය ඉහළ උන්නතාංශ ක්‍රීඩා සංකීර්ණයට මූල්‍යාධාර ලබාගැනීම
ශ්‍රී ලංකාවේ ස්වභාවික පිහිටීම උපයෝගී කරගනිමින් නුවරඑළිය ප්‍රදේශයේ මීටර 1,895ක උසින් යුත් හඳුනාගත් භූමියක පුහුණු සංකීර්ණයක් ඉදි කිරීමට සැලසුම් කර ඇත. ඒ සඳහා අවශ්‍ය අරමුදල්වලින් අපනයන ණය පහසුකමක් යටතේ එක්සත් රාජධානියේ අපනයන මූල්‍ය ආයතනය විසින් අවශ්‍ය අරමුදල් සැපයීමට එකඟ වී ඇත. එකී අපනයන ණය පහසුකම මගින් ආවරණය නොවන ව්‍යාපෘති වටිනාකම මූල්‍යයනය කිරීම සඳහා අවශ්‍ය අරමුදල් ලබාදීමට මහජන බැංකුව විසින් එකඟතාව පළ කරනු ලැබ ඇති අතර, ඒ අනුව එම බැංකුව සමඟ සාකච්ඡා සම්මුති පැවැත්වීම පිණිස මුදල් ඇමැති මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාවට ඇමැති මණ්ඩලය අනුමැතිය ලැබී ඇත.
ග්‍රාමීය පාලම් 200ක් ඉදි කිරීමට අරමුදල් සලසා ගැනීම
දුෂ්කර ප්‍රදේශ, දියුණු ප්‍රදේශ හා සම්බන්ධ කිරීමේ අරමුණ ඇතිව ක්‍රියාත්මක වන ග්‍රාමීය පාලම් ඉදි කිරීමේ වැඩසටහන යටතේ ඉදි කිරීමට හඳුනාගෙන ඇති ග්‍රාමීය පාලම් අතරින් පාලම් 200ක් නෙදර්ලන්ත සහන අරමුදල් යටතේ ඉදි කිරීමට සැලසුම් කර තිබේ. යුරෝ මිලියන 14ක ප්‍රදානයක් ඇතුළත් සහන ණය මුදලක් යටතේ මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස නෙදර්ලන්තයේ කෝපරේටිව් රාබෝබැංකුව යූ.ඒ. සමඟ ණය ගිවිසුම්වලට එළඹීම පිණිස මුදල් ඇමැති මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයක් ස්ථාපිත කිරීමට අරමුදල් සලසා ගැනීම
ගුණාත්මක හා පුහුණුව ලත් සෞඛ්‍ය වෘත්තිකයන් ඇති කිරීම මගින් ඉහළ ප්‍රමිතියකින් යුත් සෞඛ්‍ය පහසුකම් රටේ ව්‍යාප්ත කිරීමේත්, උසස් පෙළ විභාගයෙන් සුදුසුකම් සපුරාගත් දක්ෂතා සහිත සිසුන් වෙත ජාතික විශ්වවිද්‍යාල පද්ධතියට ඇතුළත් වීමට ඇති අවස්ථා වැඩි කිරීමේත් අරමුණ ඇතිව අමෙරිකානු ඩොලර් මිලියන 70.46ක ආයෝජනයක් යටතේ සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයක් ස්ථාපිත කිරීමට තීරණය කර තිබේ. ඒ සඳහා වන ව්‍යාපෘතිය අදියර තුනක් යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. මුළු ආයෝජනයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 50ක් සහන ණය මුදලක් ලෙසත්, ඉතිරි ඩොලර් මිලියන 20.46ක් පමණ වන මුදල රජය විසින් යෙදවීමටත් නියමිතය. ඒ අනුව සබරගමුව වෛද්‍ය පීඨය ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතියේ ප්‍රධාන පීඨ ගොඩනැගිල්ල ඉදි කිරීම හා උපකරණ මිල දී ගැනීම ඇතුළත් දෙවන අදියර ක්‍රියාත්මක කිරීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 50ක සහන ණය මුදලක්, සංවර්ධනය සඳහා වන සෞදි අරමුදල (SFD) වෙතින් ලබා ගැනීම සඳහා ණය ගිවිසුමකට එළඹීම පිණිස මුදල් ඇමැති මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.
