දඩ මුදල අඩු කළේ වැරැදි කිරීමට අවස්ථාව ලබාදෙන්න නොවේ
- රාජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා
චක්‍රලේඛ වෙනස් කිරීමේ දී ජනතාවගේ පහසුව ගැන හිතන්න
- බිමල් රත්නායක
මගීන් වෙනුවෙන් කාර්යක්ෂම සේවාවක් සැලසිය යුතුයි
- කාවින්ද ජයවර්ධන
විනයගරුක රියැදුරන් බිහිකරමින් මාර්ග ආරක්ෂාව තහවුරු කොට ජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීම වෙනුවෙන් දඩ මුදල් සංශෝධනය සඳහා පියවර ගන්නා බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය ඇමැති අශෝක අබේසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (05) පැවැසීය.
ස්ථානීය දඩ නියම කිරීම තුළින් අපේ රටේ විනයගරුක රියදුරන් බිහිවී මගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට මේ තුළින් හැකිවන බව පෙන්වාදුන් ඒ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කරන ලද කමිටුවේ නිර්දේශ අනුව දඩ මුදල් අයකිරීම සිදුවන බව ද පෙන්වා දුන්නේය.
කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ඊයේ (05) පෙරවරු 10.30 ට රැස්විය. නිවේදන, ලිපි ලේඛන හා මහජන පෙත්සම් සහ අමාත්‍යාංශ නිවේදන ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වාචික පිළිතුරු අපේක්ෂාවෙන් සහ ස්ථාවර නියෝග 22 (3) යටතේ මන්ත්‍රීවරු අසන ලද ප්‍රශ්නවලට අදාළ ඇමැතිවරු පිළිතුරු ලබාදුන්හ.
මෝටර් වාහන පනත යටතේ නියෝග තුනක් සම්බන්ධයෙන් වූ විවාදය ආරම්භ විය.
ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය ඇමැති අශෝක අබේසිංහ මහතා - මේ පනතෙන් කියවෙන්නේ මේ රටේ ත්‍රීරෝද රථ වෙනුවට රෝද 4 වාහනයක් භාවිත කිරීම සම්බන්ධයෙන් 2017 අය-වැය මඟින් හඳුන්වා දුන්නා. එය මේ රටේ නීති පද්ධතියට ඇතුළත් වී තිබුණේ නැහැ. ඒ නිසා විශේෂයෙන්ම ඊට නමක් යොදවා අපේ රටේ නීති පද්ධතියට ඇතුළත් කළයුතු වෙනවා.
'මෝටර් නිවස' නමින් අලුත් වාහන පද්ධතියක් හඳුන්වාදීම වෙනුවෙන් මේ ගැසට් පත්‍රය ඉදිරිපත් කර තිබෙනවා. රෝද හතරේ වාහනය ත්‍රීරෝද රථයට හා සමාන ට්‍රොඩි සයිකලය නමින් හඳුන්වන වාහනය රෝද හතරේ වාහනයක්. මෙය ලියාපදිංචියට, රක්ෂණයට අවශ්‍ය මුදල් මේ ගැසට් පත්‍රයේ සඳහන් වෙනවා. ඒ වගේම එය අධිවේගී මාර්ගයට ඇතුළත් නොවිය යුතුයි යන ගැසට් පත්‍රයක් ද ඉදිරිපත්කර තිබෙනවා. මේ වාහන 5ක් පමණ දැනට ලංකාවට ගෙනවිත් තිබෙනවා. ත්‍රීරෝද රථ වෙනුවට රෝද හතරේ මේ වාහනය ඉදිරියේ දී ලංකාවට හඳුන්වා දෙනවා. ඒ වගේම සංචාරකයන් වෙනුවෙන් මෝටර් නිවස නමැති වාහනය හඳුන්වා දෙනවා.
2017 අයවැයේ දී දඩමුදල් වැඩි කිරීමේ යෝජනාවක් පැමිණියා. දඩ මුදල රුපියල් 25, 000 දක්වා වැඩි වියයුතුයි කියා මතයක් තිබුණා. රුපියල් 2, 500කින් දඩ මුදල් වැඩිකළයුතු බවට යෝජනා වුණා. ඒ සම්බන්ධයෙන් වාහන සංගම් අපි සමඟ සාකච්ඡා කළා. පෞද්ගලික බස්රථ සමාගම් අපි සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව බීමතින් රිය පදවනවා නම් රුපියල් 25, 000 දඩ මුදලක් අය කළත් කමක් නැහැ කීවා. ඒ අනුව එම දඩ වර්ගය පැමිණියා.
මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් කමිටුවක් පත්කළා. ඒ කමිටුවේ නිර්දේශ දෙකක් පැමිණ තිබුණා. ඒ කමිටුව දඩ වර්ග 33ක් හඳුන්වා දී තිබෙනවා. මෝටර් රථ වැරැදි වෙනුවෙන් අයකරන ස්ථානීය දඩ මුදල් ද මේ ගැසට් පත්‍රයේ සඳහන් වෙනවා. රුපියල් 25, 000 ක්ව පැවැති දඩය ඒ කමිටුව මඟින් අවමය රුපියල් 500 සිට උපරිමය රුපියල් 3, 000 දක්වා ස්ථානීය දඩයක් වශයෙන් නියම කර තිබෙනවා. ඒ වෙනුවෙන් අද මේ පාර්ලිමේන්තුවේ අනුමැතිය අපේක්ෂා කරනවා.
අපි මේ දඩ මුදල් සංශෝධනයෙන් අපේක්ෂා කරන්නේ විනයගරුක රියදුරන් බිහිකිරීම සහ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම මෙන්ම මාර්ගයේ ගමන් කරන අයගේ ජීවිත ආරක්ෂා කිරීම මේ දඩ මුදල් සංශෝධනයෙන් අපේක්ෂා කරනවා. දඩ වර්ග 7ක් සම්බන්ධයෙන් පසුගිය කාලයේ කතා කළා. රජය විසින් පත්කර තිබෙන කමිටුවේ නිර්දේශ හරහා මෙම දඩ වර්ග ඉදිරිපත් කර තිබෙනවා.
ස්ථානීය දඩ නියම කිරීමෙන් අපේ රටේ විනයගරුක රියදුරන් බිහි වී අපේ රටේ මගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සාර්ථකව කරගන්න පුළුවන්. නව වාහන පන්ති දෙක හඳුන්වාදීම තුළින් විදෙස් සංචාරකයන්ට අතිශයින්ම වැදගත් වෙනවා. එම නව වාහන පන්ති හඳුන්වාදී අද දිනයේ සිදුකෙරෙනවා. ත්‍රීරෝද රථය වෙනුවට රෝද හතරේ කුඩා වානහයක් හඳුන්වා දෙනවා.
එහි හතරත් පහත් අතර ප්‍රමාණයක් යන්න පුළුවන්. එය 199 - 499 සී.සී අතර පවතින වාහනයක් වෙනවා. එය අදින් පසුව නීතියක් බවට පත්වෙනවා. මෙය අධිවේගී මාර්ගවලට ඇතුළත් කිරීම තහනම් වෙනවා. එය අධිවේගී මාර්ගවලට ඇතුළත් කිරීම තහනම් කිරීම වෙනුවෙන් නියෝග ඉදිරිපත් කර තිබෙනවා. අද සිට මේ නීති ක්‍රියාත්මක වෙනවා. මේ වසරේ ජනවාරි 18 අති විශේෂ ගැසට් පත්‍රය ඉදිරිපත් කර තිබෙනවා.
මේ පනත් ඉදිරිපත් කිරීම තුළින් අපේ රටේ විනයගරුක රියදුරන් බිහිකර මාර්ග ආරක්ෂාව සහතික කිරීම අවශ්‍ය වෙනවා. දිනකට රිය අනතුරුවලින් 7 දෙනකු 8 දෙනකු පමණ මියයනවා. ත්‍රීරෝද රථ සඳහා නව බලපත්‍ර ලබාදීමේ දී දිනක වැඩමුළුවක් පැවැත්වීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. ඒ වගේම ඉදිරියේ දී ජාත්‍යන්තර රියදුරු බලපත්‍ර ක්‍රමය හඳුන්වා දෙන්නට අපේක්ෂා කරනවා. රියැදුරන් සඳහා ලකුණු දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න අපේක්ෂා කරනවා. මේ රටේ රිය අනතුරු අවම කොට ජනතාවගේ ජීවිත සුරක්ෂිත කොට විනයගරුක රියදුරන් බිහිකිරීම වෙනුවෙන් මේ පනත් තුළින් අපේක්ෂා කරනවා.
