Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සී.එච්.පිල හමුවේ යුද හමුදාවට පෙරළිකාර ජයක්

Author(s): 
ෆවුස් මොහොමඩ්

සැලසුම් සහගත ක්‍රීඩා විලාශයක නිරතවූ යුද හමුදා ක්‍රීඩා සමාජය ප්‍රබල ක්‍රීඩකයන් රැසකගෙන් සමන්විත සී.එච්.ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායමට එරෙහිව ලකුණු 24-18ක විස්මිත ජයක් වාර්තා කරමින් මෙවර අන්තර් සමාජ පළමුපෙළ ලීග් රග්බි තරගාවලියේ විශාලතම පෙරළිය සිදුකිරීමට සමත්විය.

තරගයේ පළමුභාගය නිමාවනවිට ලකුණු 13-10කින් පෙරමුණ ගෙන තරගාවලියේ දෙවැනි ජයග්‍රහණය වාර්තා කිරීමේ බලාපොරොත්තුවෙන් පසුවූ සී.එච්.පිල දෙවැනි භාගයේදි අන්දමන්ද කළ යුද හමුදා ක්‍රීඩකයෝ තරගය ජයගත්තේ ගෝල් 3ක් සහ දඬුවම් පහරක් සමගිනි. සී.එච්.පිලට රැස් කිරීමට හැකිවූයේ ගෝලයක්, උත්සාහක දිනුමක්, දඬුවම් පහරක් සහ ඩ්‍රොප් ගෝලයක් පමණි.

පොලිස් පිටියේ පෙරේදා (1) පැවැති මේ තරගයේ 6 වැනි මිනිත්තුවේදි දඬුවම් පහරක් සාර්ථකව එල්ල ෆ්ලයි හාෆ් ක්‍රීඩක මධුවන්ත සී.එච්.පිල ලකුණු 3-0කින් ඉදිරියට ගෙන යාමෙන් පසුව යුද හමුදා පිලේ ෆුල්බෑක් ක්‍රීඩක ගයාන් සාලින්දගේ නිවැරැදි පා පහරින් එල්ල වූ දඬුවම් පහරත් සමග ලකුණු තත්ත්වය 3-3ක් ලෙස සමවිය. අනතුරුව 23 වැනි මිනිත්තුවේදී ශ්‍රී ලංකා පිලේ යොවුන් ක්‍රීඩක නවීන් හේනකංකානම්ගේ තැබූ විශිෂ්ට උත්සාහක දිනුමක් මධුවන්ත විසින් ගෝලයක් බවට පත්කරනු ලැබීමෙන් ලකුණු 10-3කින් ඉදිරියට යාමට සී.එච්.පිල සමත්විය.

එහෙත් සාර්ථකව තරගයට අවතීර්ණ වී සිටි යුද හමුදා පිලේ සෙන්ටර් ක්‍රීඩක සමීර බුලත්සිංහල තැබූ උත්සාහක දිනුමක් ගෝලයක් බවට පත් කළ සාලින්ද දෙපිලේ ලකුණු සංඛ්‍යාව 10-10කින් සමකළේය. පළමු භාගය නිමාවීමට පෙර තවත් දඬුවම් පහරක් සාර්ථක කරගත් මධුවන්ත සී.එච්.පිල ලකුණු 13-10කින් ඉහළට ඔසවා තැබුවේය.

දෙවැනි භාගයේ ආරම්භයේ තිරූෂ අධිකාරම් කදිම උත්සාහක දිනුමක් තැබූ අතර සාලින්ද එය ගෝලයක් බවට පත් කිරීමෙන් පසුව ලකුණු 17-13කින් පෙරමුණ ගැනීමට යුද හමුදා පිලට හැකිවිය. ඉන් නොනැවතුණු යුද හමුදා පිල ඊට මිනිත්තු කිහිපයකට පසුව අෂේන් බණ්ඩාර තැබූ තීරණාත්මක උත්සාහක දිනුමක් සාලින්ද විසින් ගෝලයක් බවට පත් කිරීමත් සමග ලකුණු 24-13කින් ඉදිරියට ගියේ සී.එච්.පිලට දැඩි පීඩනයක් එල්ල කරමිනි. අවසන් මිනිත්තු කිහිපය එළැඹෙද්දී සුදම් සූරිය ආරච්චි උත්සාහක දිනුමක් තබමින් සී.එච්.පිලේ ලකුණු සංඛ්‍යාව 18 දක්වා ඉහළ දැමුවත් යුද හමුදා පිලේ ජයග්‍රහණය වැළැක්වීමට එය ප්‍රමාණවත් වූයේ නැත.

ගුවන් හමුදාව නැවියන්ට පරදී

ගුවන් හමුදා පිලට එරෙහිව උත්සාහක දිනුම් ත්‍රිත්වයක් තැබූ බුද්ධිම පියරත්න ලකුණු 43-25ක ජයක් නාවික හමුදා පිලට ගෙන දීමට සමත්විය. රත්මලාන ගුවන් හමුදා පිටියේ පෙරේදා පැවැති මේ තරගයේ පළමුභාගය නිමාවනවිට දෙපිලම ලකුණු 14 බැගින් ලබා සිටි අතර දෙවැනි භාගයේදී අභියෝගාත්මක ක්‍රීඩා විලාශයක නිරතවූ නැවියෝ තරගයේ ජය අත්කරගත්තේ ගෝල 5ක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් මගිනි. ගුවන් හමුදා පිලට රැස් කිරීමට හැකිවූයේ ගෝල් 2ක්, උත්සාහක දිනුමක් සහ දඬුවම් පහර 2ක් පමණි.

හැව්ලොක්ස් පිලට ජය

මේ අතර සිවුවැනි සතියේ තරග ආරම්භ කරමින් පසුගියදා පොලිස් පිල සමග තරග වැදුණු හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය පළමුභාගය නිමාවනවිට ලකුණු 14-0කින් පසුබෑමකට ලක්වූවත් දෙවැනි භාගයේදී ලකුණු 31-26කින් පොලිස් පිල අත තිබූ ජයග්‍රහණය උදුරාගත්තේය.

දෙවැනි භාගයේදී තරගයේ පාලනය සියතට ගත් හැව්ලොක්ස් පිල උත්සාහක දිනුම් 5ක්ම තැබූ අතර ප්‍රින්ස් චාමර ඉන් 3ක්ම ගෝල් කණුවට ඉහළින් යවමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය. පොලිසිය රැස්කළේ ‍ගෝල් 3ක් සහ උත්සාහක දිනුමක් පමණි.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();