ලෝකයේ විශාල ඉල්ලුමක් ඇති මත්ස්‍යයන් මුහුදේ සහ ගොඩබිම වගා කරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය ඇමැති දිලිප් වෙදආරච්චි මහතා පවසයි. මෙය ධීවර ක්‍ෂේත්‍රයේ අනාගත අභියෝගය බව ද ඇමැතිවරයා සඳහන් කරයි.
ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය ඇමැති දිලිප් වෙදආරච්චි මහතා මෙසේ ප්‍රකාශ කළේ 26දා කොළඹ හිල්ටන් හෝටලයේ පැවැති දකුණු ආසියාවේ වාණිජමය වටිනාකමක් ඇති වරල් මත්ස්‍ය වගාවේ සංවර්ධනය පිළිබඳ සාර්ක් කලාපීය උපදේශක වැඩමුළුවේ සමාරම්භක අවස්ථාවට එක්වෙමිනි.
ජලජීවී වගාව ලෝකයේ මිලියනයක් පමණ ජනතාවගේ ජීවනෝපාය මාර්ගයක් මෙන්ම පෝෂණ සුරක්ෂිතතාව ලබා දෙන මුලාශ්‍රයක් බවට පත් වී ඇත. වර්තමානය වන විට ජල ජීවි සහ ධීවර නිෂ්පාදන අලෙවිය දැවැන්ත ව්‍යාපාරයක් බවට පත්ව ඇති අතර ලෝකය තුළ මේ ආහාර වෙළෙඳ ද්‍රව්‍ය අපනයනයෙන් 2016 වසරේ දී අමෙරිකානු ඩොලර් බිලියන 243.5 දක්වා ඉහළ නැංවී ඇතිබව FAO 2018 වාර්තා අනුව සඳහන් වේ.
දකුණු ආසියාව තුළ වරල් මත්ස්‍ය ජලජීවී වගාව ඉතා ශීඝ්‍ර ලෙස සංවර්ධනය වෙමින් පවතින අතර පසුගිය දශකය තුළ වාර්ෂික වර්ධන වේගය 6% වඩා වැඩි අගයක් වූ අතර එය දකුණු ආසියාවේ වේගයෙන් වර්ධනය වන උප අංශයක් බවටද පත්ව ඇත.
සාර්ක් කලාපිය රටවල ජලජීවි වගාව පිළිබද විශේෂඥයන් එක්ව සිටින මෙම සමුළුවේ සමාරම්භක උත්සවයේදී රාජ්‍ය ඇමැති දිලිප් වෙදආරච්චි මහතා සඳහන් කරන්නේ ධිවර කර්මාන්තයේ අනාගතය සහ විදේශ විනිමය ඉලක්ක කර ගනිමින් ලෝකයේ වැඩිම ඉල්ලුමක් සහිත මත්ස්‍ය වගාව සඳහා ලාංකික ධීවර ව්‍යවසායකයන්ට අවස්ථාව උදාකරදීමට ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය හරහා හැකියාව ලැබී ඇති බවය.
ඒ අනුව මුහුදේ මත්ස්‍ය වගාව ආරම්භ කිරීමට ජලජීවි වගා සංවර්ධන අධිකාරිය මේ වන විටත් කටයුතු කරගෙන යන බවත් එහි සාර්ථක ප්‍රතිඵල ලැබෙමින් පවතින බවත් සඳහන් කළා.
මුහුදේ සහ ගොඩබිම මත්ස්‍ය වගාව සඳහා දැනටමත් ආයෝජකයන් ඉදිරිපත්ව සිටින බව සඳහන් කළ රාජ්‍ය ඇමැතිවරයා ජලජීවි වගා ක්‍ෂේත්‍රයේ ආයෝජනය සඳහා විදේශ ආයෝජකයන්ට ආරාධනය කරන බවත් සඳහන් කරයි. මත්ස්‍ය වගාවේදී කලාපිය රටවල සහාය, දැනුම මෙන්ම ආශිර්වාදය අත්‍යවශ්‍ය බවද රාජ්‍ය ඇමැති දිලිප් වෙදආරච්චි මහතා ප්‍රකාශ කරයි.
වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය ඇමැති දිලිප් වෙදආරච්චි මහතා,
“අප රජය මේ වන විටත් මෙම ජලජීවී කර්මාන්තයේ නව ව්‍යාපෘති ජනතාව අතරට හඳුන්වා දීමට දීප ව්‍යාප්ත ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති බව සතුටින් ප්‍රකාශ කරන අතර ඒ වෙනුවෙන් විශාල කාර්යභාරයක් නිරන්තරයෙන් සිදු කරමින් සිටින ශ්‍රි ලංකා ජාතික ජලජීවි වගා සංවර්ධන අධිකාරියට මාගේ විශේෂ ස්තුතිය මේ අවස්ථාවේදි ප්‍රකාශ කරනවා.
ජලජීවි වගා කර්මාන්තය ව්‍යාප්ත කිරීම සඳහා උචිත ජල ප්‍රභවයක් පවතින ප්‍රදේශ මේ වන විටත් අප විසින් හඳුනාගෙන ඇත. එම ප්‍රදේශවල ජනතාව මෙම වගාවන්ට යොමු කිරීමේ කටයුතු සිදු කරමින් පවතිනවා. විශේෂයෙන්ම ශ්‍රි ලංකාවේ මුහුදු මත්ස්‍ය වගාවන් උතුරු, නැඟෙනහිර මෙන්ම දකුණු පළාත් මුහුදු තීරය කේන්ද්‍ර කර ඉතා සාර්ථකව සිදු කළ හැකි බව දේශීය- විදේශීය උපදේශකවරුන් විසින් මේ වන විටත් සොයාගෙන තියෙනවා. විශාල විදේශ වෙළෙදපොළක් ඇති මෙම මොදා වැනි මුහුදු මත්ස්‍ය ජලජීවි වගාව සඳහා මේ වන විටත් ආරම්භ කර අපනයන කාර්ය සඳහා යොමු වී ඇති බවද මට මේ අවස්ථාවේ සතුටින් ප්‍රකාශ කර සිටින්න පුළුවන්.
මෙම ජලජීවි වගාව සඳහා සුදුසු ස්වාභාවික ජල ප්‍රභවයක් ඇති අප රටේ මෙම ජලජීවි ව්‍යාපෘති ආරම්භ කිරීමට කැමැත්තක් දක්වන කලාපීය ආයෝජකයන්ට ඉඩප්‍රස්ථාව සලසා දීමට අප රජය නිරන්තරයෙන් ක්‍රියා කරන බව ඔබට කියන්නේ සතුටින්. ඒ සඳහා කැමති ආයෝජකයන් සඳහා රජය වෙනුවෙන් මා ආරාධනා කරන කැමතියි අප හා එක්වන ලෙස.
මේ අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ජාතික ජලජීවි වගා සංවර්ධන අධිකාරියේ සභාපති එන්. පී මදවන් ආරච්චි, කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග හා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශ ලේකම් කේ. ඩී. එස් රුවන්චන්ද්‍ර, සාර්ක් කෘෂිකර්ම මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ වැඩසටහන් විශේෂඥ ආචාර්ය ෂිබා සංකර් ගිරි මහතා, ශ්‍රී ලංකා ජාතික ජලජීවි වගා සංවර්ධන අධිකාරියේ (වෙරළ ආශ්‍රිත ජලජීවි සංවර්ධන) අධ්‍යක්ෂිකා ආචාර්ය එම්. අසෝකා මහත්මිය සහ සාර්ක් කලාපීය රටවල නියෝජිතයෝ ඇතුළු පිරිසක් එක් වූහ.
ක්‍රිසන්ති විතාරණ
ඡායාරූපය - සමන් ශ්‍රී වෙදගේ
0 Comments