අත් පොලසන් හඬ නොඇසෙන කතා කළ නොහැකි අයෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට ආවොත් කිසිවකු පුදුම වෙන්න එපා
අත් පොලසන් හඬ නොඇසෙන කතා කළ නොහැකි ශ්‍රවණාබාධිත ක්‍රීඩකයෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට තවත් වසර දෙක තුනකදී ක්‍රීඩා කළහොත් ඒ පිළිබඳ කිසිවෙකු හෝ පුදුම විය යුතු නැතැයි ලෝක ශූර ශ්‍රවණාබාධිත ක්‍රිකට් පිලේ පුහුණුකරු ජයලත් අපෝන්සු මහතා පවසයි. ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට ක්‍රීඩා කළ හැකි මට්ටමේ ක්‍රීඩකයන් දෙතුන් දෙනෙකුම ශ්‍රවණාබාධිත ක්‍රිකට් පිල සතුව සිටින බවත්, හෙට අනිද්දාම එයින් එක් අයෙකු ශ්‍රී ලංකා ක්‍රිකට් සංවර්ධන සංචිතයට භාර කිරීමට කටයුතු කරන බවත් අපොන්සු මහතා ‘දිනමිණ’ ට පැවැසීය.
“ශ්‍රී ලංකා ශ්‍රවණාබාධිත ක්‍රිකට් පිල ආසියා කුසලාන තරගාවලියේ අනු ශූරයන් වුණා. දැන් ලෝක කුසලානය රටට ගෙනාවා. මගේ මීළඟ ඉලක්කය ශ්‍රී ලංකා ටෙස්ට් හා එක්දින ක්‍රිකට් පිලට හොඳ දක්ෂතා ඇති ශ්‍රවණාබාධිත ක්‍රිකට් ක්‍රීඩකයෙක් දෙන්නයි. ඒක ඉතා ඉක්මණින් වෙනවා” ශ්‍රවණාබාධිත ක්‍රිකට් පිලේ පුහුණුකරු සඳහන් කළේය.
ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලෝක කුසලානයක් දිනාගත් තෙවැනි අවස්ථාව මෙය ලෙස ඉතිහාසයට එක්වන අතර මෙයට පෙර 1996දී අර්ජුණ රණතුංගගේ නායකත්වයෙන් ක්‍රිකට් ලෝක කුසලානය, 2014දී ලසිත් මාලිංගගේ නායකත්වයෙන් විස්සයි 20 ලෝක කුසලානය හා මෙවර ගිමෝදී මැල්කම්ගේ නායකත්වයෙන් ශ්‍රවණාබාධිත විස්සයි 20 ලෝක කුසලානය ශ්‍රී ලංකාව දිනා ඇත. ශ්‍රවණාබාධිත විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියට ඉන්දියාව, බංග්ලාදේශය, ඔස්ට්‍රේලියාව, පකිස්තානය, දකුණු අප්‍රිකාව, නේපාලය හා ශ්‍රී ලංකාව සහභාගී වූහ.
ශ්‍රී ලංකා ශ්‍රවණාබාධිත ක්‍රිකට් පිල මේ තරගාවලියේදී දකුණු අප්‍රිකාවට පමණක් පරාජයවී අනෙක් සියලු රටවල් සමග පැවැති තරග ජයග්‍රහණය කොට විස්සයි 20 ලෝක කුසලානය ශ්‍රී ලංකාවට රැගෙන පැමිණීම කාගේත් අවධානයට ලක්විය.
21 හැවිරිදි නායක ගිමෝද් මැල්කම් ශ්‍රී ලංකා ශ්‍රවණාබාධිත ක්‍රිකට් පිලේ වමතින් දඟ පන්දු යවන ක්‍රීඩකයෙකු වන අතර සෑම ඉරියව්වකම කැපීපෙණන ක්‍රීඩකයෙකු වේ. බලපිටිය සිද්ධාර්ථ විදුහලෙන් අධ්‍යාපනය හැදෑරූ ඔහු ශ්‍රී ලංකා ශ්‍රවණාබාධිත ක්‍රිකට් පිලේ අති දක්ෂ ක්‍රීඩකයෙකු බව පුහුණුකරු ජයලත් අපෝන්සු මහතාගේ අදහසවී තිබේ.