සහන සැලසීමට පැනවූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පැනවීමට නිකුත් කළ ගැසට් නිවේදන
2007 අංක 48 දරන විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත යටතේ ප්‍රකාශයට පත් කරනු ලබන ගැසට් නිවේදන සඳහා, එම පනතේ 7(iii) වගන්තියේ විධිවිධාන අනුව හැකි ඉක්මනින් යෝජනා සම්මතයක් මගින් පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගත යුතුව තිබේ. ඒ අනුව, පාරිභෝගිකයන්ට හා දේශීය නිෂ්පාදකයන්ට සහන සැලසීම සඳහා පනවන ලද විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පැනවීම්වලට අදාළව ප්‍රකාශයට පත් කරන ලද 2019 01 03 දිනැති අංක 2104/30, 2019 02 01 දිනැති අංක 2108/65, 2019 02 07 දිනැති අංක 2109/15, 2019 02 08 දිනැති අංක 2109/20, 2019 02 24 දිනැති අංක 2111/58 සහ 2019 03 02 දිනැති අංක 2112/48 දරන ගැසට් නිවේදන පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීම සඳහා ඉදිරිපත් කිරීම පිණිස මුදල් ඇමැති මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවිය.
යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පූර්ව සායනික හා අතුරු සායනික ගොඩනැගිල්ල ඉදි කිරීම
ශ්‍රී ලංකාවේ ඥානම් පදනම හරහා රුපියල් මිලියන 740ක ආයෝජනයක් සහිතව නවීන පහසුකම් සහිතව වර්ග මීටර 6,500ක සය මහල් ගොඩනැගිල්ලක් ඉදි කර යාපනය විශ්ව විද්‍යාලය වෙත පරිත්‍යාග කිරීමට එක්සත් රාජධානියේ ලයිකා සමූහ ව්‍යාපාරය එකඟ වී තිබේ. ඒ අනුව, අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා සහ එයට අදාළ ගිවිසුම්වලට එළඹීම පිණිස නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන ඇමැති රවුෆ් හකීම් මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
වැලිසර පිහිටි ශ්වසන රෝග පිළිබඳ ජාතික රෝහල සංවර්ධනය කිරීම
ශ්වසන රෝගවලින් පීඩා විදින රෝගීන්ගේ වර්තමාන සහ අනාගත ඉල්ලුම සපුරාලමින් එම රෝහලේ සෞඛ්‍ය සත්කාර පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා රුපියල් මිලියන 9,180ක ආයෝජනයක් සහිත සංවර්ධන ව්‍යාපෘතියක් අදියරගතව ක්‍රියාත්මක කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරඇත.
