මහින්ද අලුත්ගෙදර
රටේ කුමන පුරවැසියෙක් වුවද සෘජුව, අවංකව සහ කැපකිරීම් තුළ රට වෙනුවෙන් සේවය ලබාදෙන්නේ නම් නීතිරීති කෙතරම් ශක්තිමත්ව තිබුණ ද එය ගැටලුවක් නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව සඳහන් කෙළේ බත්තරමුල්ලේ පිහිටි ජාතික විගණන කාර්යාලයේ දී ඊයේ (27) පැවැති ශ්‍රී ලංකා විගණන සේවා සංගමයේ 61 වැනි සංවත්සර උළෙල අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් පළකළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේද පැවසිය.
වසර 220 ට වැඩි ඉතිහාසයක් තිබෙන රාජ්‍ය විගණන සේවයේ පරම්පරාවෙන් පැවත එන සංගමයේ 61 වැනි වාර්ෂික සමුළුව අද පවත්වනවා. මේ සඳහා ආරාධනා කිරීම සම්බන්ධයෙන් මගේ ස්තුතිය පිරිනමනවා. අපේ රටේ රාජ්‍ය සේවයේ විගණනය සම්බන්ධයෙන් තිබෙන දීර්ඝ අත්දැකීම්, අවබෝධය, දැනුම සමඟ සැමවිටම ජාතියේ අනාගතය වෙනුවෙන් උතුම් සේවයක් කරන පිරිසක්. රාජ්‍ය සේවය වගේම රට හා රටේ වත්පොහොසත්කම, රාජ්‍ය දේපොළ, සම්පත් සියල්ල රැකෙන්නේත් රකින්නේත් ඔබයි. විගණකාධිපති දෙපාර්තමේන්තුවක් රටක නැතිනම් ඒ රට කෙසේ පවතී ද කියන ප්‍රශ්නය තිබෙනවා. අද ඇතැම් අයට රාජ්‍ය සේවයේ ප්‍රශ්නය මෙවැනි දෙපාර්තමේන්තුවක් තිබීමයි. නමුත් රට වෙනුවෙන් වැඩකරන අයට එවැනි දෙපාර්තමේන්තුවක වැදගත්කම හොඳින් අවබෝධ කර ගෙන තිබෙනවා.
අපිට නිදහසින් පසුව ශ්‍රී ලංකාව ගත්විට රාජ්‍ය විගණන සේවය පිළිබඳව වසර 220කට එහා ගිය අතීතයක්, ඉතිහාසායක් ඔබට තිබෙනවා. ඒ නිසා මේ දෙපාර්තමේන්තුව ගත්විට පැරැණිම දෙපාර්තමේන්තුවක් වෙනවා. ඒ සියල්ල සමඟ අද දවස වගේම ඊයේ සහ හෙට දවස වෙනුවෙන් කරන විශිෂ්ඨ වූ මෙහෙවර අගය කරනවා. මේ රටේ දෙපාර්තමේන්තු අතර සිය දෙපාර්තමේන්තුවේ අනන්‍යතාවය, ගෞරවය රැකගෙන කටයුතු කරන පිරිසක්. ඇතැම් දෙපාර්තමේන්තු ගත්විට කතා කරන්නවත් නොහැකි දෙපාර්තමේන්තු තිබෙනවා. ඒ දෙපාර්තමේන්තුවල අරමුණු ඉටුනොවෙනවා වගේම රාජ්‍ය සම්පත්, රාජ්‍ය ධනය, පොදු ජනතාවගේ සම්පත් විනාශ කරන, සෝදාපාළුවට ලක්කරන දෙපාර්තමේන්තු මේ රටේ තිබෙනවා. ඒ නිසා ශීලාචාර සමාජයකට අවශ්‍ය යහපාලන සංකල්පය, මූල්‍ය කළමනාකරණය හා විනය, පාර්ලිමේන්තුවට මූල්‍ය කළණාකරනය සිය වාර්තා දීමේ ප්‍රධාන වගකීම දරන ඔබ ඔබේ සේවාවන් හැමවිටම ශක්තිමත් කිරීම අවශ්‍යයි.