Ticker

6/recent/ticker-posts

Header Ads Widget

දින 56 කුමන්ත්‍රණය නැතිනම් අපි මීට වඩා ඉදිරියට ගිහින්

අසේල ලියනගේ සහ මාපාකඩවැව සමූහ

ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂිණ වංචා නැවැත්වීමත්,දේශපාලනය ක්‍රිකට් ක්‍රීඩාවෙන් අතුගා දැමීමටත් විශේෂ වැඩපිළිවෙළක් මේ වන විට ක්‍රීඩා අමාත්‍යංශය හරහා ක්‍රියාත්මක වන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ පසුගියදා (23) මහියංගණය දිසා කම්කරු කාර්යාලය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

අගමැතිවරයා එහිදී මෙසේද පැවසීය. පාර්ලිමේන්තුවේ පසුගියදා සිදුවූ ගැටුම් පිළිබඳ කමිටු වාර්තාව තමා වෙත ලැබී ඇති බවත් එම වාර්තාවේ තොරතුරු අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිළිබඳව තමා ඉතාමත් කනගාටු වන බවත් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

කම්කරු හා වෘත්තීය සමිති සබඳතා ඇමැති රවීන්ද්‍ර සමරවීර මහතාගේ මැදිහත්වීමෙන් මේ දෙමහල් ගොඩනැගිල්ල ඉදිකිරීමට ලක්ෂ 786ක් වැය කර තිබේ. එහිදී වැඩිදුරටත් අගමැතිවරයා මෙසේ කීය.

අද මහියංගණයේ කම්කරු කාර්යාලය විවෘත කිරීමට ආරාධනා කිරීම පිළිබඳව මම කම්කරු කොමසාරිස්වරයාට ස්තූතිවන්ත වෙනවා. බදුල්ල දිස්ත්‍රික්කයේ හිටපු ඇමැති සී.පී.ජේ සෙනවිරත්න මහතා කම්කරු අයිතීන් වෙනුවෙන් විශාල සේවයක් කළා. කම්කරු අමාත්‍යංශය මම රවීන්ද්‍ර සමරවීර මහතාට භාරදුන්නා. ඒ මහතා එම අමාත්‍යංශය මගින් විශාල සේවයක් කම්කරු ජනතාවට කරන බව අපට පෙනෙනවා. ඒ වගේම දින පනස් එකේ ආණ්ඩුව බලයට ආපු වෙලාවේ ප්‍රජාතන්ත්‍රවාදය ඇතිකිරීමට විශාල සේවයක් පක්ෂය වෙනුවෙන් කළා.

කම්කරු සාමය, කම්කරු ප්‍රදේශවල සාමය, හාම්පුතුන්, වෘත්තීය සමිති සමඟ වැඩකටයුතු කරන එක පහසු කාර්යයක් නෙමෙයි. නමුත් රවීන්ද්‍ර සමරවීර මහතා එම කටයුතු හොඳින් කරගෙන යනවා. වතුකරයේ වැටුප් ගැටලුව විසඳීමට රවීන්ද්‍ර සමරවීර ඇමැතිවරයාට හැකිවුණා. සේවක අංශයට ඇති නීති මාලා සියල්ලන්ටම පොදු එක නීතියක් ලෙස පත්කිරීමට අපි පියවර ගෙන තිබෙනවා. ලෝකයේ බොහෝ රටවල එසේ කරනවා.

අපි මේ ප්‍රදේශවල දේශපාලනය කරන විට මේ ප්‍රදේශයේ මන්ත්‍රී වෙලා සිටියේ සී.පී.ජේ සෙනෙවිරත්න මහතා. 1960 පමණ මම කුඩා කාලයේ මහියංගණයට එන විටත් ඒ මහතා තමයි මන්ත්‍රී වෙලා හිටියේ. මට යෞවන කටයුතු අමාත්‍යංශය ලැබුණට පස්සේ මම නිතරම මේ ප්‍රදේශවලට ආවා. මාපාකඩ, ගැමුණුපුර ප්‍රදේශ දෙකෙහිම තරුණ කඳවුරු දෙකක් තිබුණා. එදා මහියංගණය අද මේ වාගේ නෙවෙයි. මහියංගණය වෙනස් වුණේ මහවැලි ව්‍යාපාරය හරහායි. මේ ප්‍රදේශවල විශාල කැලෑ තිබුණේ. නමුත් මහවැලි ව්‍යාපාරය මගින් මහියංගණය ජනතාවගේ ජන ජීවිතය ශක්තිමත් වුණා. ඒ වගේම ජනතාවගේ අතමිට සරුවුණා. එම වැඩකටයුතු සියල්ල පිටිපස්සේ සිටියේ සී.පී.ජේ සෙනෙවිරත්න මහතායි.

