Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රග්බි විනිසුරු මංගලට රත්මලානේදී ප්‍රහාරයක්

Author(s): 
ෆවුස් මොහොමඩ්

විනිසුරු සංගමය ගුවන් හමුදාවේ සියලු තරග වර්ජනය කරයි

අන්තර් සමාජ පළමුපෙළ ලීග් රග්බි තරගාවලිය යටතේ නාවික හමුදා ක්‍රීඩා සමාජය සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජය අතර පසුගියදා රත්මලාන ගුවන් හමුදා කඳවුරු ක්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් පසුව එම තරගයේ පැති විනිසුරුවරයකු ලෙස කටයුතු කළ අනිල් මංගල මහතාට නාඳුනන පිරිසක් පහරදීමේ සිදුවීමට විරෝධය දක්මින් ඉදිරියට එම ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරග ඇතුළුව ගුවන් හමුදා ක්‍රීඩා සමාජය සහභාගි වන සියලු තරග වර්ජනය කිරීමට තීරණය කළ බව රග්බි තරග විනිසුරුවරුන්ගේ හා තීරකවරුන්ගේ සංගමයේ සභාපති නිසාම් ජමාල්ඩීන් මහතා ප්‍රකාශ කළේය.

මෙවර ලීග් තරගාවලියේ සිවුවැනි සතියේ තරගයක් ලෙස පැවැති මේ තරගයෙන් සත්කාරක ගුවන් හමුදා කණ්ඩායම පරදවා ලකුණු 43-25ක ජයක් වාර්තා කිරීමට නාවික හමුදා කණ්ඩායම සමත්වීමෙන් පසුව මේ ප්‍රහාරය එල්ලවී ඇතැයි වාර්තා වෙයි.

තරගයෙන් පසුව අනිල් මංගල මහතා සිය නිවස බලා පිටත්වීමට සුදානම් වීමේදි මේ ප්‍රාහරය එල්ලවී ඇති අතර තුවාල ලැබු ඒ මහතා කළුබෝවිල මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

‘ක්‍රීඩාව කියන්නේ ජයග්‍රහණය වගේම පරාජයත් එක විදිහට විඳගත යුතු දෙයක්. පරාජය විඳ දරාගන්න බැරිනම් ක්‍රීඩාවට එක් නොවිය යුතුයි. අනිල් මංගල මහතා දැන් කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබනවා. මේ ගැන දැනට පොලිස් විමර්ශන සිදුකෙරෙනවා. ඒ වගේම මං ශ්‍රී ලංකා රග්බි ආයතනයේ සභාපති ලසිත ගුණරත්න මහතාටත්, තරගාවලි අධ්‍යක්ෂ රිස්ලි ඉල්යාස් මහතාටත් මේ සිදුවීම ගැන දැනුවත් කළා.’ රග්බි තරග විනිසුරුවරුන්ගේ සහ තීරකවරුන්ගේ සංගමයේ සභාපති නිසාම් ජමාල්ඩීන් මහතා ‘දිනමිණ’ කළ විමසුමකදී කියා සිටියේය.

‘සත්කාරක ගුවන් හමුදා කණ්ඩායම ආගන්තුක කණ්ඩායමේ ආරක්ෂාව ගැන වගකීම ගන්න ඕනා. මෙවැනි අධි ආරක්ෂිත ස්ථානයකදී එවැනි පහරදීමක් සිදුවීම ඇත්තටම කනගාටුදායක දෙයක්. අපි මේ සිදුවීම තරයේම හෙළා දකිනවා. ඒ වගේම මේ ගැන පරික්ෂණයක් පවත්වා නිසි පියවර ගන්නා තුරු විනිසුරුවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අපි රත්මලාන ගුවන් හමුදා පිටියේ පැවැත්වෙන තරගත්, ගුවන් හමුදා කණ්ඩායම ක්‍රීඩාකරන තරගත් වර්ජනය කිරීමට තීරණය කළා.’ ජමාල්ඩීන් මහතා සඳහන් කළේය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();