ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රතිසංවිධානය කිරීම අත්‍යවශ්‍ය බවත් විශ්වාසභංගය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එල්ල කරන චෝදනා තම පක්ෂය තරයේ ප්‍රතික්ෂේප කරන බවත් වරාය හා නාවික ඇමැති මහින්ද සමරසිංහ මහතා පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ (05) පැවැති මාධ්‍ය හමුවේදී ඇමැති මහින්ද සමරසිංහ මහතා එම අදහස් පළ කෙළේ ය.
එහිදි සමරසිංහ ඇමැතිවරයා මෙසේ ද කීය.
විශ්වාසභංගය සැකසීමේ දී ශ්‍රීලනිප ආණ්ඩුවට එක්ව සිටින කණ්ඩායම දැනුවත් කිරීමක් සිදු කළේ නැහැ. පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ද මේ සම්බන්ධයෙන් සාකච්ඡා වුණේ නැහැ. එසේ වුවත් ශ්‍රීලනිපයේ ඇමැතිවරු හතරක් ඊට අත්සන් කර තිබුණා. නමුත් ඡන්දය අවස්ථාවේ ඉන් දෙදෙනෙක් ඡන්දය දීමෙන් වැළකී සිටියා. විශ්වාසභංගයේ අසාර්ථක බව එක් ආකාරයකිස් එයින් දැකිය හැකියි.
තවත් මූලධර්මයක් ලෙස ජනාධිපතිවරයා කිසිසේත්ම මේ විශ්වාසභංගයට පක්ෂව හෝ විරුද්ධව හෝ ඡන්දය දීමෙන් වළකින ලෙස පැවසුවේ නැහැ.
මේ සම්බන්ධයෙන් පැවැති රැස්වීමේ දී ජනාධිපතිවරයා පැවසුවේ මෙය දිනුවත් පැරදුනත් පසුදාට රටේ කටයුතු ඉදිරියට සිදුකරගෙන යාමට අවශ්‍ය බැවින් පැත්තක් ගැනීමට නොහැකි බවයි. මේ අනුව කිසිවක් කිව නොහැකි බවත් යම් එක් ස්ථාවරයකට පැමිණ සියලු දෙනාම කටයුතු කිරීමට පියවර ගන්නා ලෙසත් පැවසුවත් අපේ කණ්ඩායමෙන් අදහස් කිහිපයක් ඉදිරිපත් වුණා. පක්ෂයේ 39යෙන් 23ක් ඡන්දය දීමෙන් වැළකී සිටි අතර 16ක් පක්ෂව ඡන්දය දුන්නේ මේ අනුවයි. මේ තීරණය ගත්තේ ජනාධිපති නියමයෙන් නොවේ. මේ සඳහා ජනාධිපති ඈඳා ගැනීම අපි තරයේ ප්‍රතික්ෂේප කරනවා. රටේ ප්‍රධානිය ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැහැදිලි ස්ථාවරයක සිටියේ.
පෙරේදා එක් මාධ්‍ය ආයතනයකට 200ක 300ක පමණ පිරිසක් ඇතුළු වී තර්ජනයක් සිදු කරමින් කැත සිද්ධියක් ඇති කර තිබුණා. මෙය ආරංචි වීමත් සමඟ ජනාධිපති විශේෂ උපදෙස් මත විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව එම ආයතනයට යෙදවීමට ක්‍රියා කළා.
යහපාලනය යටතේ මෙවැනි දේ සිදු නොවිය යුතුයි.
මාධ්‍ය ආයතනයකට තම ස්වාධීන මතය ප්‍රකාශ කිරීමට අයිතිය තිබිය යුතු අතර එහිදී ආණ්ඩුව විවේචනය කිරීම ද විය හැකියි. ජනතාවට ඇත්ත දැන ගැනීමට ස්වාධීන මාධ්‍යයක් මේ රටේ තිබිය යුතුයි. පසුගිය සමයේ මාධ්‍ය ආයතන ගිනි තැබීම්, මාධ්‍යවේදීන්ට පැහැර ගැනීම්, ඝාතන ආදිය නිසයි මේ යහපාලන ආණ්ඩුව ජනතාව පත්කර ගත්තෙ. මෙ නිසා මෙවැනි දේ සිදු නොවීමට කටයුතු කිරිම ආණ්ඩුවේ වගකීම විය යුතුයි. ඉදිරි කැබිනට් හමුවේ දී මාධ්‍ය ආරක්ෂාව සම්බන්ධ ක්‍රමවේදයකට යාමට අප ක්‍රියා කරනවා.
විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් වූ විට ජනාධිපති අපට කැමති තීරණයක් ගැනීමට නිදහස දුන් අතර ශ්‍රීලනිපයේ විවිධ මත දරන්නන් එක එක ආකාරයකින් ක්‍රියාත්මක වූ අයුරින් මුලින් එජාපයේ ද එකමුතුවක් නොතිබුණු බව දක්නට තිබුණා.
එජාපයත් ප්‍රතිසංවිධානයක් අවශ්‍ය බව කියා තිබෙන අතර ශ්‍රීලනිපයේත් යම් ප්‍රතිසංවිධානයක් අවශ්‍ය වී තිබෙනවා. විශේෂයෙන් පළාත් පාලන ඡන්දයෙන් පසු ප්‍රතිසංවිධානයක් කළ යුතු බව පෙනී ගොස් තිබෙනවා.
කෙසේ වුවත් ජනාධිපතිවරයාට එල්ල වී ඇති චෝදනා අප ප්‍රතික්ෂේප කරනවා.
මෙවර මැයි දින රැලිය 07 වැනිදා පැවැත්වීමටත් තීරණය වී තිබෙනවා.
වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ ඇමැති ගාමිණී විජිත් විජයමුණි සොයිසා මහතා-මෙම විශ්වාසභංග යෝජනාවලියේ සඳහන්වන එක් කාරණයක් වන්නේ ආණ්ඩුව පිළිබඳ විශ්වාසයක් නොමැති බවයි. එයින් පෙනෙනවා ලබ්බට තිබූ අත පුහුලටත් තැබීමට සූදානම් වූ බව. මෙයින් පසු දෝශාභියෝගයක් ගෙනත් ජනාධිපති ඉවත් කිරීමට උත්සහ කිරීමේ අනතුරකුත් තිබුණා.
විශ්වාසභංගයෙන් වුණේ කැඩී බිඳීතිබුණු එජාපය එකතු වීම. එමෙන්ම අගමැති තවදුරටත් ශක්තිමත් වුණා.
විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති ඇමති රංජිත් සියඹලාපිටිය මහතා-ශ්‍රීලනිප බහුතරය විශ්වාසභංගයට ඡන්දය දීමෙන් වැළකීමට හේතුව විශ්වාසභංගය ජයග්‍රහණය කළොත් ඊළඟට පත්කරන අගමැති ගැන එමෙන්ම ඊළඟට රටේ ඉදිරි ගමන ගැන ගන්නා ක්‍රියාමාර්ග ගැන දැනුවත් කිරීමක් නැහැ.
ඡායාරූපය - තුෂාර ප්‍රනාන්දු
0 Comments