අධික පොලී අයකරමින් ජනතාව සූරාකන අවිධිමත් මූල්‍ය ආයතනවල ක්‍රියා මැඩලීමට අලුතින් ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නියාමනය කිරීමේ ආයතනයක් පිහිටුවිය යුතු යැයි ජාතික ආර්ථික සභාව රජයට යෝජනා කොට ඇත.
අවිධිමත් ක්ෂුද්‍ර මූල්‍ය ආයතන මේ වනවිට රටපුරා දසදහසකට වඩා ඇතැයි හඳුනාගෙන තිබෙන අතර, ඉන් ව්‍යාපාර පිළිගත් ලෙස ලියාපදිචි කිරීමට සුදුසුකම් සපුරා ලියාපදිංචි වීමට ඉල්ලුම්පත් යොමුකොට තිබෙන්නේ ආයතන 04ක් යැයි ජාතික ආර්ථික සභාවේ මහලේකම් මහාචාර්ය ලලිත් සමරකෝන් මහතා ප්‍රකාශ කෙළේය. කොළඹ කොටුව ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ ඊයේ (27) පැවැති ජාතික ආර්ථික සභාව විසින් සංවිධානය කළ විශේෂ මාධ්‍ය හමුවකදී මහාචාර්ය ලලිත් සමරකෝන් මහතා එසේ කීය.
වසර 2016 අංක 06 දරන ක්ෂුද්‍ර මූල්‍ය පනත මගින් මේ ජනතාව සූරාකන ආයතන මැඩලීමට විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇත. ඒ අනුව නිසි පරිදි ජනතාවගේ තැන්පතු භාර ගැනීමට හැකි ලෙස ආයතන 04ක් පමණක් ලියාපදිංචි වීමට සුදුසුකම් ලබා ඇත. රාජ්‍ය නොවන සංවිධාන අංශය යටතේ ජනතාවට ණය මුදල් ලබාදීමට සුදුසු ආයතන ලෙස ආයතන 16ක් පමණක් සුදුසුකම් ලබා තිබෙන බව ජාතික ආර්ථික සභාවේ නියෝජ්‍ය මහ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය හරීන්ද්‍ර දිසාබණ්ඩාර මහතා ප්‍රකාශ කෙළේය.
මේ වනවිට රටපුරා පිහිටුවා ඇති ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවලින් රුපියල් බිලියන 160ක් තරම් මුදලක් අධික පොලී ප්‍රතිශත යටතේ ජනතාවට ණය මුදල් ලෙස ලබාදී ඇති බවට මහාචාර්යවරයා මෙහිදී අනාවරණය කෙළේය.
සමහර පොලී අයකිරීම් දිනකට සියයට එකක් ලෙස ගණන් බලා ඇතැයි කී මහාචාර්යවරයා, ඒ අනුව මේවායේ වාර්ෂික පොලී ප්‍රතිශතය සියයට 300 – 365 දක්වා ඉහළ බව ද කීය.
මේ අන්දමට මහජනතාව දැඩි ලෙස සූරාකමින් ජනතාව දිගින් දිගටම ණය උගුලක හිරකරවන මූල්‍ය ආයතන මැඩලීමට රටේ ජනතාවගේ මූල්‍ය සාක්ෂරතාවය ඉහළ නැංවිය යුතු බවත්, ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවලින් ලබා ගන්නා ණයවලට වාර්ෂික අයකරන පොලී ප්‍රතිශතය සියයට 35 මට්ටමට උපරිමයකට යටත් කළ යුතු බවත් ජාතික ආර්ථික සභාව රජයට තම යෝජනා ලෙස නිර්දේශ ඉදිරිපත් කොට තිබේ.
0 Comments