Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වසර 17කට පසු ජාත්‍යන්තර ඔලිම්පික් කාන්තා ක්‍රීඩා සම්මාන ප්‍රදානයට ශ්‍රී ලංකාවත්

ප්‍රින්ස් ගුණසේකර

ජාතික ඔලිම්පික් කමිටුවේ කාන්තා කමිටුව විසින් වසර 17කට පසුව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ කාන්තා හා ක්‍රීඩා සම්මාන ප්‍රදානය උදෙසා නාම යෝජනා කැඳවයි. වසර 2001 සිට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ කාන්තා හා ක්‍රීඩා සම්මාන ප්‍රදාන උළෙල පැවැත්වුවද ශ්‍රී ලංකාවෙන් කිසිදු නාම යෝජනාවක් ඉදිරිපත්කර නොතිබුණි. කාන්තාවන්ට ක්‍රීඩාවේදී සම අයිතිය ලබාදීම වෙනුවෙන් මේ සම්මාන ප්‍රදානය ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ආරම්භ කර තිබුණද එහෙත් ජාතික ඔලිම්පික් කමිටුවේ හිටපු කාන්තා කමිටු නිලධාරීහූ එම අවස්ථා මඟ හැර තිබිණි.

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ කාන්තා හා ක්‍රීඩා සම්මාන ප්‍රදානය උදෙසා නාම යෝජනා ලබන දෙසැම්බර් 31වැනිදා භාර ගැනීමට නියමිත බව ජාතික ඔලිම්පික් කමිටුවේ කාන්තා කමිටු සභාපතිනී නිලූ ජයතිලක මහත්මිය සදහන් කළාය.

“ක්‍රීඩාවේ කාන්තා නියෝජනය පිළිබඳ දිරිගැන්වීම් ඉතාම වැදගත්. ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ඇති කිරීම මේ වැඩ පිළිවෙලේ අරමුණයි. ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ක්‍රීඩාවේ සෑම අංශයකම ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව තිබිය යුතු බව පිළිගෙන තිබෙනවා. ක්‍රීඩාවේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව වර්ධනය කිරීම සඳහා දිරි ගැන්වීමක් වශයෙන් මෙවැනි වැඩසටහන්, ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් හඳුන්වා දී තිබෙනවා. ශ්‍රී ලංකාවෙන් මේ සඳහා යවන නාම යෝජනා නියමිත පටිපාටියක් යටතේ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට යොමු කිරීමට අප කටයුතු කරනවා” ජයතිලක මහත්මිය පැවැසූවාය.

“මෙවැනි සම්මාන ප්‍රදානයකට ශ්‍රී ලංකාවෙන් නාම යෝජනා ඉදිරිපත් කරන පළමු අවසථාව මෙයයි. මෙමගින් කාන්තා ක්‍රීඩාව ප්‍රවර්ධනය මෙන් ම ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලාංකේය කාන්තා ක්‍රීඩා නියෝජනය පිළිබඳ අවධානය වැඩි වශයෙන් ලැබෙනවා. සියලු තෝරා ගැනීම් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු නිර්දේශයන්ට යටත්ව සිදු කරනවා. ක්‍රීඩා සංවිධාන, ක්‍රීඩා සංගම්, ක්‍රීඩා සමාජ, ක්‍රීඩා අධ්‍යාපන ආයතන සහ ක්‍රීඩාවේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව වෙනුවෙන් ක්‍රියාකාරී දායකත්වයක් සපයන ඕනෑම සංවිධානයකට හෝ ආයතනයකට මේ සඳහා අයදුම් කළ හැකියි” ජාතික ඔලිම්පික් කමිටුවේ කාන්තා කමිටු උප ලේකම් අනෝමා රත්නායක මහත්මිය සඳහන් කළාය.

එහිදී කාන්තා ක්‍රීඩා හා ශාරීරික ක්‍රියාකාරකම්, ක්‍රීඩා කාන්තා ගැටලු පිළිබඳ අධ්‍යයනය, කාන්තා ක්‍රීඩා අධ්‍යාපන පර්යේෂණ, ආයතන තුළ කාන්තා ක්‍රීඩා වැඩසටහන් සම්පාදනය, කාන්තා ක්‍රීඩා පුහුණු කටයුතු, කාන්තා ක්‍රීඩා පරිපාලනය ක්‍රීඩා කළමනාකරණ, කාන්තා නායකත්වය, ආයතන කළමනාකරණය තුළ කාන්තා දායකත්වය, කාන්තා ක්‍රීඩා ප්‍රතිරූප ගොඩනැඟීම යන අංශයන් කෙරෙහි ක්‍රියාකාරී දායකත්වය දක්වමින් ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රීඩා අභිවෘද්ධිය වෙනුවෙන් සිදුකළ ක්‍රියාකාරකම් පිළිබඳ විශේෂ අවධානය යොමු කෙරේ. මේ සඳහා කාන්තා ක්‍රීඩා ප්‍රවර්ධනය කිරීමට ක්‍රියාකාරී දායකත්වයක් සපයන ඕනෑම පුද්ගලයෙකු (කාන්තා/පිරිමි) හෝ ආයතන හෝ සංවිධාන සඳහා අයදුම්පත් ඉදිරිපත් කළ හැකි ය.

මීට අමතරව ක්‍රීඩාවේ කාන්තා දායකත්වය ප්‍රවර්ධනය වෙනුවෙන් කටයුතු කළ දැනට ක්‍රීඩා තරගවලට ඉදිරිපත් නොවන ක්‍රීඩා කළමනාකරණ, ක්‍රීඩා පුහුණු, ජනමාධ්‍ය, වාර්තාකරණ, අනුග්‍රාහක, ක්‍රීඩා අධ්‍යාපන, ක්‍රීඩා පර්යේෂණ ක්‍ෂේත්‍රවල විශ්‍රාමික පුද්ගලයින්ට ද අයදුම් කළ හැකි ය.

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ නිර්දේශයන්ට අනුව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සාමාජික සාමාජිකාවන්ට, ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු කාන්තා කමිටු සාමාජික සාමාජිකාවන්ට අයැදුම් කළ නොහැකි ය.

ඉහත සුදුසුකම් සපුරාලන ඕනෑම කෙනෙකුට මේ සඳහා අයදුම් කිරීමට අවශ්‍ය අයදුම්පත් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ www.Olympic.org නිල වෙබ් අඩවියෙන් ලබා ගත හැකි ය.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();