පාරම්පරික වෛද්‍ය දැනුම සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘතිය -
II වන අදියර
මේ යටතේ චිරත්කාලීන ප්‍රතිකාර, නිවාරණ ක්‍රමවේද සහ ඇවතුම් පැවතුම් විධි සංරක්ෂණය කරගැනීමටත්, පාරම්පරික වෛද්‍ය ක්‍රමවේද පර්යේෂණයට ලක්කර විද්‍යාත්මකව තහවුරු කිරීමටත්, මේ වෛද්‍ය ක්‍රමය අනාගත පරපුරට උරුම කරදීමටත් නියමිතව ඇත. එම අරමුණු ඉටු කරගැනීම සඳහා රුපියල් මිලියන 350ක ආයෝජනයක් සහිතව මධ්‍යකාලීන අයවැය රාමුවේ මේ දෙවන අදියර ක්‍රියාත්මක කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
රෝග නිශ්චය කිරීමේ පහසුකම් සහිත රසායනාගාරයක් ස්ථාපිත කිරීම
විවිධ ක්ෂේත්‍ර ගණනාවක් ආවරණය වන පරිදි පර්යේෂණ පැවැත්වීම සහ රෝග විනිශ්චය සිදු කිරීම වසර 116ක පමණ ඉතිහාසයක් සහිත වෛද්‍ය පර්යේෂණායතනය මගින් සිදු කරනු ලැබේ. එහි සේවා තවදුරටත් පුළුල් කරමින් හානිකර හා අන්තරාදායක ක්ෂුද්‍ර ජීවීන් නිසා ඇතිවන ආසාධන පැතිරීම්වලදී එම ක්ෂුද්‍ර ජීවීන් හඳුනා ගැනීමට හා ඒ සම්බන්ධව ආරක්ෂා සහිතව ක්‍රියා කිරීමට අවශ්‍ය උසස් මට්ටමේ පහසුකම් වැඩිදියුණු කිරීමේ අරමුණින් ජීව-ආරක්ෂිත 3 වන මට්ටමේ රසායනාගාරයක් රුපියල් මිලියන 125ක ආයෝජනයක් සහිතව ස්ථාපිත කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දි තිබේ.
විදුලිබල කර්මාන්තය ගැන වූ පොදු ප්‍රතිපත්ති මාර්ගෝපදේශ නිකුත් කිරීම
මෙතෙක් ක්‍රියාත්මක වන 2009 දී ප්‍රකාශයට පත් කර ඇති මාර්ගෝපදේශ අහෝසි කරමින්, බලශක්ති ක්ෂේත්‍රයේ පැන නඟිමින් පවතින ගැටලු විසඳීමේ අරමුණින් ඉන්ධන විවිධත්වය හා සුරක්ෂිතතාව, විදුලිබල අයක්‍රම, විදුලිය උත්පාදනය, සම්ප්‍රේෂණ හා බෙදා හැරීමේ පද්ධති, විදුලි ව්‍යාපෘති මූල්‍යනය, බලශක්ති සංරක්ෂණය, පාරිභෝගික සේවා, බහු අංශ සංවර්ධනය, ආරක්ෂාව හා බලපත්‍ර ලබා ගැනීමෙන් නිදහස් කිරීම යනාදී අංශ ඇතුළත් කරමින් සකස් කර ඇති නව මාර්ගෝපදේශ නිකුත් කිරීම පිණිස විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන ඇමැති රවී කරුණානායක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
උසාවි දඩ මුදල් සහ ඉඩම් පැවරීම මත අයවන මුද්දර ගාස්තු විධිමත් කිරීම
පළාත් පාලන ආයතන බල ප්‍රදේශවල උසාවි දඩ මුදල් සහ ඉඩම් පැවරීම් සඳහා ලියා සහතික කරනු ලබන ඔප්පු මත අයවන මුද්දර ගාස්තුවලින් එකතු වන ආදායම් එකී පළාත් පාලන ආයතනවලට ලබාදීම සඳහා දැනට පවතින ක්‍රමවේදය වඩා කාර්යක්ෂම කිරීමේ අරමුණින් 1987 අංක 42 දරන පළාත් සභා පනතේ 19 වන වගන්තිය සංශෝධනය කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, සකස් කර ඇති පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අදහස් ලබාගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154උ ව්‍යවස්ථාව අනුව ජනාධිපතිතුමා මගින් පළාත් සභා වෙත යොමු කර සංශෝධන කිසිවක් පවතින්නේ නම් ඒවාද ඇතුළත් කර සකස් කරනු ලබන පනත් කෙටුම්පත අනුමැතිය පිණිස පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන ඇමැති වජිර අබේවර්ධන මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.
