Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ශ්‍රවණාබාධිත විස්සයි 20 ක්‍රිකට් ලෝක කිරුළ ශ්‍රී ලංකාවට

ශ්‍රවණාබාධිතවූවන්ගේ විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ශ්‍රවණාබාධිත ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සංවිධානයෙන් ඉන්දියාවේ නවදිල්ලි නුවර ගුර්ගඕන්හිදී පැවැති පළමු ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ සත්කාරක ඉන්දියාව ලකුණු 36කින් පරාජයට පත්විය.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ශ්‍රවණාබාධිත ක්‍රිකට් පිල ඕවර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 145ක් රැස්කළ අතර එම ඉලක්කය හඹාගිය ඉන්දියානු පිලට ඕවර 17.5කදී සියල්ලන් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 109ක් පමණි.

තුන් ඉරියව් දස්කම් දක්වමින් තරගයේ වීරයාවූ නායක ගිමඳු මැල්කම් ලක්රූගේ ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණුලාභියා වෙමින් ලකුණු 41ක් රැස්කළ අතර පන්දු යැවීමේදී කඩුලු 3ක් බිඳ දැමීමට සමත් විය. පන්දු 41කින් ගොඩනැගුණු ඔහුගේ ඉනිම හතරේ පහර 2ක් සහ හයේ පහර 2කින් වර්ණවත් විය.

ශ්‍රී ලංකා පිල තරගාවලියේ මූලික වටයේදී සහභාගිවූ තරග හතරෙන් 3ක් ජයගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය සමගින් සුපිරි තිදෙනාගේ වටයට එක්වූ අතර එහිදී අපරාජිතව අවසන් තරගයට පිවිසියේය.

ජයග්‍රහණයෙන් අනතුරුව කණ්ඩායමේ කළමණාකාරිනි ඉන්ද්‍රානි ආරියරත්න මහත්මිය පැවැසුවේ මේ ක්‍රිකට් කණ්ඩායමද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග සම්බන්ධ කිරීමට තම උත්සාහය බවයි.

ක්‍රීඩකයන්ගේ මෙන්ම පුහුණුකරුවන්ගේ උනන්දුව සහ කැපවීම මේ ජයග්‍රහණයට හේතුවු බව පැවැසූ ඇය අවසන් තරගයට එක්වූ ඉන්දියාව ඉන් පෙර දෙවරක්ම පරාජයට පත්කිරීමට හැකිවීමද ක්‍රීඩකයන්ට ශක්තියක් ගෙනදුන් බවත් කීවාය.

ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායම පසුගියදා බණ්ඩාරනායක ගුවන් තොටුපොළින් දිවයිනට පැමිණි අතර ඔවුන් පිළිගැනීමට ක්‍රීඩා ඇමැති ෆයිසර් මුස්තාපා මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

මෙහිදී ක්‍රීඩා ඇමැතිවරයා පවසා සිටියේ ශ්‍රවණාබාධිත ක්‍රිකට් කණ්ඩායමද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග අනුබද්ධ කිරීමට කටයුතු කරන බවත්, ක්‍රිකට් ආයතනය සමග සම්බන්ධ වී සිටින අනෙකුත් ක්‍රිකට් කණ්ඩායම්වලට හිමිවන වරප්‍රසාද ලබාදීමට කටයුතු කරන බවත්ය.

මේ තරගාවලියට ශ්‍රී ලංකා, ඉන්දියාව සමගින් ඔස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව සහ නේපාලය නියෝජනය කරමින් කණ්ඩායම් එක්විය.

ශ්‍රී ලංකා ශ්‍රවණාබාධිත ක්‍රිකට් කණ්ඩායම - 145/9 (ඕවර 20)

ගිමඳු මැල්කම් 41, සුමුදු ලංකා 22, සම්පත් ජයසිංහ 19 (නදීම් ශායික් 17/2, ජටින්ද්‍ර ත්‍යාගි 32/2)

ඉන්දීය ශ්‍රවණාබාධිත ක්‍රිකට් කණ්ඩායම - 109 (ඕවර 17.5)

සායි ආකාස් 29, රෝහිත් සයිනි 23, ජටින්ද්‍ර ත්‍යාගි 21 (ගිමඳු මැල්කම් 25/3, ඇලන්ජෝස් කාලිප් 21/2, සුමුදු ලංකා 20/2)

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();