නියෝජ්‍ය කාරක සභා සභාපති ශෙල්වම් අඩේකලනාදන් මහතා මුලසුනට පැමිණියේය.
පත්කළ මන්ත්‍රී බිමල් රත්නායක මහතා (ජ.වි.පෙ) - විමෝචන සහතික අවශ්‍ය කර තිබෙන්නේ කුමට ද කියා මම අහනවා. මිනිසුන්ට වධ දෙන්නේ ඇයි. යම් ප්‍රමාණයකින් දඩ තිබිය යුතු වෙනවා. නමුත් මෙවැනි නීති දැමූ පසුව මිනිසුන්ට එපා වෙනවා. මිනිසුන් කරන වැරැදි නිසා දඬුවම් කිරීම මෙතන දී කතා කරනවා. නමුත් පාරේ තිබෙන අඩුපාඩු හේතුවෙන් සිදුවන වැරැදි සම්බන්ධයෙන් කතා කරන්නේ කවුද. ඒවා සිදුවන්නේ ජනතාවගේ වරදින් නොවේ. චක්‍රලේඛ වෙනස් කිරීමේ දී ජනතාවගේ පහසුව සම්බන්ධයෙන් අවධානය යොමු කළයුතු වෙනවා. ප්‍රවාහන වෛද්‍ය ආයතනය විමධ්‍ය ගතකිරීමට අමාත්‍යාංශය විසින් පියවර ගතයුතු වෙනවා. ඒ වෙනුවෙන් ලොකු දෙයක් කළයුතු නැහැ. මේ තුළින් ජනතාව විශාල වශයෙන් පීඩා විඳිනවා. වාහනයක් ලියාපදිංචි කිරීමේ දී වෙළෙඳුන්ට යම්කිසි සහනයක් ලබාදෙන්නට පියවර ගෙන තිබෙනවා. ට්‍රොක් සයිකල් ආනයනය පිටුපස ඉන්නේ කවුරුන්ද යන්න දැන ගැනීමට අවශ්‍ය වෙනවා.
මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී ලකී ජයවර්ධන මහතා (එ.ජා.ප) - ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය තුළින් වැදගත් අණ පණත් කිහිපයක් ඉදිරිපත් කරමින් ක්‍ෂේත්‍රයට යම් සේවයක් කරන්නට උත්සාහ දරා තිබෙනවා. පසුගිය කාලයේ අධික ලෙස දඩ මුදල් පනවා තිබුණු අවස්ථාවක අද එම දඩ මුදල් අවම කරන්නට පනත් කෙටුම්පතක් ඉදිරිපත් කොට තිබෙනවා. ප්‍රායෝගිකව සිතා බැලීමෙන් ප්‍රශ්න අවම කරන්න හැකි වෙනවා. ස්ථානීය දඩ මුදලක් ක්‍රියාත්මක කරන්නට පියවර ගෙන තිබෙනවා. රිය අනතුරු අවම කරන්න අපේ අරමුණ වී තිබෙනවා.
වන්නි දිස්ත්‍රික් මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් මහතා (දෙ.ජා.ස) - පසුගිය කාලවල පැවැති නීති රීතිවලට වඩා නීති ඇතිකරන අවස්ථාවක ලංකාවේ අනතුරු වැඩි වෙමින් තිබෙනවා. නීති වැඩිකිරීම තුළින් අනතුරු අඩු වියයුතු වෙනවා. නමුත් අද වනවිට රටේ අනතුරු ඉහළ යමින් තිබෙනවා.
ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා (එ.ජා.ප) -අධිවේගී මාර්ගවල නඩත්තුව හරියට සිදුවන්නේ නැහැ. පනතේ සඳහන් වෙනවා ආබාධිතයන් කියලා. ආබාධිත කියන වචනය වෙනස් කළොත් හොඳයි කියලා හිතනවා. විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන් කියලා එය වෙනස් කරන්නේ නම් හොඳයි. ලංකා ගමනාගමන මණ්ඩලය ගැන නම් සතුටු විය නොහැකියි. බස් තිබෙනවා. රියදුරු කොන්දොස්තරවරුන් නැහැ. සෑම ඩිපෝවකම පුරප්පාඩු පවතිනවා. ඩිපෝවල අකාර්යක්ෂමතාවක් තිබේ නම් ආණ්ඩුවක් විදියට අපි වගකිව යුතුයි.
රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ජානක වක්කුඹුර මහතා (එ.ජ.නි.ස) - මෝටර් රථ සඳහා නව සංශෝධනයක් සහිත පනතක් ගෙන ඒම හොඳයි. මහා මාර්ග විශාල කළ යුතුයි. පානදුර රත්නපුර මාර්ගයේ තිබෙන වංගු නිසා හැමදාම අනතුරු වෙනවා. පාරවල් පටු නිසා අනතුරු වැඩි වී තිබෙනවා. රිය අනතුරු සිදු වීමේදි හරියට පාරේ යන කෙනාටත්, වැරදියට පාරේ යන කෙනාටත් නඩු දානවා. ඒ ගැන අවධානය යොමු කළ යුතුයි.
විදුලිබල හා පුනර්ජනනීය නියෝජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා මහතා - ඔබතුමා කියන විදියට වරදක් නොකළ පුද්ගලයාට අහිංසකයාටත්, වැරැද්ද කළ කෙනාටත් නඩු දානවා. මේ ගැන පොලිස් දෙපාර්තමේන්තුව අවධානය යොමු කළ යුතුයි.
රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ජානක වක්කුඹුර මහතා (එ.ජ.නි.ස) - කෙසේ වෙතත් බදු අඩු කිරීම ගැන සතුටු වෙනවා.
විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා මහතා - රුපියල් 25, 000 දඩ මුදල වැඩියි කියන මතයේ විශාල පිරිසක් සිටියා. ඇතැම් විට මෙවැනි දඩ මුදලක් නියම වූ විට රියදුරන් විශාල වශයෙන් අපහසුතාවට පත්නවා. ඒ අනුව මේ දඩ මුදල උපරිම වශයෙන් රුපියල් 3, 000 දක්වා අවම කොට තිබෙනවා. දඩ මුදල අවම කිරීම වැරැදි කිරීම සඳහා අවස්ථාවක් ලබාදීම නොවේ. විශාල ලෙස දඩ පැනවීම සමාජ අසාධාරණත්වයට හේතුවක් වෙනවා. අනවශ්‍ය තරම් දඩ මුදල් පැනවීම සමාජයට විශාල ප්‍රශ්නයක් වෙනවා.
ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා (එ.ජා.ප) - අපේ මගී ජනතාව වෙනුවෙන් කාර්යක්ෂම හා ආරක්ෂිත ප්‍රවාහන සේවාවක් ලබාදිය යුතු වෙනවා. ඒ වගේම ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීම වෙනුවෙන් පියවර ගතයුතු වෙනවා.
අද (06) පෙරවරු 10.30 ට
පාර්ලිමේන්තුව යළි රැස්වීමට නියමිතයි.
කැබිනට් පත්‍රිකාව ළඟදීම පාසල් වේලාවේ ටියුෂන් තහනම්
- අධ්‍යාපන ඇමැති කියයි
පාසල් පැවැත්වෙන වේලාව වන උදෑසන 7.30 සිට දහවල් 1.30 දක්වා කාලය තුළ දී පෞද්ගලික උපකාරක පංති තහනම් කිරීමේ කැබිනට් පත්‍රිකාව කඩිනමින් ඉදිරිපත් කරන බව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පාර්ලිමේන්තුවේදි ඊයේ (05) ප්‍රකාශ කළේය.
පාසල් කාලය තුළ දී පෞද්ගලික උපකාරක පංති පැවැත්වීම විලාසිතාවක් බවට පත්ව ඇතැයි ද, එසේ උපකාරක පංති පැවැත්වීම හේතුවෙන් දරුවන් පාසල් නොපැමිණ අදාළ උපකාරක පංතිවලට සහභාගී වීමට යොමු වීමෙන් පාසලට නොපැමිණීම සිදු වන්නේ යැයි ද ඇමැතිවරයා පැවැසුවේය.
රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (05) ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
පාසල්වල පවතින විදුහල්පතිවරු, ගුරුවරු පුරප්පාඩු බහුතරයක් මේ වන විට පුරවා ඇති බවත් පසුගිය කාලය තුළ දී විදුහල්පතිවරුන් 4000 ක් පමණ බඳවා ගැනීම සිදු කළ බවත් ඇමැතිවරයා පැවැසුවේය.
0 Comments