වැන්ටේජ් එෆ්. ඒ. කුසලාන පාපන්දු තරගාවලියේ ශූරතාව යුද හමුදා ක්‍රීඩා සමාජය දිනා ගනියි. කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී විදුලි ආලෝක ධාරා මැද පැවැති අවසන් මහා තරගයේදී යුද හමුදාව ගෝල් 4-2කින් සෝන්ඩර්ස් පරදා 6වැනි වතාවට එෆ්. ඒ. ශූරයන් බවට පත්විය.
ඉතිහාසයේ දොළොස් වතාවක් එෆ්. ඒ. කුසලානය රැගෙන ගිය සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව මුල සිටම ප්‍රහාරාත්මක තරග රටාවකට අවතීර්ණවූ යුද හමුදා ක්‍රීඩකයෝ පළමු භාගයේදී ගෝල් 2-1ක් ලෙස පෙරමුණ ගෙන සිටියහ. යුද හමුදාව පිට පිට වසර තුනකදී මේ කුසලානය දිනා ගැනීම විශේෂත්වයකි.
තරගයේ 17 වැනි මිනිත්තුවේදී මොහොමඩ් ඉසෙදීන් පළමු ගෝලය වාර්තා කළ අතර 21 වැනි මිනිත්තුවේදී ජේසුරාජ් බර්නාඩ් යුද හමුදාවට දෙවැනි ගෝලය එක් කළේය. 34 වැනි මිනිත්තුවේදී සුන්දරාජ් නිරේෂ් සෝන්ඩර්ස් පිල වෙනුවෙන් දඬුවම් පහරක් සාර්ථක කර ගත්තේය. දඬුවම් ලබාදිය හැකි කළාපයේදී යුද හමුදා ක්‍රීඩකයකු සෝන්ඩර්ස් ක්‍රීඩකයකුට කළ අනිසි බලපෑම මේ දඬුවම් පහර තීරණය කිරීමට හේතු විය.
84 වැනි මිනිත්තුවේදී නැවැත ක්‍රියාත්මක වූ මොහොමඩ් ඉසෙදීන් තවත් ගෝලයක් රැස්කළ අතර එය මේ තරගාවලියේ ඔහු රැස්කළ 9වැනි ගෝලය ලෙස සටහන් විය. තරගය නිමාවීමට ඔන්න මෙන්න තිබියදී කසුන් ප්‍රදීප් යුද හමුදාවට සිවුවැනි ගෝලය එක් කළේය.
සෝන්ඩර්ස් පිලේ ආරක්ෂක පෙළ දුර්වලතා මේ තරගයේ කැපී පෙනුණු අතර යුද හමුදා ක්‍රීඩකයෝ එයින් නිසි ප්‍රයෝජන ගැනීම කල් ඇතිව සකස් කළ සැලසුම විය.
මේ තරගය කසුන් ජයසූරියගේ අවසන් තරගය බව හෙතෙම කලින්ම නිවේදනය කළ තිබූ අතර ඔහුට ගෝල් වාර්තා කිරීමට නොහැකිවීම සෝන්ඩර්ස් පිලට බලවත් අවාසියක් විය. කසුන් ජයසූරිය එෆ්. ඒ. පාපන්දු තරගාවලියේ ගෝල් 7ක් වාර්තා කර සිටි අතර, ගෝල් 9ක් වාර්තා කළ යුද හමුදා පිලේ මොහොමඩ් ඉසෙදීන් තරගාවලියේ වැඩිම ගෝල් රැස්කළ ක්‍රීඩකයාට හිමි රන් සපත්තුව සම්මානය දිනා ගත්තේය.
අවසාන තරගයේ හොඳම ගෝල් රකින්නා ලෙස යුද හමුදා ගෝල් රකින මොහොමඩ් ලුතුෆී විසින් රන් අත්වැසුම සම්මානය හිමිකරගත් අතර අවසාන තරගයේ හොඳම ක්‍රීඩකයා ලෙස යුද හමුදා ක්‍රීඩා සමාජයේ නායක බණ්ඩාර වරකාගොඩ සම්මානයට පාත්‍ර විය.
එෆ්. ඒ. කුසලාන පාපන්දු තරගාවලිය ජයගත් යුද හමුදාවට රුපියල් ලක්ෂ 7ක් හා අනු ශූර සෝන්ඩර්ස් පිලට රුපියල් ලක්ෂ 5ක මුදලක් පිරිනැමීමට පාපන්දු සම්මේලනය කටයුතු යොදා තිබිණි.
0 Comments