රත්නපුර නානවලදොළ ජල මූලාශ්‍රයේ ජල පෝෂක ප්‍රදේශය සංරක්ෂණය කිරීම
රත්නපුර නානවලදොළ ජල මූලාශ්‍රය මගින් අක්කර 89ක පමණ කුඹුරු ඉඩම් සඳහා ජලය සපයනු ලබන අතර ඒ ආශ්‍රිතව ක්‍රියාත්මක වන පානීය ජල ව්‍යාපෘතිය මගින් පවුල් 140ක් සඳහා ජලය සපයනු ලැබේ. ඒ අනුව එම ජල මූලාශ්‍රයට අයත් ජලපෝෂක ප්‍රදේශය සංරක්ෂණය කර පවත්වාගෙන යෑමේ වැදගත්කම සැලකිල්ලට ගෙන දැනට නාගරික සංවර්ධන අධිකාරිය වෙත පැවරී ඇති එම භූමිය ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත පවරා දීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.
රාජගිරිය සෙරමෝනියල් ඩ්‍රයිව් ප්‍රදේශයේමැදි ආදායම් ලබන වෘත්තිකයන්ට නිවාස ව්‍යාපෘතියක්
රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවා නියුක්තිකයන් ඇතුළු මැදි ආදායම් ලබන පවුල් සඳහා දැරිය හැකි මුදලකට නිවාස ඒකක 500,000ක් සැපයීමේ ව්‍යාපෘතියක් රජය විසින් ක්‍රියාත්මක කරනු ලැබේ. ඒ යටතේ රාජගිරිය සෙරමෝනියල් ඩ්‍රයිව් ප්‍රදේශයේ මැදි ආදායම් ලබන වෘත්තිකයන් සඳහා නිවාස ඒකක 177කින් සහ අනෙකුත් පහසුකම්වලින් යුත් නිවාස ව්‍යාපෘතියක්, රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්ව පදනම යටතේ ක්‍රියාත්මක කිරීම පිණිස මහනගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
පාකිස්තානය හා ශ්‍රී ලංකාව අතර උක් අභිජනන ද්‍රව්‍ය හුවමාරු කිරීම ගැන අවබෝධතා ගිවිසුමකට එළඹීම
පාකිස්තානය හා ශ්‍රී ලංකාව අතර උක් අභිජනන ද්‍රව්‍ය හුවමාරු කිරීම මගින් දෙරටටම අන්‍යෝන්‍ය වශයෙන් අත් කරගත හැකි ප්‍රතිලාභ සැලකිල්ලට ගෙන ශ්‍රී ලංකාවේ උක් පර්යේෂණ ආයතනය, පාකිස්තානයේ ෆයිසලාබාද්හි උක් පර්යේෂණ සංවර්ධන මණ්ඩලය සහ එහි උක් පර්යේෂණ ආයතනය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම පිණිස වැවිලි කර්මාන්ත ඇමැති නවින් දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
ප්‍රමුඛතා මාර්ග පුනරුත්ථාපන හා වැඩිදියුණු කිරීම
යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිය සඳහා අරමුදල් සැපයීම පිණිස ශ්‍රී ලංකාව සහ චීන සංවර්ධන බැංකුව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම අනුව ක්‍රියාත්මක කරන ලද ප්‍රමුඛතා මාර්ග ව්‍යාපෘතිය යටතේ අමෙරිකානු ඩොලර් මිලියන 16.8ක ඉතිරිවීම් භාවිතා කරමින් ප්‍රමුඛතා පදනම මත තෝරා ගනු ලබන අතිරේක මාර්ග පුනරුත්ථාපනය හා වැඩිදියුණු කිරීම පිණිස මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ඇමැති කබීර් හෂීම් මහතාඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරඇත.
මහනුවර - ගැටඹේ අධිකරණ සංකීර්ණය සංවර්ධනය කිරීම
අධිකරණ 11කින් සමන්විත මහනුවර - ගැටඹේ අධිකරණ සංකීර්ණය රුපියල් මිලියන 303.5ක ආයෝජනයක් සහිතව ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව මඟින් වැඩිදියුණු කිරීම පිණිස අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැතිනී තලතා අතුකෝරල මහත්මිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.