ඒ නිසා විගණන සේවා කොමිසම අපි පත් කෙළේ, පිහිටෙවුවේ. එය පිහිටුවන්න කෙතරම් අමාරු වුණා ද කියා අපි දන්නවා. ඒකට පස්සෙන් ඇද්දේ කවුරුන්ද යන්නත් ඔබ දන්නවා. වසර දෙකක් පමණ එය ප්‍රමාද වුණාට පසුව 2017 වසරේ දෙසැම්බර් මාසයේ විපක්ෂයෙන් අහපු ප්‍රශ්නයක දී මම කිවුවා ලබන ජනවාරි මස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා කියා කිව්වා. මොන ඉදිරිපත් කිරීමක් ද. එයට අවශ්‍ය බලතල දීම පිළිබඳ ප්‍රශ්නය තමයි එතරම් ප්‍රමාද වුණේ. ඇයි ඒ බලතල දෙන්න බය වුණේ. ඒ බලතල දෙන්න බය වුණේ දේශපාලඥයන් නොවන බවත් ඔබ දන්නවා. පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය හෝ විපක්ෂය නොවෙයි ඒ බලතල දෙන්න බය වුණේ. නමුත් දේශපාලඥයින් පාවිච්චි කළා ආණ්ඩුවේ බලතල දෙනවාට විරුද්ධ රාජ්‍ය සේවක පිරිසක්. අපි සෘජුව වැඩ කරනවා නම් අවංකව වැඩ කරනවා නම් රට වෙනුවෙන් කැපවීම සහ සේවය නිසි අයුරින් ලබා දෙනවා නම් නීතිරීති කොතෙක් ශක්තිමත් වුණත් ප්‍රශ්නයක් නැහැ. අවංකභාවය, සෘජුභාවය, කැපවීම , රටේ ජනතාව හෙට උපදින දරුවන් මේ සියලු දෙනාගේම වගකීම අද මේ සියලු මට්ටම්වල සෑම අයෙක්ම සතුයි. දේශපාලඥයා, රාජ්‍ය සේවකයා, ව්‍යාපාරිකයා සෑම කෙනෙකුටම.
නමුත් ඒ තත්ත්වය අපි කොතෙක් දුරට හදුනාගෙන තිබෙනවා ද. පාර්ලිමේන්තුවේ ආචාර ධර්ම පිළිපදින්න පොත කියවා තිබෙන්න ඕනෑ. එහෙම තමයි මේ රටට සිදුව තිබෙන දේ. නමුත් අපි රට පිළිබඳව වගකීම් දැරීමේ දී මම පුද්ගලිකව සතුටු වෙනවා මේ ආණ්ඩු පාලන කාලය සහ මා පිළිබඳ මොන විදියේ විවේචන තිබුණ ද මම මගේ වගකීම් සහ යුතුකම් මට කළ හැකි උපරිම මට්ටමින් කළා කියා බය නොමැතිව කියන්න පුළුවන්. පසුගිය ආණ්ඩු කාලයේ වංචා දූෂණ සොයන්න ජනාධිපති කොමිසමක් පත්කර වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. එහි නිර්දේශ අනුව එයින් එහාට කටයුතු කිරීම අදාළ අමාත්‍යාංශවල වගකීමක්. ලංකාවේ මෙතෙක් සිදු වූ මහ බැංකු කොල්ලය කියන මහා කුණු කන්දරාව කොළොන්නාව කුණු කන්දට වඩා විශාල කුණු කන්දක් තමයි ආණ්ඩුවේ ඇඟට දාගත්තේ. මම ඉක්මනට ජනාධිපති කොමසමක් පත්කරලා කවුද වැරැදිකරුවන් කියා මම රටට පෙන්නුවා. ඒ වගේම දැන් වසර හතරක් ගත වෙලා කියනවා. ඒ මිනිසුන්ට දඩුවම් දෙන්න බැහැ. ඒ මිනිස්සු ආණ්ඩු කරන විට. කොහොම ද දඩුවම් දෙන්නේ. ඒ අය නැති ආණ්ඩුවක් එන්න ඕනෑ. එහෙම නැතිනම් ආණ්ඩුවේ ඒ අය වෙනස් වෙන්න ඕන. එහෙම වෙනස් වෙලා නැහැ.