වසර 23ක් තිස්සේ ශ්‍රවණාබාධිත ක්‍රිකට් පිලේ පුහුණුකරු ලෙස කටයුතු කරන ජයලත් අපොන්සු මහතා කොළඹ තර්ස්ටන් මහා විද්‍යාලයේ කැපී පෙනෙන ක්‍රිකට් ක්‍රීඩකයෙකුවූ අතර කොළඹ මහා නගර සභාවේ ක්‍රීඩා අධ්‍යක්ෂ ලෙස රාජකාරී කළේය. මොරටුව ක්‍රීඩා සමාජයේ හා නොමෑඩ්ස් ක්‍රීඩා සමාජයේ ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස ඔහු වසර ගණනාවක් ක්‍රීඩා කොට හසල අත්දැකීම් ඇත්තෙකි.
ඒ මහතා පවසන පරිදි හම්බන්තොට, ගාල්ල හා යාපනය වැනි ප්‍රදේශවලින් ශ්‍රවණාබාධිත ක්‍රිකට් පිලට ක්‍රීඩකයෝ එක්ව සිටිති. කොළඹින් ක්‍රීඩකයන් ඉතා ස්වල්පයක් එක්ව සිටින බව අපොන්සු මහතා පැවැසීය.
“ගොඩක් අය ශ්‍රවණාබාධිත ක්‍රිකට් ක්‍රීඩාව පටලවාගෙන තිබෙනවා. අපි බිම දිගේ එවන ගෙජ්ජි බෝලයෙන් ක්‍රීඩා කරන්නේ නෑ. සාමාන්‍ය ක්‍රිකට් ක්‍රීඩකයන් වගේ ලෙදර් පන්දුව ශ්‍රවණාබාධිත ක්‍රිකට් ක්‍රීඩකයන් ක්‍රීඩා කරන්නේ. ගතවූ දශක දෙකක කාලයේ අපිටත් බවුන්සර්, ෆුල්ටොස්, නෝ බෝල් හා වයිඩ් පන්දු එනවා. අපි ඒ හැම දේටම ඉවසීමෙන් මුහුණ දුන් නිසා ලෝක කුසලානය දක්වා ගමනක් ආවා. අපේ ළමයින්ට කතා කරන්න බෑ. ඒ වගේම ඇහෙන්නේ නෑ. නැත්නම් පන්දු යවන ආකාරය හා පන්දුවට පහරදීම, පන්දු රැකීම සාමාන්‍ය පරිදි සිදුවෙනවා. අපටත් අයි. සී. සී. නීති රීතිවල කිසිම වෙනසක් නෑ. අපි වසර 6ක් තිස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් තෙවැනි පෙළ අන්තර් ක්‍රීඩා සමාජ තරගාවලියට ක්‍රීඩා කරනවා. ක්‍රීඩාංගණ වෙන් කර ගැනීමේදී අපට ආර්ථික ප්‍රශ්න මතුවනවා. නමුත් මොරටුව නගර සභාව සොයිසා ක්‍රීඩාංගණය අපට සහන මිළකට දෙනවා. ඒ නිසා තෙවැනි පෙළ තරගාවලියට ක්‍රීඩා කරද්දී අපට පහසුයි” ජයලත් අපොන්සු මහතා පැවැසීය.
ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා ශ්‍රවණාබාධිත ක්‍රිකට් පිල ඉන්දියාව බලා පිටත්ව යෑමේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සියලු හෝටල් ගාස්තු ගෙවීමට අවශ්‍ය මුදල් ලබාදී ඇති අතර, ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ගුවන් ප්‍රවේශපත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් රුපියල් ලක්ෂ 5ක් හා යූනියන් ඇෂුවරන්ස් ආයතනයේ අනුග්‍රහය හිමිව ඇත.
“ඉදිරියේදී අපව ශ්‍රී ලංකා ක්‍රිකට් යටතට ගන්නා බව ක්‍රීඩා ඇමැතිවරයා කිව්වා. එහෙම වුණොත් නව පිටුවක් ආරම්භ කළ හැකියි. අපට යමක් කළ හැකි බව ඔප්පු කළා. අපේ ක්‍රීඩකයන්ට ශාරීරිකව අඩුපාඩු තිබුණත් ඔවුන් හිතින් ගොඩක් ශක්තිමත්” අපොන්සු මහතා පැවැසීය.
0 Comments