ගැටුම් හේතුවෙන් බලපෑමට ලක් වූ පුද්ගලයන්ගේ දේපළ පිළිබඳ අධිකරණ ක්‍රියාමාර්ග ගත හැකි වන පරිදි සහන කාලයක් ලබාදීම
පසුගිය සමයේ පැවැති ගැටුම් හේතුවෙන් ඉඩම් ඇතුළු නිශ්චල දේපළ නැවත අත්කර ගැනීම සඳහා අධිකරණය හමුවේ සිය අයිතිවාසිකම් ආරක්ෂා කරගැනීමට නොහැකි වූ පුද්ගලයන් සඳහා විශේෂ නෛතික විධිවිධාන සලසාදීමේ අරමුණින් 2016 අංක 5 දරන කාලාවරෝධ (විශේෂ විධිවිධාන) පනත බලාත්මක කරන ලදී. එම පනත මගින් අවාසිදායක තත්ත්වයට පත්වූ තැනැත්තන් කාලාවරෝධ ආඥා පනතේ විධිවධානවලින් බැහැර කරනු ලබන අතර මේ පනත ක්‍රියාත්මක කරන දින සිට වසර 02ක කාලසීමාවක් තුළ අධිකරණයට නඩුවක් පැවරීමට අවාසිදායක තත්ත්වයට පත්වූ තැනැත්තන්ට අවස්ථාව සලසා දෙයි. නඩුකරයක් පැවරීම සඳහා ගැටුම් පැවැති සමයේ අස්ථානගත වූ ලියකියවිලි නැවත සකස් කරගැනීමට හෝ ඉඩම්වල අයිතිය සම්බන්ධයෙන් අදාළ සාක්ෂි රැස්කිරීමට සහ මේ පනත පිළිබඳ අදාළ පුද්ගලයන් දැනුවත්විම සඳහා ප්‍රමාණවත් කාලයක් ලබාදිය යුතු බව නිරීක්ෂණය වි ඇත. එබැවින් මේ පනත ක්‍රියාත්මකවීමේ කාලය තවදුරටත් වසර 03කින් දීර්ඝ කිරීම සඳහා කාලාවරෝධ (විශේෂ විධිවිධාන) පනත නැවත පැනවීම සඳහා නීති කෙටුම්පත් කිරීම පිණිස අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැතිනී තලතා අතුකෝරල මහත්මිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
1982 අංක 33 දරන වකුප් පනත කාලානුරූපීව යාවත්කාලීන කිරීම
රටපුරා පිහිටා ඇති මුස්ලිම් පල්ලි හා මුස්ලිම් පුණ්‍ය භාර පරිපාලනයේ පවතින ගැටලු සහ ආරවුල් විසඳීම සඳහා අවශ්‍ය නෛතික මාර්ගෝපදේශ සැලසීම සහ වකුප් සභාව සහ වකුප් විනිශ්චය සභාව යන ආයතනවල මනා ක්‍රියාකාරිත්වය වෙනුවෙන් වත්මන් වකුප් පනතට කාලානුරූපව අවශ්‍ය වන යාවත්කාලීන කිරීම් සිදු කිරීම පිණිස අවශ්‍ය සංශෝධන සලකා බැලීම සඳහා විද්වත් කමිටුවක් පත් කිරීමටත් ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමටත් තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු ඇමැති එම්.එච්.ඒ.හලීම් මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.