මේක තමයි ඇත්ත තත්ත්වය. අර්ජුන මහේන්ද්‍රන් ගේන්න ඔහු ගේන ආණ්ඩුවක් තිබෙන්න ඕනෑ. ඒක තමයි ඇත්ත තත්ත්වය. මම හිතන්නේ නැහැ මහ බැංකු මංකොල්ලය ගැන පත්කළ ජනාධිපති කොමිසන් සභාවේ පැහැදිලි නිර්දේශයක් ව්‍යවහාරික විගණනය. මම දන්නේ නැහැ තවමත් කෙරුණා ද කියා. තවම ආරම්භ වෙලා නැහැ. මේ තිබෙන තත්ත්වයන් මේ රටේ ජනතාවත් තේරුම් ගන්න ඕනෑ. මේ වැරැදිකරුවන්ට දඩුවම් දෙන්න අල්ලස් හා දූෂණ කොමිසමේ වගන්තියක් වෙනස් කරන්න කොච්චර කල් ගියාද. අවසානයේ පාර්ලිමේන්තුවේ වාදකරලා නැවැත්තුවා. ගිය මාසයේ මම ආණ්ඩුව ඇතුලේම කිව්වා ඇයි මේක නතර කෙළේ කියලා. බේරෙන්න බැරිතැන අරගෙන සම්මත කළා. මොන තරම් ඒ වැඩේ ප්‍රමාද වුණාද.
අල්ලස් හා දූෂණ කොමිසන් සභා පනත යටතේ ජනාධිපති කොමසන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න මේ රටේ තිබෙන නීතිය අනුව වැරැදි කරුවන්ට දඩුවම් දෙන්න වසර 15ක් 20ක් පමණ යනවා. නමුත් මේ පොඩි වගන්තියක් වෙනස් කරන්න තිබුණ එක මොන තරම් යට ගැහුවාද. මේක තමයි ඇත්ත තත්ත්වය. පසුගිය ආණ්ඩුවට කොමිසමක් පත්කළා වගේම, මහ බැංකු කුණු කන්දට කොමිසමක් පත්කළා වගේම මේ ආණ්ඩුවේ වැරැදි, දූෂණ සොයන්න මම සති තුනකට පෙර කොමිසන් සභාවක් පත්කර තිබෙනවා. මීට පෙර මෙවැනි කොමිසමක් කිසිඳු නායකයෙක් තමන්ගේ ආණ්ඩුවේ වංචා, දූෂණ සොයන්න පත්කර නැහැ. බණ්ඩාරනායක අගමැතිවරයාගේ තල්ගොඩපිටිය කොමිසම මීට වඩා වෙනස් මුහුණුවරක්. නමුත් මේ කොමිසන් සභාවට එවැනි සීමාවක් නැහැ. මුළු රාජ්‍ය අංශයේ වංචා දූෂණ සොයන්න බලතල තිබෙනවා. පැමිණිලි දහස් ගණනක් ගිහින් තිබෙනවා. ජනාධිපති කොමිසන් සභා එන්න එන්න මේ අයටත් වැඩ වැඩි වෙනවා. මහ බැංකු කොමිසමට මේ අය දුන් සහාය අගය කරනවා. විශාල මෙයෙක් කළා.
රටේ මේ තිබෙන තත්ත්වයන් සැලකිල්ලට ගත්විට අපි අපේ හෘද සාක්ෂියට අනුව කොතෙක් දුරට අවංකද කියා ඇසිය යුතුයි වගේම ඒ සෑම අයෙක්ම කණ්නාඩියක් ඉදිරියට ගොස් මම හරිද කියා තමන්ගෙන්ම ඇසියි යුතු වෙනවා. මහ බැංකුව පිළිබඳව පරීක්ෂණවල දී පාර්ලිමේන්තුවේ කාරක සභාවල ඉන්න ආණ්ඩුවේ මන්ත්‍රීවරු කරුණු දක්වන්න විගණකාධිපතිවරයා පාර්ලිමේන්තුවට ගිය පසුව ඇසුවේ කුමක්ද. විගණණ වාර්තා ගැන නොවෙයි. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු ඇසුවේ ඔබේ අධ්‍යාපන සුදුසුකම් මොනවාද. ඔබ විගණකාධිපති තනතුරට සුදුසුද. එහෙමයි ඇසුවේ. ඒකෙන්ම පේනවා වැටත් නියරත් ගොයම් කානම් කාට කියම්ද ඒ කතාව කියලා. ඒ නිසා මේ රට වංචාව, දූෂණය, නාස්තිය, සොරකම මුල් බැසගත් රටක් . ලෝකෙන් උතුම් රට. නමුත් මේ තත්ත්වයේදී එයින් රට ගොඩගන්න විගණන සේවය ඔබ දරන කැපවීම ඉතාම විශිෂ්ඨයි. ඔබ දෙන ආදර්ශය විශිෂ්ඨයි. ඒ නිසා මේ සෑම අංශයක්ම ශක්තිමත් කරගෙන අපි හෙට දවසට මුහුණ දෙන්න ඕනෑ.