ඒ වගේම අද (23) මම මේ ප්‍රදේශයට එන ගමන් මට දැනගන්නට ලැබුණා අපේ ක්‍රිකට් කණ්ඩායම මේ තරගයෙනුත් දිනා ඇති බව. මම ක්‍රිකට් කණ්ඩායමට විශේෂ ස්තූතියක් පුදකරනවා තරග දෙකක් ජයග්‍රහණය කිරීම ගැන. මේ දවස්වල ලංකාවේ ප්‍රසිද්ධියට පත්ව තිබුණේ ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමේ පරාජයයි. ඇත්ත වශයෙන්ම ඒ ගිය විදිහට ආණ්ඩුවත් වෙනස් වෙන්න ඉඩ තිබුණා. ක්‍රීඩා අමාත්‍යංශය භාරදීමට ඇමැතිවරයෙක් ජනාධිපතිවරයා මගෙන් ඉල්ලුවිට මම බැලුවා.කාටද ක්‍රීඩා අමාත්‍යංශය දෙන්නේ කියා. ඒ ගැන මම ගොඩක් කල්පනා කර තමයි තීරණය කළේ. ඔබේ ප්‍රදේශයේ තරුණ ඇමැතිවරයෙකු වන හරීන් ප්‍රනාන්දු මහතාට එම අමාත්‍යංශය භාරදුන්නා. එතුමාට මම භාරදී උපදෙස් දුන්නා ක්‍රීඩාවට දේශපාලන මැදිහත්වීම් නවත්වන්න කියා. ඒ වගේම අපි ක්‍රිකට් ක්‍රීඩාවේ දූෂණ නැති කරනවා. ඒ වගේම දේශපාලනය ක්‍රිකට්වලින් ඉවත් කළ යුතුයි. ඒ වගේම අනිත් ක්‍රීඩාවලටත් දේශපාලනය ඇතුළුවීම නැවැත්විය යුතුයි.

ක්‍රිකට්වලට ඒ කාලයේ දේශපාලනය ඇතුළු වුණේ නෑ. ඉන්දියාවේ පක්ෂ බේදයකින් තොරව ක්‍රිකට් හොඳින් පවත්වාගෙන යනවා. අපි කුඩා කාලයේ එක වර්ෂයට ක්‍රිකට් සභාපති සමසමාජ පක්ෂ නායක එන්.එම් පෙරේරා මහතා, තව වර්ෂයට රොබට් සේනානායක මහතා, ගාමිණී දිසානායක මහතා හිටියා. ඒ කාලයේ ක්‍රිකට්වලට දූෂණය ඇතුළත් වුණේ නෑ. පක්ෂ දේශපාලනය ක්‍රිකට්වලට ඇතුළු වුණු එක පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ අපිට විශාල කනගාටුවක් තියෙනවා. ක්‍රීඩා මාෆියාව නැති කරන්න හරීන් ඇමැතිවරයා වැඩසටහනක් ක්‍රියාත්මක කරමින් සිටිනවා. කෙසේ හෝ අපේ ක්‍රිකට් කණ්ඩායම ආසියාව සමඟ ජයග්‍රහණය කළ එක හොඳයි. ආසියානු රටවල් අප්‍රිකාව සමඟ ටෙස්ට් තරගවලින් ජයග්‍රහණය කර නෑ. ඒ නිසා අපේ ක්‍රිකට් කණ්ඩායමටයි නායක තුමාටයි මම බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා.

විශාල කනගාටුවකින් හිටියේ මං අගමැති ධූරයේ සිටි කාලයේ ක්‍රිකට් ක්‍රීඩාව දූෂිත වී කඩාවැටීම ගැන. දැන් මට යම්කිසි සතුටක් තිබෙනවා එය දියුණු කිරීම ගැන. රටක් දියුණු කිරීමටත් මේ වගේ එකට එකතු වී වැඩ කටයුතු කළ යුතුයි. ඒකයි අපි බොහෝ දුරට යෝජනා කළේ. 2015 සිට උත්සාහ කළේ. නමුත් එම ප්‍රයත්නය අසාර්ථක වෙලා තිබෙනවා. මගේ බලාපොරොත්තුවේ හැටියට අපි පිළිගත්, අපේ ප්‍රතිපත්ති අනුමත කරන කණ්ඩායම් සමඟ අපි එකතු වී වැඩකළ යුතුයි. මොකද අපට අවශ්‍ය මේ රට ගොඩගන්න.