බොරලන්ද පිහිනුම් තටාකය ඉදි කිරීම
වැලිමඩ, බොරලන්ද ප්‍රදේශයේ පිහිටා ඇති නගරය ආසන්නයේ පිහිටි බොරලන්ද පොලිස් අභ්‍යාස විද්‍යාලය පිහිටා ඇති භූමියේ මංතීරු 06කින් යුත් මීටර 25ක් දිග පිහිණුම් තටාකයක් ඉදි කිරීමට යෝජනා වී ඇත. එම ප්‍රදේශයේ වෙසෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට, පාසල් දරුවන්ට රාජ්‍ය සේවකයන්ට, පොලිස් නිලධාරින්ට, පාසල් බාලදක්ෂයන්ට, ජීවිත ආරක්ෂක පිහිණුම් උපදේශකයන් පොලිස් හා අනෙකුත් සේවාවල ආධුනික නිලධාරින්ගෙන් පුහුණු කටයුතු සඳහා යොදා ගැනීමේ අපේක්ෂාවෙන් මේ පිහිණුම් තටාකය භාවිතයට ගතහැකිවනු ඇත. රුපියල් මිලියන 50ක ආයෝජනයක් සහිතව මේ ව්‍යාපෘති සිදු කිරීම පිණිස විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
ජාත්‍යන්තර නිදහස් වෙළෙඳාමේ ප්‍රතිලාභ අත්කර ගැනිම සඳහා වන වෙළඳ ගැලපුම් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම
නිදහස් වෙළෙඳාම හා ජාත්‍යන්තර තරගකාරිත්වයෙන් ශ්‍රී ලංකා ආර්ථිකයට ලබා ගත හැකි ප්‍රතිලාභ වර්ධනය කරගැනීම සඳහා එම ක්ෂේත්‍රයට අදාළ පාර්ශ්වයන්ගේ පුළුල් සහභාගිත්වය ඇතිව සවිස්තරාත්මක වෙළෙඳ ගැළපුම් වැඩසටහනක් සකස් කරනු ලැබ තිබේ. ඒ අනුව, මේ වැඩසටහන ඵලදායි ආකාරයෙන් ක්‍රියාත්මක කිරීමට හැකි වන පරිදි කර්මාන්ත සඳහා වෙළෙඳ ගැළපුම් නිර්දේශ කිරීමට ස්වාධීන ආයතන ලෙස වෙළෙඳ හා ඵලදායිතා කොමිසම, ඒකාබද්ධ මෙහෙයුම් කමිටුව හා වෙළෙඳ හා ඵලදායිතා කොමිසමක් ස්ථාපිත කිරීම පිණිස මුදල් ඇමැති මංගල සමරවීර මහතා සහ සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ ඇමැති මලික් සමරවික්‍රම මහතා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
රජරට විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨගොඩනැඟිල්ලේ අදියර
1-2 ඉදිකිරීම්
රජරට විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨය සඳහා යෝජිත ගොඩනැඟිල්ලේ අදියර 2 සහ 3 ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 356.3ක මුදලකට ඉංජිනේරු සේවා පුද්ගලික සමාගම වෙත ප්‍රදානය කිරීම පිණිස නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන ඇමැති රවුෆ් හකීම් මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.
මහියංගණය, වවුනියා, ඇඹිලිපිටිය ග්‍රිඩ් උප පොළ 03ට ආයෝජකයන් සමඟ ගිවිසුම්වලට එළඹීම
සූර්යබල සංග්‍රාමය වැඩසටහන යටතේ දිවයින පුරා මධ්‍යම ජාලයට සම්බන්ධ කරන ලද සූර්ය බලාගාර 90 ඉදි කිරීම සඳහා ග්‍රිඩ් උපපොළවල් හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව මහියංගණය, ඇඹිලිපිටිය සහ වවුනියා ග්‍රිඩ් උපපොළවල් සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි තෝරා ගනු ලැබ ඇති ආයෝජකයන් සමඟ විදුලිය මිල දී ගැනීමේ ගිවිසුම්වලට එළඹීම පිණිස විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන ඇමැති රවී කරුණානායක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
පුත්තලම ගල් අඟුරු බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු මිල දී ගැනීම
පුත්තලම ගල් අඟුරු බලාගාරය සඳහා කඩිනමින් අවශ්‍ය ගල් අඟුරු ක්ෂණික මිල දී ගැනීම් (Spot Tender) යටතේ මිල දී ගැනීම සඳහා අනුමැතිය ලබා දෙනු ලැබ ඇති අතර, ඒ අනුව එම බලාගාරය සඳහා අවශ්‍ය ගල් අඟුරු මෙට්‍රික් ටොන් 300,000 ගැනීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි මෙට්‍රික් ටොන් 01ක් අමෙරිකානු ඩොලර් 81.87 බැගින් M/s Adani Global Pte. Ltd වෙතින් මිල දී ගැනීම පිණිස විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන ඇමැති රවී කරුණානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිවිය.