මේ රටේ රාජ්‍ය ආදායම විනාශ වෙන්නේ කොහේද කියා ඔබ දන්නවා. ඒ දෙපාර්තමේන්තු මොනවා ද කියා දන්නවා. වාර්ෂික අයවැය පරතරය පියවා ගන්න අපිට විදෙස් ණය අවශ්‍ය නැහැ. දේශීය ණය අවශ්‍ය වන්නේ නැහැ. රාජ්‍ය බැංකුවල මුදල් ටික සූරා ගන්න අවශ්‍ය නැහැ අයවැය පරතරය පියවා ගන්න. නමුත් ආණ්ඩුවට එන මහා ආදායමක් විනාශ කරන දෙපාර්තමේන්තු, සංස්ථා, ආයතන කිහිපයක් අද රජයට පාලනය කළ නොහැකි තත්ත්වයක තිබෙනවා. වෘත්තීය සමිතිවල බලය පෙන්වන්න ඒ තුළ කොහොමද රටක් ගොඩගන්නේ කියලා ඒ අය හිතන්නේ නැහැ. තමන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍රවලට අනුව කටයුතු කරනවා. මේ රටේ දැනුමක්, උගත්කමක් තිබෙන සෑම අයෙක්ම දන්නවා. රාජ්‍ය ආදායම විනාශ කරන්නේ කොහොමද කියා අපි දන්නවා. මේවා හදන්නේ නැතිව මේ රට ගොඩගන්න බැහැ. ඒවාට අත තියපු ගමන් වැඩ වර්ජන. ඒවාට අත තිබූ විට වෙනත් වෙනත් කරුණු. වෙනත් ප්‍රශ්න. මේක මේ රටේ ඛේදවාචකයක්. ඒ නිසා මේ රටේ එක කොටසක් අවංකව වැඩ කරනවා. තව කොටසක් දූෂණය, වංචා සිදු කරනවා. දේශපාලඥයා තමයි බොහෝ වෙලාවට වංචාව, දූෂණය සම්බන්ධයෙන් බොහෝ වෙලාවට විවේචනයට ලක්වන්නේ.
නමුත් දේශපාලඥයාගෙන් බැහැරව මේ රටේ රාජ්‍ය ආදායම් රජයට නොඑන ආකාරයට කෙරෙන ආයතන පිළිබඳව කොහෙද කතා කරන්නේ. කිසි තැනක කතා කරන්නේ නැහැ. ඇයි ඒ. මාධ්‍ය තුළින් හෝ පාර්ලිමේන්තුවේ ඒ ගැන කතා කරන්නේ නැහැ. ඒවා බොහෝ වෙලාවට යටපත් වෙනවා. ඇයි ඒ කතා කරන්නේ නැත්තේ. ඒ තුළින් එන බලපෑම් නිසා කතා කරන්නේ නැහැ. රාජ්‍ය ආදායම ආණ්ඩුවට නොදෙන ආයතන ගැන කිසිඳු මාධ්‍යයක් කතා කරන්නේ නැහැ. එහෙම කතා කරනවා නම් ඒ අයටත් ප්‍රශ්න එනවා. ඒ නිසා අපි සෑම අයෙක්ම මේ තිබෙන අභියෝගය තේරුම් ගතයුතුයි. මේ මහා පිංවන්ත රට ඉදිරියට ගෙන යන්න අපි සෑම අයෙක්ම වගකීම් සහ යුතුකම් ඉටුකළ යුතු වෙනවා. අපේ කියන හැඟීම, අංවක බව, කැපවීම, දූෂණයෙන් තොරවීම මේ රට ගොඩගන්න තිබෙන අත්‍යවශ්‍ය දෙයයි. ආණ්ඩුව ලෙස ඉටුවිය යුතු යුතුකම් ඉටුකරන්න උපරිමයෙන් සහාය දෙනවා.