අපි මේ රට බාරගනිද්දී විශාල ණය බරක් තිබුණා. කවුරුවත් හිතුවේ නෑ .මේ ණය බර අපට ගෙවන්න පුළුවන් වෙයිද කියා. ජනාධිපතිවරණයෙන් මෛත්‍රිපාල සිරිසේන මහතා ජයග්‍රහණය කළා. අපි ආණ්ඩුවක් හැදුවා. අපි ආණ්ඩුව ගෙනියද්දි බොහෝ දෙනෙක් හිතුවා මේ ආණ්ඩුව වැටෙයි කියා. කොහොමහරි අපි ඉදිරියට ගිහින් මේ ණය බර ගෙවීමේ වැඩ කටයුත්තේ යෙදෙනවා. පසුගිය ආණ්ඩුව ජන්දෙකට ගියේ ඔවුන් ලබාගත්ත ණය ගෙවීමට නොහැකිවීම නිසයි. අනුන්ගේ පව් ගෙවන්න සිදුවුණේ අපේ රටේ ජනතාවට. එතැනින් අපි ගොඩඑන්න අපි ශීඝ්‍රයෙන් දියුණු විය යුතුයි.

දින පනස් එකේ කුමන්ත්‍රණය තිබුණේ නැතිනම් අපිට මීට වඩා වැඩ කොටසක් කරන්න තිබුණා. කන්න තුන හතරක නියඟයෙන් පසු සාර්ථක අස්වැන්නක් ලැබෙන බව අපට මේ ප්‍රදේශයෙන් පෙනෙනවා. අපිට රටක් වශයෙන් ඉදිරියට යෑමට නම් මම කියනවා, අනෙක් පක්ෂවල අයටත් අපේ ප්‍රතිපත්ති පිළිඅරගෙන ක්‍රියාත්මක වෙන්න කියා. නැතිනම් වෙන්නේ මේ රට පිරිහෙන එකයි.

මම විශේෂයෙන්ම කනගාටු වෙනවා .පසුගියදා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් හැසිරුණු ආකාරය ගැන. සමහර අය මිරිස්කුඩුත් ගැහුවා. දැන් එම වාර්තාව අපට ලැබිලා තිබෙනවා. ඒ වාර්තාව කියවන්නත් අපට ලැජ්ජයි. මේ වගේ අය ඉන්න පාර්ලිමේන්තුවකිවකින් රටක් ඉදිරියට ගෙනයන්නේ කොහොමද. පාර්ලිමේන්තුව කෙරෙහි තරුණ, තරුණියන්ගේ විශාල අකමැත්තක් අද වන විට ඇතිවී තිබෙනවා. මම කණගාටු වෙනවා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හැසිරෙන ආකාරයට. පාර්ලිමේන්තුව කියන්නේ වැදගත් ආයතනයක්. නමුත් එතැන ඉන්න සමහර මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේත්, පිටතත් විනිසුරුවරුන්ට බනිනවා. අපි කිසිසේත් මෙවැනි පටු දේශපාලන අරමුණු ඇති කුඩා කණ්ඩායමකට රටේ කීර්තිමත් ආයතන නැති කරන්න ඉඩ දෙන්නේ නෑ.

අපි රාජ්‍ය ආයතන ආරක්ෂා කළ යුතුයි. ඒ මගින් තරුණ පරපුරට අනාගතයක් හදන්න පුළුවන්. රාජ්‍ය ආයතනවල යම් ප්‍රතිපත්ති වෙනස් කළයුතු නම් ජනතාවගේ මතය අනුව එම ප්‍රතිපත්ති පමණක් වෙනස් කළ හැකියි. නමුත් රාජ්‍ය ආයතන වහන්න දෙන්න බෑ. අපේ මූලික වැඩකටයුත්ත වී තිබෙන්නේ තරුණ පරපුරට හොඳ රටක් ලබාදීමටයි. ඒ සඳහා අවශ්‍ය ආයතන, පරිසරය සකස් කළ යුතුයි. ඒ නිසා මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කියනවා. රට යන මාර්ගය කුමක්ද කියා දැනගෙන එකට වැඩකරන්නයැයි වික්‍රමසිංහ මහතා පැවසීය.

