Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කොළඹ සංහිඳියාවේ අගනගරය කිරීම මගේ ඉලක්කයයි

Author(s): 
උදුලා පීරිස්

කොළඹ සංහිඳියාවේ අගනගරය බවට පත්කිරීම මගේ පළමු ඉලක්කයයි. කොළඹ මහ නගර සභාවේ මංගල සභා රැස්වීම අමතමින් කොළඹ පුරපතිනිය රෝසි සේනානායක මහත්මිය පැවසුවාය.

නිදහස ලැබූ දා පටන් අපි කළේ දේශපාලන ආගම් වශයෙන් බෙදී කුලල් කා ගැනීමයි. එහි ප්‍රතිඵලය වුණේ කුමක්ද? ඒ ඉතිහාසය නැවත සිදුවීම වළක්වන්නට අපි නිසි පියවර ගෙන තිබෙනවාද? එදා තිබූ ආර්ථික සමාජයීය සශ්‍රීකත්වය යළි ඇතිකරන්නට අපි කටයුතු කර තිබෙනවාද? මේ ප්‍රශ්නවලට මා සතු පෞද්ගලික උත්තරය නම් එතරම් සුබදායක නැතැයිද අපි ජනතාවගේ මූලික අවශ්‍යතා වන පිරිසිදු වාතය, පාලීය ජලය, පෝෂ්‍යදායී ආහාර, නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය ප්‍රවාහන පහසුකම්, හිසට සෙවණක් වැනි කරුණු ගැන කතා කරන්නට කොපමණ ඉඩක් වෙන්කර තිබෙනවාද? ඒ සම්බන්ධයෙන් අපි ජනතාවට විසඳුම් ලබාදී තිබෙනවාද? එසේත් නැත්නම් අපි දේශපාලනඥයන් වශයෙන් කාලය කා දමන්නේ එකිනෙකාට දෝෂාරෝපණය කරමින් පටු දේශපාලන වාසි තකා තම ගොඩ පුරවාගන්නට පමණක් ද? මෙවැනි තරුණු ගැන වත්මන් දේශපාලන සහ රාජ්‍ය යාන්ත්‍රණය ගැඹුරින් සිතා බැලිය යුතුව ඇතැයිද පුරපතිනිය අවධාරණය කළාය.

ඊයේ (05) නව නගර ශාලාවේ පැවැති මේ රැස්වීම සඳහා වේත්‍රධාරියා විසින් සෙංකෝලය පෙරටු කරගනිමින් ගමන්ගත් අතර පිටුපසින් නාගරික කොමසාරිස් ලලිත් වික්‍රමරත්න මහතා විසින් පුරපතිනිය රෝසි සේනානායක මහත්මිය උත්සව ශාලාව වෙත කැඳවාගෙන එනු ලැබිණි. පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් හා මන්ත්‍රීවරියන් 119 දෙනාම මේ අවස්ථාවට සහභාගීවී සිටියහ.

වැඩිදුරටත් අදහස් දක්වමින් පුරපතිනිය මෙසේද කීවාය.

අද මේ ඓතිහාසික අවස්ථාවේ මේ ගරු සභාව මම ආමන්ත්‍රණය කරන්නේ නිහතමානී ආඩම්බරයකින්. ඒකට ප්‍රධාන හේතු දෙකක් තියෙනවා. පළමුවැන්න එක්සත් ජාතික පක්ෂය බිහිවූ දා සිට එය අත් නොහළ කොළඹ නගර වැසියන් මෙවරත් ඉතා විශිෂ්ට අන්දමින් අප ගැන බලාපොරොත්තු තබා අප ජයග්‍රහණය කරවීමයි. දෙවැන්න ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමුවරට කොළඹ නගර සභාවට තේරී පත්වූ පළමු පුරපතිනිය වීමයි. එය සිදුවන්නේ ලංකා ඉතිහාසයේ කාන්තා නියෝජනය සඳහා අප ගෙන ගිය අඛණ්ඩ සටනේ ප්‍රතිඵලයක් ලෙස අග්‍රාමාත්‍යතුමාගේ දර්ශනයට අනුව සියයට විසිපහක අවම කාන්තා නියෝජනය සුරක්ෂිත කළ සන්ධර්භය තුළයි. ඒ නිසා මෙම අවස්ථාව ශ්‍රී ලංකා ඉතිහාසයේ නොමැකෙන සලකුණක් තබනවා. නමුත් නෙල්සන් මැන්ඩෙලා කීවා සේ තවත් කඳු බොහොමයක් තරණය කරන්නට ඇති බව පෙනී යන්නේ එක් කන්දක් තරණය කළාට පසුවයි. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී මමත් මගේ කණ්ඩායමත් විශිෂ්ට ජයග්‍රහණයක් ලැබුවත් එය අපි යන දීර්ඝ ගමනේ පළමු පියවර ලෙස අපි දකිනවා. යායුතු ගමන බොහෝ දුරයි අභියෝග එමටයි. මේ සැමට මුහුණ දිය යුත්තේ පක්ෂ විපක්ෂ අප සියලු දෙනාම කණ්ඩායමක් ලෙස එකාවන්ව කටයුතු කිරීමෙනුයි. ඒ නිසා මේ දිගු ගමන යන්නට අප හා එක්වන්නැයි විපක්ෂයේ සහෝදර මන්ත්‍රීතුමන්ලාගෙන් ඉල්ලා සිටිනවා.

