ගීෂා මුණසිංහ
සිලෝන් මාස්ටර්ස් බැඩ්මින්ටන් සංගමයේ සංවිධායකත්වයෙන් ශ්‍රී ලංකාවේ පැවැති පළමු ජාත්‍යන්තර මාස්ටර්ස් බැඩ්මින්ටන් ශූරතාවලියේ දී රන් පදක්කම් 15ක් දිනාගනිමින් සියලු ගෞරව හිමි කරගැනීමට සත්කාරක ශ්‍රී ලංකාව ඊයේ සමත්විය. තරග ඉසව් 29කදී ශ්‍රී ලංකාවට රන් පදක්කම් 9ක් හිමිවූ අතර ඉතිරි රන් පදක්කම් 6 හිමිවූයේ ඉන්දුනීසියාව සමග ඒකාබද්ධ කණ්ඩායම් ලෙස තරග වදිමිනි.
කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී දින තුනක් පුරා පැවැති මේ ශූරතාවලියේ කැපී පෙනෙන ක්‍රීඩිකාව බවට පත්වූ හිටපු ජාතික බැඩ්මින්ටන් ශූරිය චන්ද්‍රිකා ද සිල්වා රන් පදක්කම් ත්‍රිත්වයක් දිනාගැනීමට සමත්වූවාය. එහිදී ඇය අවුරුදු 40න් සහ 45න් ඉහළ කාන්තා ඒකල තරග ඉසව්වේ රන් පදක්කමට හිමිකම් කී අතර අවුරුදු 35න් ඉහළ මිශ්‍ර යුගල තරගයට ඉන්දුනීසියාවේ මුහම්මද් සමග එක්ව තරග වදිමින් එම ඉසව්වේ රන් පදක්කමත්, කෞෂලී දිසානායක සමග එක්ව අවුරුදු 40න් ඉහළ කාන්තා යුගල තරගයේ රන් පදක්කමත් දිනාගත්තාය.
ඉන්දුනීසියාව රන් පදක්කම් 10ක් දිනා ගනිමින් දෙවැනි ස්ථානයට පත්වූ අතර රන් පදක්කම් 7ක දිනාගත් ඉන්දියාව තෙවැනි ස්ථානයට පත්විය.
සත්කාරක ශ්‍රී ලංකාව සමග ඉන්දියාව, චීනය, තායිවානය, ඉන්දුනීසියාව, මැකාවෝ, නේපාලය, නවසීලන්තාය, මැලේසියාව සහ ඔස්ට්‍රේලියාව නියෝජනය කරමින් තරග 292ක් සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 300ක් මේ ශුරතාවලියට එක්වූහ.
සෑම ඉසව්වකම ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට මුදලින් ඇමෙරිකානු ඩොලර් 7500ක් ත්‍යාග වශයෙන් බෙදී ගිය අතර තරගාවලියට සහභාගිවූ සැම තරග කරුවෙකුටම වටිනා මැණික් ගල් පිරිනැමීමට රාජ්‍ය මැණික් හා ස්වර්ණාභරන අධිකාරිය කටයුතු කළේය.
තරගාවලියේ අවසන් දිනය වූ ඊයේ ප්‍රධාන ආරාධිතයා ලෙස යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානයක මහතා සහාභාගී සිටි අතර අවසන් ජයග්‍රහකයන් සඳහා පදක්කම් හා සහතික පත් ප්‍රදානය සිදු වුයේ යුදහමුදාපතිවරයා අතිනි.

0 Comments