කම්කරු හා වෘත්තීය සමිති සබඳතා ඇමැති රවීන්ද්‍ර සමරවීර මහතා-

අද දවස මේ ප්‍රදේශයේ ජනතාවට ඉතාමත් වැදගත් දවසක්. අපි පසුගිය වර්ෂයේ මැයි 20වැනි දින මේ ස්ථානයට ඇවිත් මේ ගොඩනැගිල්ල ඉදිකිරීමට මුල්ගල තැබුවා. ඉතාමත් කෙටි කාලයකදී ලක්ෂ 780ක වියදමින් අද මේ කාර්යාලය ජනතා අයිතියට පත්කිරීමට ලැබීම ගැන සතුටු වෙනවා.

මේ කම්කරු කාර්යාලය මගින් ප්‍රදේශයේ වැඩකරන කම්කරු ජනතාවට අවශ්‍ය සේවා පෙරට වඩා උසස් ලෙස ලබාගැනීමට හැකිවෙනවා. මෙය කම්කරු ජනතාවට ලැබුණු සම්පතක්. සේවක අර්ථසාධක අරමුදලේ වරප්‍රසාද ලබාගැනීමේදී විශාල ගැටලුවක් වූ කම්කරුවන්ගේ සාමාජික අංක කීපයක් පැවතීම විසඳීම සඳහා අපි ජාතික හැඳුනුම්පත් අංකයට අනුව ඇතිකිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ මගින් සේවකයෙකු එක් ආයතනයක සිට තවත් ආයතනයකට ගියොත් එම මුදල් ලබාගැනීමේ ගැටලුව විසඳෙනවා.

වැඩකරන ජනතාවගේ යහපත වෙනුවෙන් පාර්ලිමේන්තුවට අණපනත් කීපයක් ගෙනත් තිබෙනවා. වැඩ කරන ජනතාවගේ පහසුව වෙනුවෙන් එම සියල්ල ඉදිරියේදී සම්මත කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. අපි කම්කරු ජනතාවට කියන්න කැමතියි. ඔවුන්ගේ ගැටලු අප වෙත ඉදිරිපත් කන්නැයි කියනවා. කම්කරු ජනතාව මාර්ගවල උද්ඝෝෂණය කළ යුතු පිරිසක් නෙමෙයි.

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා-

මේ කම්කරු කාර්යාලය 1989 ඉදිකළේ මහියංගණය රෝහල ඉදිරිපිට තිබූ පැරණි ප්‍රාදේශිය ලේකම් ගොඩනැගිල්ලේ. අද මම ඉතාමත් සතුටු වෙනවා. කම්කරු අංශයේ මහජනතාවට සේවය කිරීමට, පහසුකම් සැලසීමට ස්ථීරසාර කාර්යාලයක් මහියංණයේ ඉදිකිරීමට හැකිවීම ගැන. බුදුරජාණන් වහන්සේ වැඩි භූමිය වන මහියංගණයට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැමිණීම ප්‍රදේශයේ ජනතාවට විශාල භාග්‍යයක්.

කම්කරු අමාත්‍යංශයේ පාරිතෝෂිත දීමනාව, භාරකාර අරමුදල, විදේශ රැකියා කාර්යාංශය, කාන්තා ප්‍රසූත නිවාඩු ආදී අණ පනත් 23ක් මගේ පියා වන සී.පී.ජේ සෙනෙවිරත්න පාර්ලිමේන්තුවේ සම්මත කර කම්කරු ජනතාවට ලබාදුන්නා. ඒක මම හිතන්නේ එක්සත් ජාතික පක්ෂ රජයකින් පමණයි, කම්කරුවන් වෙනුවෙන් එවැනි විශාල සේවයක් ඉටුකළේ කියා.

ඇමැතිවරුන් වන හරීන් ප්‍රනාන්දු, ලක්ෂ්මන් සෙනෙවිරත්න, රවීන්ද්‍ර සමරවීර, පී හැරිසන්, වඩිවෙල් සුරේෂ් , කම්කරු කොමසාරිස් ජෙනරාල් ජේ.විමලවීර මහත්වරුන් ඇතුළු රාජ්‍ය අංශයේ නිලධාරීහු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

ජායරූප - හිරන්ත ගුණතිලක

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();