ඉදිරි වසර දෙකේ දී ද රනිල් වික්‍රමසිංහ මහතා රටේ සංවර්ධනය සාක්ෂාත් කරගැනීමට ක්‍රියාකාරීව දේශපාලනයේ යෙදෙන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂිත ශල්‍ය වාට්ටු සංකීර්ණය ඉදිකිරීමටත්, මුඛ හා මුඛ ශල්‍ය වෛද්‍ය සංකීර්ණයට මුල් ගල් තැබීමටත් සහභාගි වෙමින් ඇමැතිවරයා මේ බව පසුගිය දා (03) ප්‍රකාශ කළේය.
එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද කීය.
"වත්මන් රජය පිහිටුවීමට උදව් නොකළ පිරිසක් රජයේ ගැටුම් ඇති කිරීමට උත්සාහ කරනවා. විශ්වාසභංගය ජයග්‍රහණය කිරීමත් සමඟ නව මාවතක් ඔස්සේ නිවැරැදිව රජය ගමන් කරනවා.
ශල්‍ය වාට්ටු සංකීර්ණය මහල් 10කින් යුක්ත වෙනවා. ඒ සඳහා වැය කිරීමට යෝජිත මුදල රුපියල් මිලියන 690ක්. මුඛ හා මුඛ ශල්‍ය වෛද්‍ය සංකීර්ණය මහල් 08කින් යුක්ත වෙනවා. ඒ සඳහා වැය කරන මුදල රුපියල් මිලියන 997ක්. සෞඛ්‍ය සේවාව පෞද්ලීකරණය කරන බවට ඇතැමුන් චෝදනා කරනවා. නමුත් නව වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබෙනවා. වයඹ, සබරගමුව, මොරටුව විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨ ස්ථාපිත කරනවා. නමුත් ලංකාවේ දේශපාලන සටන් පාඨ මත සෞඛ්‍ය පෞද්ගලීකරණය කරන බවට චෝදනා කරනවා. සයිටම් එක තමයි ලංකාවේ සෞඛ්‍ය පෞද්ගලීකරණය කරන බවට ඇතැම් පිරිස් ගන්නා උදාහරණය. සයිටම් එකෙන් කොහොමද ඒ බව තීරණය කරන්නේ. ලංකාවේ සටන් පාඨ මත ආණ්ඩු පෙරළන්නත් පුළුවන්. රාජ්‍ය භාෂාව සිංහල භාෂාව කරන බව එක සටන් පාඨයක්. නමුත් අද ඉන්න අයට සිංහලත් බෑ. ඉංග්‍රීසිත් බෑ. ඉන්දියාවේ විශ්වවිද්‍යාලවල කලා පීඨයේ නිලවරණයේ පෝස්ටර් ගහන්නෙත් ඉංග්‍රීසි භාෂාවෙන්. අපේ රටේ නිලවරණයක දී ඉංග්‍රීසි භාෂාවෙන් පොස්ටර් ගහන්නේ නෑ. එහෙම ගහන්න ගියොත් නිලවරණයට ඉදිරිපත් වන අයත් අනාථ වෙනවා. එම නිසා හෙද සේවාව සඳහා ස්ථාපිත කරන හෙද පීඨයේ විශේෂයෙන්ම ඉංග්‍රිසී භාෂාව ඉගැන්වීමට අපි පියවර ගන්නවා. අමෙරිකාව, එංගලන්තය වැනි රටවල හෙද හෙදියන්ට හොඳ රැකියා අවස්ථා තිබෙනවා. ශ්‍රී ලංකාවේ හොඳට පුහුණු කිරීමෙන් ඔවුන්ට රැකියා අවස්ථා ලබාගන්න පුළුවන්.
කරාපිටිය ශික්ෂණ රෝහල සංවර්ධනය කිරීමට පියවර ගෙන තිබෙනවා. මාතර මහ රෝහලේ හදිසි අනතුරු ප්‍රතිකාර ඒකකය සහ බාහිර රෝගී අංශය පමණක් මාතර නගරයේ ස්ථාපිත කරනවා. අනෙක් සෙසු ඒකක ගොඩගම පිහිටි රෝහල් සංකීර්ණයට ගෙන යනවා. මට අවශ්‍ය වී තිබෙන්නේ ප්‍රතිකාර ලබාගැනීමට කොළඹට පැමිණෙන ගම්වැසි ජනතාවට සියලු ප්‍රතිකාර ගමෙන් ලබාගැනීමට අවස්ථාව උදා කිරීමයි. රජය විසින් වසරකට රුපියල් කෝටි 2,35,00ක් සෞඛ්‍ය සේවාව වෙනුවෙන් වෙන් කරනවා. ඇමැති මණ්ඩල පත්‍රිකා සහ විදේශ ණය ආධාර මත තවත් මුදල් සපයා ගන්නවා. ඒ අනුව සෞඛ්‍ය සේවාව නංවාලීමට වසරකට රුපියල් කෝටි 50,000ක් පමණ වැය කරනවා."
පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි, දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය පී. විජේසූරිය, කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයම්පති සේනානායක මහත්වරු ද, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරු ද මේ අවස්ථාවට සහභාගී වූහ.
0 Comments