මා අභියෝගවලට මුහුණ දෙන්න ඉතා කැමැති බයනැති කෙනෙක්. 80 දශකයේ මුල් භාගයේ මා ආරම්භ කළ දේශපාලන ජීවිතය විවිධ හැල හැප්පීම්වලට මුහුණ දුන්නා. නමුත් ඒ හැම අභියෝගයකටම සාර්ථකව මුහුණ දෙන්න මට හැකිවුණා. ශ්‍රී ලාංකීය දේශපාලනයේ කාන්තාවක සතු ශක්තිය හා හැකියාව තහවුරු කරන්නට ඒ හැම අවස්ථාවකදීම හැකිවූවා යැයි මා විශ්වාස කරනවා. කොළඹ නගරයේ අනාගතයත් මා භාර ගන්නේ දැඩි විශ්වාසයෙන් සහ ආත්ම අභිමානයෙන් යුක්තවයි. මේ භාරදූර අභියෝගයට සාර්ථකව මුහුණ දෙන්න නම් අපට ශක්තිමත් මධ්‍යම ආණ්ඩුවක සහය අත්‍යවශ්‍යයි. ඒ පිළිබදව සුබ පෙරනිමිති ඊයේ පාර්ලිමේන්තුවේදී අපි දැක්කා. මේ විශිෂ්ට ජයග්‍රහණය පිළිබඳව මමත් මගේ කණ්ඩායමත් ගරු අග්‍රාමාත්‍ය තුමාට සුබ ප්‍රාර්ථනය කරනවා. ශක්තිමත් මධ්‍යම රජයේ සහයත් ආශිර්වාදයත් අපට තිබෙන බව මම දැඩිව ප්‍රකාශ කරන්න කැමතියි. කොළඹ නගරයේ ජනතාව අපිට ඡන්දය දුන්නේ බලාපොරොත්තු රැසක් පෙර දැරිවයි. මේ බලාපොරොත්තු කළමනාකරණය කරමින් බලගතු ශ්‍රී ලංකාවක් සඳහා අවශ්‍ය බලගතු කොළඹ සකස් කිරීම අපේ වගකීමයි. මේ බලගතු කියන වචනයේ බොහෝ තේරුම් තියෙනවා. 2025දී පොහොසත් රටක් හදන්නට අවශ්‍ය සැලසුම මේ රජය ගිය වසරේදී එළි දැක්වූවා. මේ බලගතු එහෙම නැත්නම් පොහොසත් කියන වචනවලින් හැඟෙන්නේ ආර්ථික සංවර්ධනය පමණක් නොවේ. අපේ වටිනාකම්, ගුණයහපත්කම්, පරිසරය, ගහකොළ සතා සීපාවා, මේ හැම දෙයකින්ම අපි පොහොසත් විය යුතුයි. බලගතු විය යුතුයි. නීල හරිත පරිසරයක, ගුණදම් අඳුනන, මනුස්සකම අගය කරන, අතමිට සරු, පුරවැසියෙක් බිහි කිරීම අපේ අරමුණ විය යුතුයි. කොළඹ මේ රටේ සංහිඳියාව විය යුතුයි. රටේ සෑම ජන කොටසක්ම කොළඹ නියෝජනය වෙනවා. සෑම ආගමක්ම කොළඹ නියෝජනය වෙනවා. මේ විවිධත්වය ආපේ ශක්තිය විය යුතුයි. අනෙක් සෑම අභියෝගයක්ම අපට ජයගත හැකිවන්නේ එකිනෙකාට ගරු කරන කාටත් සමසේ සලකන පටු ජාතිවාදයෙන් ආගම්වාදයෙන් තොර සමාජයක් බිහිවුණොත් පමණයි. බලගතු සමාජයක පදනම එයයි.

ජනතා මුදලින් නඩත්තු වන අපි ජීවිත පරිත්‍යාගයෙන් ජනතා සේවයට කැපවිය යුතු යැයි මා උදක්ම විශ්වාස කරනවා. එහිදී දේශපාලනඥයාත් රාජ්‍ය නිලධාරියාත් එක හා සමානයි. අපි සියල්ලන්ම යැපෙන්නේ ජනතාවගේ බදු මුදලින්. ඒ නිසා ජනතා සේවය රාජකාරී වෙලාවට පමණක් සීමා නොකර එය විසි හතර පැයේ දේව කාරියක් ලෙස සලකා අද සිට වැඩට බහිමු.

විශේෂයෙන්ම නියෝජ්‍ය නගරාධිපති, වැඩ බලන නාගරික කොමසාරිස් ලලිත් වික්‍රමරත්න, නියෝජ්‍ය නාගරික කොමසාරිස් (ඉංජිනේරු සේවා) , තමාරා මල්ලව ආරච්චි, නාගරික ලේකම් පාලිත නානායක්කාර ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයට මෙම මංගල රැස්වීම පැවැත්වීමට මේ සභාව සූදානම් කරදීම පිළිබඳව මගේ හෘදයාංගමය ස්තුතිය පුද කරනවායැයිද සේනානායක මහත්මිය වැඩිදුරටත් කියා සිටියාය.

ජායාරූපය - සිරිපාල හල්වල

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();