කතානායක කරූ ජයසූරිය මහතා-
මේ සඳහා මට ආරාධනා කළ අවස්ථාවේ ඒ ආරාධනය මම පිළිගත්තා. පාර්ලිමේන්තුව විසින් ජනතාවට ඉටුකළ යුතු යුතුකම් ඉටු කරන්න විගණකාධිපති දෙපාර්තමේන්තුව විශාල ශක්තියක් දෙනවා. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව හරහා ඒ අනුව විශාල වැඩ කොටසක් කරන්න හැකි වුණා. මේ අය ස්වාධීන සේවාවක් කරනවා. අපි මේ අයට සෑම ශක්තියක්ම ලබා දුන්නා. එවැනි සේවාවක් කරන්න මේ ආයතනය ස්වාධීන විය යුතුයි. අපිට ඉතිහාසයේ ස්වාධීන කොමිසන් සභා තිබුණා. ඒ නිසා ලෝකයේ ආදර්ශමත්, ශක්තිමත් රාජ්‍ය සේවයක් අපිට තිබුණා. මැලේසියාව වැනි රටවලට උපදෙස් දෙන්න තරම් ශක්තිමත් රාජ්‍ය සේවයක් අපිට තිබුණා. ආදර්ශමත් රාජ්‍ය සේවයක් තිබුණා. එය නියම විදියට ක්‍රියාත්මක කළා. 1952 වසරේ ලොව හොඳම දුම්රිය සේවය අපිට තිබුණා. මෙලෙස රාජ්‍ය සේවය නීතිගරුක වීමෙන් ආදර්ශමත් සේවවාක් ඇතිකරන්න හැකි වුණා. තොරතුරු දැන ගැනීමේ වාර්තාව වොෂිංටන් වාර්තා අනුව අද ඒ ශ්‍රේණියේ ඉහළම තැනට පැමිණ තිබෙනවා.
අද කිසිම අවස්ථාවක නොදුටු මහජන මුදල් වියදම් කිරීම සම්බන්ධයෙන් ජනතාව තුළ උනන්දුවක් තිබෙනවා. ඒ නිසා එදා තිබුණු විනාශය, නාස්තිය මීට වසර හතරකට පෙර අපි කළ ගවේෂණයක දී රාජ්‍ය මුදල් වියදම් කිරීමේ දී සියයට 40 ට වැඩි ප්‍රමාණයක් නාස්ති වෙනවා. අද ඒක අඩු වෙලා තිබෙනවා. ඉතිහාසයේ කිසිඳු කලෙක නොදුටු ආකාරයට පාර්ලිමේන්තුවේ කාරක සභාවන් අද වනවිට කටයුතු කරගෙන යනවා. පාර්ලිමේන්තුව තුළ දක්ෂ නිලධාරීන් ඉන්නවා. පැය අටට සීමා නොවී කටයුතු කරනවා. කාරක සභා අවස්ථා මාධ්‍යට දෙන්න මේ වනවිට උපදෙස් දී තිබෙනවා. මාත් එකඟ වෙනවා. සමහර අවස්ථාවල කිරි නිෂ්පාදනය වර්ධනය කිරීම සඳහා ගෙනා කිරි ගවයින් සම්බන්ධයෙන් සිදුවීම් අපි දැක්කා. නම් තිබෙනවා. හරක් නැහැ. මෙවැනි අවස්ථා අපි දැක්කා. කිසිදාක නොමැති ආකාරයට වාර්තා ඉදිරිපත් කරන්න හැකිව තිබෙනවා. මාස තුනකට වරක් එවැනි වාර්තා පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරනවා. වසරකට වරක් නොව මාස තුනකට වරක් වාර්තා ඉදිරිපත් කරන්නේ නම් වැදගත්. නමුත් කිසිවකු මේවා බලන්නේ නැහැ. මේ කමිටුවලින් එන වාර්තා සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගැනීම අවශ්‍යයි. කොහොමද මේ කාර්යය කරන්නේ කියා අපි සාකච්ඡා කරමින් ඉන්නවා.
රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා-
මේ දක්වා මේ සංගමයේ කටයුතු කළ නිලධාරීන්ට අපේ ගෞරවය පිරිනමනවා. නව නිලධාරී මණ්ඩලයට සුබ පතනවා. අපේ කාරක සභාවලට මේ නිලධාරීන් එනවා. නමුත් එකම වහළක් යටදී අපි සියලු දෙනාම හමුවන්නේ මේ අවස්ථාවේ. අපේ මූල්‍ය පාලනයේ වගකීම පාර්ලිමේන්තුවට පැවරෙනවා. විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ද මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් සොයා බලන්නේ පාර්ලිමේන්තුවයි. නමුත් අපිට මේ කාර්යය තනිවම කරන්න බැහැ. මේ දෙපාර්තමේන්තුවේ සහාය අපිට ලැබෙන්නේ නැතිනම් පාර්ලිමේන්තුවේ වගකීම ඉටුකරන්න බැහැ. මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව ඉටුකරන කාර්යභාරය හා සමාන වැඩ කොටසක් විගණකාධීපති දෙපාර්තමේන්තුව විසින් ඉටුකරනවා. අපිට ලබාදෙන සහාය පිළිබඳව පාර්ලිමේන්තුවේ සහ ගිණුම් කාරක සභාවේ ස්තුතිය පිරිනමනවා.
19 වැනි සංශෝධනය හරහා විගණකාධිපති දෙපාර්තමේන්තුව තවදුරටත් ශක්තිමත් කර තිබෙනවා. ඒ පනත තුළින් ඔබයි ශක්තිමත් කර තිබෙන්නේ. ඒ ශක්තිමත් බව අපිට ප්‍රායෝගිකව රට තුළ ක්‍රියාත්මක කිරීමේ දී අවශ්‍ය ශක්තිය තවදුරටත් ලබාදෙන්න අපි කටයුතු කරනවා. පාර්ලිමේන්තුවට ලබාදෙන වාර්තා සම්බන්ධයෙන් සම්පූර්ණ විශ්වාසයක් තබාගෙන කටයුතු කරනවා.
පොදු ව්‍යාපාර කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා-
අපි ඉදිරියේ ඉන්නේ රාජ්‍ය සේවයේ අවංකවම කටයුතු කරන පිරිසක්. රාජ්‍ය සේවයේ අවංකම පිරිසෙන් අවශ්‍ය කරම් ප්‍රයෝජන අපේ රට අරගෙන තිබෙනවාද. මෙතන ඉන්න වැඩි පිරිසක් අතෘප්තියෙන් කටයුතු කරනවා. අපේ ආර්ථිකයට නැති කරන දේ හෙළිදරව් කළ පසුව නීතිය ක්‍රියාත්මක කරනවා වෙනුවට එවැනි පිරිස් ආරක්ෂා කරන්න කටයුතු කරනවා ද යන්න පිළිබඳවයි. මීට අවුරුදු 4 ට පෙර බැදුම්කර සිද්ධිය අපේ රටේ සිදු වුණා. මේ වේලාව තමයි අපේ රටේ දැවැන්තම මූල්‍ය වංචාවක් සිදු වූ වෙලාවක්. අවුරුදු 4ක් ගියත් පොදු ව්‍යාපාර කාරක සභාවේ වාර්තාව ඉදිරිපත් කරලත් කොමිසමක් පත්කරලත් තවම දඩුවම් දී නැහැ. හිටපු මහ බැංකුවේ අධිපතිවරයා විදෙස් ගතකර තිබෙනවා. ඔහු තවමත් නිදැල්ලේ ඉන්නවා. එවැනි වංචාවක් මේ රටේ කරන්න උත්සාහ කිරීමත් මේ රටේ බරපතල සිද්ධියක්.
විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා-
අද මේ දෙපාර්තමේන්තුවට විශේෂ දිනයක්. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය කාලයේ විගණනය සම්බන්ධයෙන් ධනාත්මක ආකල්පවල සිටියා. අපි වසර 220 ක් පුරා මේ දෙපාර්තමේන්තුව පැවතුනත් පසුගිය වසර තුනක කාලයේ බැබළුණු බව කියන්න ඕනෑ. අපි කරුණු සොයා ගත්තත් ඒ කරුණු ඉන් එහාට ගමන් කරන්නේ නැතිනම් වැඩක් නැහැ. මේ කාර්යයන් එක් එක් අයට බාර දී තිබෙනවා. එක් පුරුකක් දුර්වල වී වැඩක් නැහැ. සියල්ල ශක්තිමත් වියයුතුයි. මේ අයතනය ඉතාම ශක්තිමත් ආයතනයක් බවට පත්ව තිබෙනවා. දේශපාලන මැදිහත්වීමක් මේ සඳහා නැහැ. අපේ වාර්තාවල විශාල කරුණු ප්‍රමාණයක් රැගෙනවිත් තිබෙනවා.