බතලයාය, බෙලගන්වැව සහ ගිරාදුරු-කෝට්ටේ ජල සම්පාදන යෝජනා ක්‍රම
පළාත් පාලන වැඩිදියුණු කිරීමේ ආංශික ව්‍යාපෘතිය යටතේ ඌව පළාතේ බතලයාය සහ බෙලගන්වැව ප්‍රදේශ සඳහා ජලනළ දීර්ඝ කිරීමේ කොන්ත්‍රාත්තුව සහ ගිරාදුරු-කෝට්ටේ ජල පවිත්‍රාගාරය වැඩිදියුණු කිරීමේ හා ජල තුළුමුව ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ (CACP) නිර්දේශය පරිදි Squire Mech Engineering (pvt) Limited වෙත පිරිනැමීම පිණිස අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන ඇමැති වජිර අබේවර්ධන මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.
ගැඹුරු මුහුදේ වැලි කැණීමට ඩ්‍රෙජර් යන්ත්‍රයක් (TSHD) මිල දී ගැනීම
ඉදි කිරීම් කර්මාන්තයේ වර්ධනයත් සමඟ අනාගතයේදී වැලි සඳහා ඇති වන ඉහළ ඉල්ලුම සපුරාලීම සඳහා හැකියාව වර්ධනය කරගැනීම සඳහා ගැඹුරු මුහුදේ වැලි කැනීම පිණිස භාවිතා කරනු ලබන ඩ්‍රෙජර් යන්ත්‍රයක් මිල දී ගැනීම සඳහා මහානගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2019 මැයි මාසයට අවශ්‍ය පොහොර ප්‍රසම්පාදනය
මේ වර්ෂයේ මැයි මාසය සඳහා සීමාසහිත ලංකා පොහොර සමාගම හා සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගම සඳහා අවශ්‍ය රසායනික අවශ්‍යතාව සපුරනු පිණිස යූරියා මෙට්‍රික් ටොන් 8,000ක් මෙට්‍රික් ටොන් 1ක් අමෙරිකානු ඩොලර් 302.54 බැගින්, මියුරියේට් ඔෆ් පොටෑෂ් මෙට්‍රික් ටොන් 8,900ක් මෙට්‍රික් ටොන් 1ක් අමෙරිකානු ඩොලර් 343.74 බැගින් හා මියුරියේට් ඔෆ් පොටෑෂ් (රතු/රෝස) මෙට්‍රික් ටොන් 2,000ක් මෙට්‍රික් ටොන් 1ක් අමෙරිකානු ඩොලර් 343.74 බැගින් අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි සීමාසහිත වැලන්සි ඉන්ටර්නැෂනල් ට්‍රේඩින් පුද්ගලික සමාගම වෙතින් මිල දී ගැනීම සඳහා කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති පී.හැරිසන් මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
ශ්‍රී ලංකා දුම්රිය සේවයට මගී මැදිරි 75ක් හා බහාලුම් ගැල් 20ක් සැපයීමට වන ප්‍රසම්පාදනය
ඉන්දුනීසියානු අපනයන හා ආනයන බැංකුව බැංකුවේ මූල්‍ය සහාය යටතේ උඩරට මාර්ගයන්හි දුම්රිය සේවා සඳහා අඩි 50 ප්‍රමාණයේ මගී මැදිරි 75ක් හා බහාලුම් ගැල් (flat bed) 20ක් ශ්‍රී ලංකා දුම්රිය සේවය වෙත මිල දී ගැනීම සඳහා වන කොන්ත්‍රාත්තුව ඉන්දුනීසියානු රජයට අයත් PT Industri Kerete Api (PT INKA) දුම්රිය සමාගම වෙත පිරිනැමීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා ඇමැති අර්ජුන රණතුංග මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.
0 Comments