අද රට මූල්‍ය විනය සම්බන්ධයෙන් වැටී තිබෙන තත්ත්වයෙන් ගොඩගන්න සියලු දෙනාටම අවබෝධයක් තිබෙනවා. මේ චේන් එකේ දුර්වල පුරුක් කිහිපයක් තිබෙනවා. ඒවා ශක්තිමත් කිරීම අවශ්‍ය වෙනවා. අපේ වාර්තා 1500ක් පමණ වසරකට එළියට දානවා. නමුත් පාර්ලිමේන්තුවේ දී කතා කරන්නේ දෙක තුනක් පමණයි. මේ වාර්තා පරිගණක ගතකරන්න පියවර ගෙන තිබෙනවා.
ශ්‍රී ලංකා විගණන සේවා සංගමයේ සභාපති කේ.එම්.එම් කුමාරසිංහ මහතා-
විධායකයේ සියලු කාර්යභාරය සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා විසින් ස්වාධීන තීරණයක් ලබාදෙනවා. අපේ රටේ ජාතික විගණන කාර්යාලය විගණකාධිපති දෙපාර්තමේන්තුව ලෙස පසුගිය කාලයේ හැදින්වූවා. අද වනවිට එය උත්තරීතර විගණන ආයතනය ලෙස හැදින්වෙනවා. පසුගිය ආණ්ඩුව සුවිශේෂී කාර්යභාරයන් කිහිපයක් කළත් සමාජයේ කතාබහට ලක් වුණේ නැහැ. සමාජයේ විවිධ මතවාද තිබෙනවා. විගණකාධිපතිවරයා 19 වැනි සංශෝධනයෙන් ස්වාධීන පුද්ගලයෙක් බවට පත්කර තිබෙනවා.
ශ්‍රී ලංකා විගණන සේවා සංගමයේ ලේකම් ඒ.එල් විමලරත්න මහතා -
විවිධ අභියෝග මැද මේ සංගමය පිහිටුවා තිබෙනවා. ඉතා අපහසුවෙන්, අසීරුවෙන් මේ දක්වා පැමිණ තිබෙනවා. පසුගිය 2017 වසරේ පැවැති 60 වැනි සංවත්සරය වනවිට අපි සිටියේ කොතැනද. අද වනවිට අපි දිඟු ගමනක් පැමිණ තිබෙනවා කියන්න පුළුවන්. විගණන පනත ගේන්න අපිට නොහැකි වුණා. නමුත් රටේ සහ අපේ අවශ්‍යතාවය ඉටුකරන්න හැකිවෙයි කියා විශ්වාස කරනවා. ඉතාම හොඳින් ඉටුකරන පිරිසක් මෙහි ඉන්නවා. ලබන වසරේ රැස්වන විටත් විගණන පනත ගේන්න නොහැකි වන්නේ නම් මට ආරාධනා කරන්න එපා කියා කතානායකවරයා එදා කියා තිබෙනවා. සියලු දෙනාගේ විශ්වාසය බිඳවැටී තිබෙන මොහොතක කිසිඳු පෞද්ගලික අභිලාසයකින් තොරව මේ සංගමය මේ දක්වා රැගෙන එන්නට අපි පියවර ගෙන තිබෙනවා.
විගණකාධිපති ගාමිණී විජේසිංහ, ශ්‍රී ලංකා විගණන සේවා සංගමයේ සභාපති කේ.එම්.එම් කුමාරසිංහ, ලේකම් ඒ.එල් විමලරත්න, ශ්‍රී ලංකා විගණන පරීක්ෂණ සේවා සංගමයේ ලේකම් ක්‍රිෂාන්ත තිසේරා මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
ඡායාරූප - සුදත් මලවීර සහ ජනාධිපති මාධ්‍ය අංශය
0 Comments